මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂු සංඝයා සමඟ මල්ල රාජධානියේ චාරිකාවේ වඩමින්, පාවා නගරයට වැඩම කළා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පාවා නුවර රන්කරුවෙකුගේ පුත්‍රයා වූ චුන්දගේ අඹ වනයේ තමයි වැඩසිටියේ.
චුන්ද කම්මාර පුත්‍රයාට මේ විදිහට අහන්නට ලැබුනා. ‘ඔන්න දැන් භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂු සංඝයා සමඟ චාරිකාවේ වැඩම කරලා. දැන් පාවා නගරයටත් වැඩමවා සිටිනවා. ඔන්න දැන් මගේ අඹ වනයේ වැඩඉන්නවා’ කියලා. ඊට පස්සේ චුන්ද කර්මාර පුත්‍ර භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. එකත්පසකින් වාඩිවුන චුන්ද කර්මාර පුත්‍රට භාග්‍යවතුන් වහන්සේ සදහම් කරුණු පෙන්වා වදාළා. එහි සමාදන් කෙරෙව්වා. උනන්දුව ඇති කෙරෙව්වා. සදහම් ගැන සිතේ සතුට ඇතිකෙරෙව්වා.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් සදහම් කරුණු පෙන්වා සමාදන් කරවපු, උත්සාහවත් කරවපු, සතුටු කරවපු ඒ චුන්ද කම්මාරපුත්‍ර භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාත් සමඟ හෙට දවසේ මාගේ දානය පිළිගන්නා සේක්වා!” කියලා. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩසිටීමෙන් එම ඇරයුම ඉවසා වදාළා. ඊට පස්සේ චුන්ද කම්මාරපුත්‍ර භාග්‍යවතුන් වහන්සේ එය ඉවසා වදාළ බව දැනගෙන ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ප්‍රදක්ෂිණා කළා. පිටත්ව යන්න ගියා.
ඊට පස්සේ චුන්ද කම්මාරපුත්‍ර ඒ රාත්‍රිය ඉක්මිලා ගියාට පස්සේ තමන්ගේ නිවසේ ප්‍රණීත වූ දන් පැන් පිළියෙල කළා. බොහෝ සූකරමද්දවත් පිළියෙල කළා. දන් පිළියෙල කරලා අවසන් වෙලා, සුදුසු වෙලාවට භාග්‍යවතුන් වහන්සේට දන්වා සිටියා. “ස්වාමීනී, දන් පැන් සකස් කරලා අවසානයි. දැන් වඩින්න සුදුසු කාලයයි” කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඒ උදේ කාලයේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගත්තා. භික්ෂු සංඝයාත් සමඟ චුන්ද කම්මාරපුත්‍රගේ නිවසට වැඩියා. වැඩම කරලා. පණවන ලද ආසනයේ වැඩසිටියා. එසේ වැඩසිටිය භාග්‍යවතුන් වහන්සේ චුන්ද කම්මාරපුත්‍රට මෙසේ වදාළා. “පින්වත් චුන්ද, ඔබ විසින් පිළියෙල කරලා තිබෙන යම් සූකරමද්දවයක් ඇද්ද, එය මා හට පමණක් පිළිගන්වන්න. ඔය සකස් කරලා තියෙන අනික් දන් පැන් භික්ෂු සංඝයාට පූජා කරන්න” කියලා.
“එහෙමයි, ස්වාමීනී” කියලා චුන්ද කම්මාරපුත්‍ර භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. පිළියෙල කරලා තිබුණු ඒ සූකරමද්දවය භාග්‍යවතුන් වහන්සේට පමණක් පිළිගැන්වූවා. පිළියෙල කරලා තිබුණු අනිත් දන් පැන් වැඩසිටි භික්ෂු සංඝයාට පිළිගැන්වූවා.
එහිදී භාග්‍යවතුන් වහන්සේ චුන්ද කම්මාරපුත්‍රයාට මෙසේ වදාළා. “පින්වත් චුන්ද, ඉතිරි වෙලා තියෙන ඔය සූකරමද්දවය පොළොවේ වල දමන්න.” කියලා. “පින්වත් චුන්ද, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකයේ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙව් මිනිස් ප්‍රජාව තුළ ඔය සූකරමද්දවය වළඳලා, කරදරයක් නැතුව හොඳින් දිරවාගන්න පුළුවන්, යම් කෙනෙක් ඉන්නවා නම්, පින්වත් චුන්ද, තථාගතයන් වහන්සේ හැර ඒ වගේ කෙනෙක් නම් මම දකින්නේ නෑ.”
“එසේය, ස්වාමීනී” කියලා චුන්ද කම්මාරපුත්‍ර භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඉතිරි වෙලා තිබුණු ඒ සූකරමද්දවය වළලලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. එකත්පසක වාඩිවුන චුන්ද කම්මාරපුත්‍රට භාග්‍යවතුන් වහන්සේ සදහම් කරුණු පෙන්වා වදාළා. සමාදන් කළා. උනන්දුව ඇති කළා. සිතේ සදහම් සුවය ඇති කළා. (ඉන්පසු) ආසනයෙන් නැගිට වැඩම කොට වදාළා.
