මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂූන් වහන්සේලා සමඟ මගධ රාජධානියේ චාරිකාවේ වඩිනා ගමන් පාටලී ගමටත් වැඩියා. ඉතින් පාටලී ගමේ උපාසකවරුන්ට මෙහෙම දැනගන්න ලැබුනා. ‘ඔන්න භාග්‍යවතුන් වහන්සේ දැන් මගධ රාජධානියේ චාරිකාවේ වඩින ගමන්, බොහෝ භික්ෂු සංඝයාත් සමඟ පාටලී ගමටත් වැඩම කොට වදාළා’ කියලා. ඊට පස්සේ පාටලී ගමේ උපාසක පිරිස භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ඒ පාටලී ගමේ උපාසකවරු භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට කිව්වා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අපගේ ආවාස ශාලාව පිළිගන්නා සේක්වා!” කියලා. භාග්‍යවතුන් වහන්සේ එය නිශ්ශබ්දව වැඩසිටීමෙන් ඉවසා වදාළා.
ඊට පස්සේ ඒ පාටලී ගමේ උපාසකවරු භාග්‍යවතුන් වහන්සේ එය ඉවසා වදාළ බව දැනගත්තා. ආසනවලින් නැගිටලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ප්‍රදක්ෂිණා කළා. ඒ ආවාස ශාලාව වෙත ගියා. ගිහිල්ලා මුළු ආවාස ශාලාවම ඇතිරිලිවලින් ඇතිරුවා. ආසන පැණෙව්වා. ලොකු වතුර භාජනයකුත් තිබ්බා. තෙල් පහන් සූදානම් කරලා තිබ්බා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත්තු ඒ පාටලී ගමේ උපාසකවරු භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනී, මුළු ආවාස ගෙයම ඇතිරිලිවලින් ඇතිරුවා. ආසනත් පැණෙව්වා. ජල බඳුනකුත් තිබ්බා. තෙල් පහනුත් සූදානම් කළා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ යම් දෙයකට කාලය දන්නා සේක් නම්, දැන් ඒ සඳහා සුදුසු වේලාවයි සලකන සේක්වා!” කියලා.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ සිවුරු පොරවාගත්තා. පාත්‍ර සිවුරු අරගෙන භික්ෂු සංඝයා සමඟ ඒ ආවාස ශාලාවට වැඩියා. වැඩම කරලා පා සේදුවා. ආවාස ශාලාව ඇතුළට වැඩියා. එහි මැද කණුවට පිට දී, නැගෙනහිර දිශාවට මුහුණ දී වැඩසිටියා. භික්ෂු සංඝයාත් පා සෝදාගත්තා. ආවාස ශාලාවට වැඩියා. එහි බටහිර බිත්තියට පිට දී, නැගෙනහිර දිශාවට මුහුණ දී, භාග්‍යවතුන් වහන්සේව පෙරටුකොට වැඩසිටියා. පාටලී ගමේ උපාසකවරුත්, පා සෝදාගත්තා. ආවාශ ශාලාවට ආවා. නැගෙනහිර බිත්තියට පිට දී, බටහිර පැත්තට මුහුණ දීලා, භාග්‍යවතුන් වහන්සේව පෙරටුකොට ගෙන වාඩිවුනා.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ පාටලී ගමේ උපාසකවරුන් ඇමතුවා. “පින්වත් ගෘහපතිවරුනි, දුස්සීල කෙනා තුළ සිල් නැතිවීම නිසා, මේ ආදීනව පහක් තියෙනවා. මොනවද ඒ පහ?
(1)
පින්වත් ගෘහපතිවරුනි, දුස්සීල කෙනා තමන් තුළ සිල් නැති නිසා ප්‍රමාදී කෙනෙක්. ඒ නිසා ඔහුට තියෙන සැප සම්පත් ටික ටික නැතිවෙලා යනවා. මේක තමයි සීලය නැතිවීම නිසා, දුස්සීල කෙනාට සිද්ධවෙන පළවෙනි විපත.
