ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

1.2.5. තණ්හා සංයෝජන සුත්තං

1.2.5. තණ්හා බන්ධනය ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, යම් බන්ධනයකින් බැඳී ගිය මේ සත්ව ප්‍රජාව අති දීර්ඝ කාලයක් මුළුල්ලේ සසරේ සැරිසරමින් යනවා නම්, පින්වත් මහණෙනි, මේ තණ්හා බන්ධනය බඳු වෙන එකම බන්ධනයක්වත් මම නම් දකින්නේ නෑ. පින්වත් මහණෙනි, තණ්හාව නමැති බන්ධනයෙන් බැඳී ගිය සත්ව ප්‍රජාව අති දීර්ඝ කාලයක් මුළුල්ලේ සංසාරේ දුව දුව සැරිසරා යනවා.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“දීර්ඝ කාලයක් මුළුල්ලේ මේ සසරේ සැරිසරා යන මනුෂ්‍යයාට තණ්හාව තමයි දෙවැන්නා වුනේ. ඒ නිසාමයි එක උපතකින් තවත් උපතක් කරා යන මේ සංසාර ගමන නවත්වගන්න බැරි.

ඉතින් මේ සියලු සංසාර දුකට මූලික කාරණය තණ්හාව බව අවබෝධ කරගෙන තණ්හාවේ ආදීනව දැකලා, භික්ෂුව මනා සිහියෙන් යුතුව තණ්හාවෙන් තොර වෙලා, උපාදාන රහිත වෙලා ජීවත් වෙනවා.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-1-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M