අනතුරුව චුන්ද කම්මාරපුත්‍රගේ දානය වැළඳූ භාග්‍යවතුන් වහන්සේට ඉතා කටුක වූ ‘ලෝහිතපක්ඛන්දිකා’ යන ආබාධය හටගත්තා. එය මාරාන්තික වූ ඉතා දැඩි වේදනා ඇති කරන දෙයක් වුනා. එහිදී පවා භාග්‍යවතුන් වහන්සේ ඉතාම හොඳ සිහි නුවණින් යුතුව ඒ වේදනා ඉවසා වදාළා. එයින් පීඩාවට පත්වුනේ නෑ.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් අමතා වදාළා. “පින්වත් ආනන්ද, අපි දැන් කුසිනාරාවට යමු.” “එසේය, ස්වාමීනී” කියලා ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා.
(ගාථාවන්ය)
“චුන්ද කම්මාරපුත්‍රගේ දානය වැළඳුවාට පස්සේ මහා ප්‍රාඥ වූ භාග්‍යවතුන් වහන්සේට මාරාන්තික වූ තදබල අසනීපයකින් පෙළුන බව මට අසන්නට ලැබුනා.
ශාස්තෘන් වහන්සේට ඔය අසනීප ගතිය හුඟක්ම වැඩිවුනේ සූකරමද්දව වැළඳුවාට පස්සෙයි. විරේචනය තිබෙද්දීමයි භාග්‍යවතුන් වහන්සේ ‘අපි ඉතින් කුසිනාරාවට යමු’ කියා වදාළේ.”
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩම කරමින් සිටි මාර්ගයෙන් අයින් වෙලා එක්තරා ගසක් මුළකට වැඩියා. වැඩම කරලා, ආයුෂ්මත් ආනන්ද තෙරුන් අමතා වදාළා. “පින්වත් ආනන්ද, ඔය සඟල සිවුර හතර පොටකට නවා අසුනක් පණවන්න. පින්වත් ආනන්ද, මට කලන්තෙ වගෙයි. මට ටිකක් වාඩිවෙන්න ඕන” කියලා. “එසේය, ස්වාමීනී” කියලා ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දීලා සඟල සිවුර හතර පොටකට නවලා, ආසනයක් පිළියෙල කළා. භාග්‍යවතුන් වහන්සේ පණවන ලද ආසනයේ වැඩ සිටියා. එසේ වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් අමතා වදාළා. “පින්වත් ආනන්ද, පැන් ටිකක් අරගෙන එන්න. මට පිපාසයි. පැන් වළඳන්නම්” කියලා. මේ විදිහට වදාළාට පස්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම පැවසුවා. “අනේ ස්වාමීනී, ඔය නදියෙන් දැන් කරත්ත පන්සියයක් පමණ එතෙර වුනා. කරත්ත රෝදවලට කැලැතිච්ච පැන් දැන් හොඳටම බොර වෙලා, කැළඹෙමින් තමයි ගලා බසින්නේ. ස්වාමීනී, මේ කුකුත්ථා නදියට නම් එච්චර දුරක් නෑ. ඒකෙ පැන් ටික නම් හරිම අගෙයි. හරිම පිරිසිදුයි. හොඳ සීතල වතුර ටික. ඒකෙ වතුර හොඳට පෑදිලා තියෙන්නේ. ගඟට බහින්න වුනත් එතරම් අමාරුවකුත් නෑ. භාග්‍යවතුන් වහන්සේ එහෙන් පැන් වළඳන සේක් නම්, ශ්‍රී ශරීරය සිසිල් කරගන්නා සේක් නම් මැනැවි. දෙවෙනි වතාවෙත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් අමතා වදාළා. “පින්වත් ආනන්ද, පැන් ටිකක් අරගෙන එන්න. මට පිපාසයි. පැන් වළඳන්නම්” කියලා …. (පෙ) …. ශ්‍රී ශරීරය සිසිල් කරගන්නා සේක් නම් මැනැවි. තුන්වෙනි වතාවෙත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් අමතා වදාළා. “පින්වත් ආනන්ද, පැන් ටිකක් අරගෙන එන්න. මට පිපාසයි. පැන් වළඳන්නම්” කියලා. “එසේය, ස්වාමීනී” කියලා ආයුෂ්මත් ආනන්ද තෙරුන් පිළිතුරු දුන්නා. පාත්‍රය අරගෙන ඒ නදිය වෙතට ගියා.