(2)
පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන තවදුරටත් කියනවා නම් මෙන්න මෙහෙමයි. සීලය නැතිවෙච්ච, දුස්සීල කෙනාගේ ඒ අයහපත් අපකීර්ති රාවය හැමතැනම පැතිරිලා යනවා. මේක තමයි සීලය නැතිවීම නිසා, දුස්සීල කෙනාට සිද්ධවෙන දෙවෙනි විපත.
(3)
පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන තවදුරටත් කියනවා නම් මෙන්න මෙහෙමයි. සිල් නැති දුස්සීල කෙනා, යම්කිසි පිරිසක් ඉදිරියට යන්න වුනොත් ඒ කිව්වෙ රජ කුලයේ පිරිසක් ඉදිරියට හරි, බමුණු කුලයේ පිරිසක් ඉදිරියට හරි, ගෘහපතිවරු පිරිසක් ඉදිරියට හරි, ශ්‍රමණ පිරිසක් ඉදිරියට හරි, හැබැයි ඔහුට යන්න සිද්ධ වෙන්නේ කිසිම තේජසක් නැතුව මුහුණත් බිමට හරවාගෙනම තමයි. මේක තමයි සීලය නැතිවීම නිසා, දුස්සීල කෙනාට සිද්ධවෙන තුන්වෙනි විපත.
(4)
පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන තවදුරටත් කියනවා නම් මෙන්න මෙහෙමයි. සිල් නැති දුස්සීල කෙනාට මිය පරලොව යන්න සිද්ධ වෙන්නේ සිහි මුළා වෙලා. මේක තමයි සීලය නැතිවීම නිසා, දුස්සීල කෙනාට සිද්ධවෙන හතරවෙනි විපත.
(5)
පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන තවදුරටත් කියනවා නම් මෙන්න මෙහෙමයි. සිල් නැති දුස්සීල කෙනා තමන්ගේ කය බිඳිලා, මිය පරලොව යනවා. මිය ගිහිල්ලා සැපයක් නැති, දුගතිය වූ, විනිපාත වූ නිරයේ තමයි උපදින්න සිද්ධ වෙන්නේ. මෙන්න මේක තමයි සීලය නැතිවීම නිසා, දුස්සීල කෙනාට සිද්ධවෙන පස්වෙනි විපත.
මේවා තමයි පින්වත් ගෘහපතිවරුනි, දුස්සීල කෙනාට සිල් නැතිවීම නිසා විඳින්න වෙන ආදීනව පහ.
පින්වත් ගෘහපතිවරුනි, සිල්වත් කෙනාගේ සිල්වත් බව නිසා, ආනිසංස පහක් ලැබෙනවා. මොනවද ඒ පහ?
(1)
පින්වත් ගෘහපතිවරුනි, සිල්වත් කෙනා ඒ සිල්වත් බව නිසා අප්‍රමාදී කෙනෙක් බවට පත්වෙනවා. ඒ නිසා එයාට සැප සම්පත් ගොඩක් ලැබෙනවා. මේක තමයි සිල්වත් කෙනාට එයාගේ සිල්වත් බව නිසා ලැබෙන පළවෙනි ආනිශංසය.
(2)
පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන තවදුරටත් කියනවා නම් මෙන්න මෙහෙමයි. සිල්වත් බව තියෙන ඒ සිල්වත් කෙනාගේ යහපත් වූ කීර්ති රාවය හැමතැනම පැතිරිලා යනවා. මේක තමයි සිල්වත් කෙනාට එයාගේ සිල්වත් බව නිසා ලැබෙන දෙවෙනි ආනිශංසය.
(3)
පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන තවදුරටත් කියනවා නම් මෙන්න මෙහෙමයි. සිල්වත් බව තියෙන ඒ සිල්වත් කෙනාට යම්කිසි පිරිසක් ඉදිරියට යන්න වුනොත් ඒ කිව්වෙ රජ කුලයේ පිරිසක් ඉදිරියට හරි, බමුණු කුලයේ පිරිසක් ඉදිරියට හරි, ගෘහපතිවරු පිරිසක් ඉදිරියට හරි, ශ්‍රමණ පිරිසක් ඉදිරියට හරි, ඔහුට ඉතාම නිර්භීතව, කිසිම චකිතයක් නැතුවම යන්න පුළුවන්. මේක තමයි සිල්වත් කෙනාට එයාගේ සිල්වත් බව නිසා ලැබෙන තුන්වෙනි ආනිශංසය.
(4)
පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන තවදුරටත් කියනවා නම් මෙන්න මෙහෙමයි. සිල්වත් බව තියෙන ඒ සිල්වත් කෙනාට හොඳ සිහි නුවණින් මිය පරලොව යන්න පුළුවනි. මේක තමයි සිල්වත් කෙනාට එයාගේ සිල්වත් බව නිසා ලැබෙන හතරවෙනි ආනිශංසය.
(5)
පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන තවදුරටත් කියනවා නම් මෙන්න මෙහෙමයි. සිල්වත් බව තියෙන ඒ සිල්වත් කෙනා තමන්ගේ කය බිඳිලා, මිය පරලොව ගිහිල්ලා උපදින්නේ සැප සහිත දෙව්ලොව වන සුගතියේ. මේක තමයි සිල්වත් කෙනාට එයාගේ සිල්වත් බව නිසා ලැබෙන පස්වෙනි ආනිශංසය.
පින්වත් ගෘහපතිවරුනි, මෙන්න මේවා තමයි සිල්වත් කෙනාට, එයාගේ සිල්වත් බව නිසා ලැබෙන ආනිශංස පහ.”
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ රාත්‍රී බොහෝ වේලාවක් පාටලී ගමේ උපාසකවරුන්ට සදහම් කතාවෙන් කරුණු පෙන්වා දුන්නා. සමාදන් කළා. උනන්දුව ඇති කළා. සිතේ ප්‍රසාදය ඇති කළා. (ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ රාත්‍රී බොහෝ වේලා ගත වී ඇති නිසා, ඒ උපාසකවරුන්ට මෙහෙම වදාළා) ‘පින්වත් උපාසකවරුනි, රාත්‍රී බොහෝ වේලා ගෙවිලා ගියා. දැන් ඔබටලාට යන්න සුදුසු වෙලාවයැ’යි ඔවුන්ට පිටත්ව යන්න අවසර දී වදාළා. එතකොට ඒ පාටලී ගමේ උපාසකවරු භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ සතුටින් පිළිගත්තා. අනුමෝදන් වුනා. ආසනයෙන් නැගිට්ටා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ප්‍රදක්ෂිණා කළා. පිටත් වෙලා ගියා.
භාග්‍යවතුන් වහන්සේ පාටලීගමේ උපාසකවරු පිටත් වී ගොස් නොබෝ වේලාවකින් ශුන්‍යාගාරයට වැඩම කළා.
ඒ දිනවල සුනීධ, වස්සකාර කියන මගධ රාජධානියේ මහ ඇමතිවරු දෙන්නා වජ්ජීන් පරද්දවන්න හිතාගෙන පාටලී ගමේ නගරයක් නිර්මාණය කරනවා. ඒ වන විට බොහෝ දහස් ගණන් දෙවිවරුත් පාටලී ගමේ භූමිවලට අරක් ගන්නවා. සමහර ප්‍රදේශවලට මහේශාක්‍ය දෙවිවරු අරක්ගන්නවා. ඉතින් ඒ ඒ ප්‍රදේශවල ගෘහ මන්දිර නිර්මාණය කරන්න හිත නැමෙන්නේ රජවරු, රජවරුන්ගේ මහ ඇමතිවරු වගේ මහේශාක්‍ය උදවියටයි. යම්කිසි ප්‍රදේශයක මධ්‍යම දෙවිවරු අරක්ගන්නවා නම්, ඒ ප්‍රදේශවල තම තමන්ගේ ගෘහ මන්දිර නිර්මාණය කරන්න හිත් නැමෙන්නේ මධ්‍යම රජවරුන්ට, ඒ රජවරුන්ගේ ඇමතිවරු වගේ උදවියටයි. සමහර ප්‍රදේශවල බලසම්පන්න බවෙන් අඩු දෙවිවරු අරක්ගන්නවා. ඉතින් ඒ ප්‍රදේශවල තම තමන්ගේ ගෘහ මන්දිර නිර්මාණය කරන්න සිත් නැමෙන්නේ බලසම්පන්න බවෙන් අඩු රජවරු, රජවරුන්ගේ ඇමතිවරු වගේ උදවියටයි. භාග්‍යවතුන් වහන්සේ මිනිස් දර්ශන පථය ඉක්මවූ ඉතාම පිරිසිදු දිවැසින් මේ සිද්ධිය දැක්කා. දහස් ගණන් දෙවිවරු පාටලී ගමේ භූමිවලට අරක්ගන්නවා. යම් ප්‍රදේශයක මහේශාක්‍ය දෙවිවරු අරක්ගන්නවා නම්, ඒ ප්‍රදේශවල ගෘහ මන්දිර නිර්මාණය කරන්න හිත නැමෙන්නේ රජවරු, රජවරුන්ගේ මහ ඇමතිවරු වගේ මහේශාක්‍ය උදවියටයි. යම් ප්‍රදේශයක මධ්‍යම දෙවිවරු අරක්ගන්නවා නම්, ඒ ප්‍රදේශවල තම තමන්ගේ ගෘහ මන්දිර නිර්මාණය කරන්න හිත් නැමෙන්නේ මධ්‍යම රජවරුන්ට, ඒ රජවරුන්ගේ ඇමතිවරු වගේ උදවියටයි. සමහර ප්‍රදේශවල බලසම්පන්න බවෙන් අඩු දෙවිවරු අරක්ගන්නවා. ඉතින් ඒ ප්‍රදේශවල තම තමන්ගේ ගෘහ මන්දිර නිර්මාණය කරන්න සිත් නැමෙන්නේ බලසම්පන්න බවෙන් අඩු රජවරු, රජවරුන්ගේ ඇමතිවරු වගේ උදවියටයි.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඒ රෑ අලුයම් වෙලාවේ නැගී සිටියා. ආයුෂ්මත් ආනන්ද තෙරුන් අමතා වදාළා. “පින්වත් ආනන්ද, කවුද මේ පාටලී ගමේ නගරයක් නිර්මාණය කරන්නේ?” කියලා.
“ස්වාමීනී, වජ්ජීන් පරාජය කරන්න හිතාගෙන සුනීධ, වස්සකාර කියන මගධ රාජධානියේ මහ ඇමතිවරු දෙන්නා තමයි මේ පාටලී ගමේ නගරයක් නිර්මාණය කරන්නේ.”
“පින්වත් ආනන්ද, ඒක හරියට තව්තිසාවේ දෙවිවරුත් එක්ක කතා බස් කරගෙන කරනවා වගෙයිනේ. පින්වත් ආනන්ද, ඒ වගේ නෙ, මේ සුනීධ, වස්සකාර කියන මගධ මහ ඇමතිවරු දෙන්නා, වජ්ජීන් පරද්දවන්න මේ පාටලී ගමේ නගරයක් නිර්මාණය කරන්නේ.
පින්වත් ආනන්ද, මම මෙහි මේ මිනිස් දර්ශන පථය ඉක්මවා ගිය, ඉතා පිරිසිදු වූ දිවැසින් දැක්කා. මේ දහස් ගණන් දෙවිවරුන් පාටලී ගමේ භූමියට අරක්ගන්න හැටි. යම්කිසි ප්‍රදේශයකට මහේශාක්‍ය දෙවිවරු අරක්ගන්නවා නම්, ඒ පළාත්වල තම තමන්ගේ ගෘහ මන්දිර නිර්මාණය කරන්න හිත නැමෙන්නේ මහේශාක්‍ය රජවරු, රජවරුන්ගේ මහ ඇමතිවරු වගේ උදවියට. යම් ප්‍රදේශයක මධ්‍යම දෙවිවරු අරක්ගන්නවා නම්, ඒ ප්‍රදේශවල තම තමන්ගේ ගෘහ මන්දිර නිර්මාණය කරන්න හිත් නැමෙන්නේ මධ්‍යම රජවරුන්ට, ඒ රජවරුන්ගේ ඇමතිවරු වගේ උදවියටයි. සමහර ප්‍රදේශවල බලසම්පන්න බවෙන් අඩු දෙවිවරු අරක්ගන්නවා. ඉතින් ඒ ප්‍රදේශවල තම තමන්ගේ ගෘහ මන්දිර නිර්මාණය කරන්න සිත් නැමෙන්නේ බලසම්පන්න බවෙන් අඩු රජවරු, රජවරුන්ගේ ඇමතිවරු වගේ අයට.
පින්වත් ආනන්ද, යම්තාක් ආර්යන් වහන්සේලා ගැවසෙන, වටිනා බඩු තොග ලිහන, ලොකු වෙළඳ නගරයක් ඇත්නම්, මෙය අග්‍ර නගරයක් වන්නේය. මේ පාටලීපුත්‍රයට එක්කො ගින්නෙන් හරි, එහෙම නැත්නම් ජලයෙන් හරි, එහෙමත් නැත්නම් මිත්‍ර භේදයෙන් හරි කියන මෙන්න මේ තුන් විදිහක අන්තරායන් සිද්ධ වෙනවා.”
ඊට පස්සේ සුනීධ, වස්සකාර කියන මගධ මහ ඇමතිවරු දෙන්නා භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ සමඟ පිළිසඳර කතා බහෙන් සතුටු වුනා. ඒ පිළිසඳර කතාබහ ඉවර කරලා පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත් ඒ සුනීධ, වස්සකාර කියන මගධ මහ ඇමතිවරු භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට කිව්වා. “පින්වත් ගෞතමයන් වහන්ස, භික්ෂු සංඝයාත් සමඟ අද දවසේ අපේ දානය පිළිගන්නා සේක්වා!” කියලා. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩසිටීමෙන් එය ඉවසා වදාළා.
එතකොට සුනීධ, වස්සකාර මගධ මහ ඇමතිවරු භාග්‍යවතුන් වහන්සේ එය ඉවසා වදාළ බව දැනගත්තා. තමන්ගේ ගෙදරට ගියා. ගිහිල්ලා තමන්ගේ ගෙදර, ප්‍රණීත වූ දන් පැන් පිළියෙල කළා. භාග්‍යවතුන් වහන්සේට කල් දැන්වූවා. “පින්වත් ගෞතමයන් වහන්ස, දන් පැන් පිළියෙල කරලා ඉවරයි. දැන් එයට සුදුසු වෙලාවයි.” කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ උදේ වරුවේ සිවුරු පොරවාගත්තා. පාත්‍ර සිවුරු අරගත්තා. භික්ෂු සංඝයාත් සමඟ සුනීධ, වස්සකාර මගධ මහ ඇමැතීන්ගේ නිවසට වැඩම කළා. වැඩම කරලා, පණවන ලද ආසනයේ වැඩසිටියා. එහිදී සුනීධ, වස්සකාර මගධ මහ ඇමැතිවරු තමන්ගේ අතින්ම ප්‍රණීත වූ දන් පැන්වලින් බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා පිදුවා. වැළඳෙව්වා.
ඊට පසසේ සුනීධ, වස්සකාර කියන මගධ මහ ඇමැතිවරු දෙන්නා භාග්‍යවතුන් වහන්සේ දන් වළඳලා ඉවර වුනාට පස්සේ, පාත්‍රයෙන් ශ්‍රී හස්තය බැහැරට ගත්තාට පස්සේ, පහත් ආසනයක් අරගෙන වාඩිවුනා. සුනීධ, වස්සකාර මගධ මහ ඇමැතිවරු දෙන්නාට භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා වලින් අනුමෝදන් කළා.
“යම් ප්‍රදේශයක නුවණැති උදවිය වාසය කරනවා නම්, ඔවුන් තම නිවෙස්වලදී සංසුන් ඉඳුරන් ඇති සිල්වතුන් වහන්සේලාට වළඳවනවා.
එහි සිටින දෙවිවරුන්ටත් ඒ පින අනුමෝදන් කරනවා. ඒ විදිහට පුදන ලැබූ ඒ දෙවිවරුත් ඒ අයව පෙරළා පුදනවා. ගරු බුහුමන් ලැබූ දෙවිවරු ඔවුන්ට පෙරළා ගරු බුහුමන් කරනවා.
හරියට අම්මා කෙනෙක් තමන්ගේ උර මඬලේ තියාගෙන හදපු වඩපු පුතෙකුට අනුකම්පා කරනවා වගේ, ඒ දෙවිවරුත් ඔවුන්ට අනුකම්පා කරනවා. දෙවියන්ගෙන් ඒ විදිහට අනුකම්පා ලබන කෙනාට හැම තිස්සෙම දකින්න ලැබෙන්නේ යහපතක්මයි.”
ඔය විදිහට භාග්‍යවතුන් වහන්සේ සුනීධ, වස්සකාර මහ ඇමැතිවරුන්ට මේ ගාථාවලින් අනුමෝදන් කොට වදාළා. ආසනයෙන් නැගිටලා වැඩම කළා. ඒ වෙලාවේ මගධ මහ ඇමැතිවරු වූ සුනීධ, වස්සකාර දෙදෙනා භාග්‍යවතුන් වහන්සේ පිටුපසින්ම ගියා. “අද යම්කිසි දොරටුවකින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිටතට වඩිනා සේක් නම්, ඒ දොරටුවට ‘ගෞතම ද්වාරය’ කියන නම යොදනවා. යම්කිසි තොටුපළකින් ගංගා නම් ගඟෙන් එතෙරට වඩිනා සේක් නම්, ඒ තොටුපළට ‘ගෞතම තීර්ථය’ කියන නම යොදනවා” කියලා.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ යම් දොරටුවකින් නික්මිලා වැඩි සේක්ද, ඒ දොරටුව ‘ගෞතම ද්වාරය’ නම් වුනා. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ගංගා නම් ගඟ ළඟට වැඩියා. එදා ගංගා නම් ගඟේ වතුර හොඳටම පිරිලා. ඉවුරු මට්ටමටම පිරිලා. කපුටෙකුට වුනත් ඉවුරේ ඉඳගෙන වතුර බොන්න පුළුවන් තරමට දෙගොඩතලා ගැලුවා. සමහර මිනිස්සු මෙගොඩින් එගොඩට යන්න නැව් හොයනවා. සමහරු පහුරු බඳිනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ බලවත් පුරුෂයෙක් හකුළා ගෙන සිටි අතක් දිගහරින වේගයෙන්, දිගහැරිය අතක් හකුළන වේගයෙන්ම භික්ෂු සංඝයාත් සමඟ ගඟේ මෙගොඩින් අතුරුදහන් වුනා. එගොඩ පහළ වුනා. භාග්‍යවතුන් වහන්සේ, මෙගොඩ එන්න ඕන මිනිස්සු නැව් සොයන හැටි, පාරු සොයන හැටි, පහුරු බඳින හැටි දැක වදාළා.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“සමහරු ඉන්නවා සංසාර සාගරයෙනුත්, තණ්හා සැඩ පහරිනුත් මඩ තවරාගන්නෙ නැතුව එතෙර වෙන්නෙ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති පාලම හදාගෙනයි. නමුත් සාමාන්‍ය ජනතාව මේ වතුර ඩිංගිත්තක් තරණය කරගන්න බැරුව පහුරු බඳිනවා. ප්‍රඥාවන්ත උදවිය පහුරු නැතුව ඒකෙනුත් එතෙර වුනා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-8-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M