ඒ වෙලාවේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් අර නදිය ළඟට වඩින කොට, කලින් කරත්ත රෝදවලට අහුවෙලා හොඳටම මඩවෙලා, කැළැඹිලා, ගලාගිය ඒ නදිය, ලස්සනට පෑදිලා, නිසලව ගලා බසිමින් තිබුනා. එතකොට ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට මෙහෙම හිතුනා. “ඒකාන්තයෙන්ම මේක නම් මහා ආශ්චර්යයක්. ඒකාන්තයෙන්ම මේක නම් අද්භූත දෙයක්. තථාගතයන් වහන්සේගේ මහා ඉර්ධිමත් බව, මහානුභාව සම්පන්න බව නම් මහා පුදුමයි. කලින් මේ නදිය කරත්ත රෝදවලට අහුවෙලා, හොඳටම මඩවෙලා, කැළැඹිලා තමයි ගලා බසිමින් තිබුනේ. ඒත් දැන් මං එනකොට ලස්සනට පැහැදිලි වෙලා සංසුන්ව ගලා බසිමින් තියෙන හැටි” කියලා පාත්‍රයෙන් පැන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනී, ආශ්චර්යයි! ස්වාමීනී, අද්භූතයි! තථාගයන් වහන්සේගේ මහත් වූ ඉර්ධිමත් බව, මහත් ආනුභාව සම්පන්න බව නම් හරිම පුදුමයි. කලින් මේ නදිය කරත්ත රෝදවලට අහුවෙලා, හොඳටම මඩවෙලා, කැළැඹිලා තමයි ගලා බසිමින් තිබුනේ. ඒත් මම යනකොට ලස්සනට පෑදිලා සන්සුන්ව ගලා බසිනවා. භාග්‍යවතුන් වහන්සේ පැන් වළඳන සේක්වා! සුගතයන් වහන්සේ පැන් වළඳන සේක්වා!” කියලා පැන් පිළිගැන්නුවා. භාග්‍යවතුන් වහන්සේ පැන් වැළඳූ සේක.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂු සංඝයා සමඟ කුකුත්ථා නදිය වෙත වැඩම කළා. වැඩම කරලා කුකුත්ථා නදියට බැස වදාළා. පැන් පහසු වී වදාළා. පැන් ද වැළඳූ සේක. නැවත ගොඩට ඇවිත් අඹ වනයට වැඩම කළා. වැඩම කරලා ආයුෂ්මත් චුන්දක තෙරුන් ඇමතුවා. “පින්වත් චුන්දක, සඟල සිවුර හතර පොටකට නවලා සකස් කරන්න. පින්වත් චුන්දක, මට කලන්තෙයි. හාන්සි වෙන්න වුවමනයි” කියලා. “එසේය, ස්වාමීනී” කියලා ආයුෂ්මත් චුන්දක තෙරුන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දීලා සඟල සිවුර හතර පොටකට නවලා ආසනයක් සකස් කළා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දකුණු පාදය උඩ වම් පාදය මඳක් පිටුපසට කොට තබාගෙන, ඉතාම හොඳ සිහි නුවණින් නැවත අවදිව සිටීමේ අධිෂ්ඨානය හිතේ තබාගෙන, සිංහ සෙය්‍යාවෙන් සැතැපුන සේක. ආයුෂ්මත් චුන්දක තෙරුන් එතැනම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වාඩි වී වැඩසිටියා.
(ගාථාවන්ය)
“බුදුරජාණන් වහන්සේ කකුත්ථා නදියට වැඩම කොට වදාළා. ඒකෙ පැන් ටික නම් හරිම අගෙයි. සීතලයි. පැහැදිලියි. නමුත් මේ ලෝකයේ කිසිවෙකුට සමාන කළ නොහැකි වූ, තථාගත වූ අපගේ ශාස්තෘන් වහන්සේ ගොඩාක් කලන්තෙ ගතිය තිබෙද්දීමයි නදියට බැස වදාළේ.
අපගේ ශාස්තෘන් වහන්සේ පැන් පහසු වෙලා සිහිල් පැන් වළඳලා ගඟෙන් ගොඩට පැමිණ වදාළා. සංඝයා පිරිවරාගෙන ඔය වඩින්නේ උතුම් ධර්ම චක්‍රය පවත්වන ශාස්තෘ වූ අපගේ භාග්‍යවතුන් වහන්සේයි. මහා ඉසිවර මුනිඳාණන් එතැනින් වැඩියේ අඹ වනයටයි.
ශාස්තෘන් වහන්සේ චුන්දක නම් භික්ෂුව අමතා වදාළා. ‘පින්වත් චුන්දක, ඔය සඟල සිවුර හතරට නවලා අතුරන්න. මට හාන්සි වෙන්න ඕන.’ වඩන ලද සිත් ඇති මුනිඳාණන් එහෙම පවසන කොට, ආයුෂ්මත් චුන්දකයන් ඉක්මනට සඟල සිවුර හතරට නවලා අතුරලා දුන්නා.
ශාස්තෘන් වහන්සේ හාන්සි වෙලා හිටියේ සෑහෙන කලන්තෙ ගතියකින්. ආයුෂ්මත් චුන්දකයන් උන්වහන්සේගේ ඉදිරියෙන් වාඩි වෙලා සිටියා.”
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් අමතා වදාළා. “පින්වත් ආනන්ද, කවුරු හරි කෙනෙක් චුන්ද කම්මාරපුත්‍රගේ හිතේ මේ විදිහේ විපිළිසරක් උපද්දවන්න පුළුවනි. ‘යම් කෙනෙක් විසින් දෙන ලද ඒ අන්තිම පිණ්ඩපාතය වළඳලා, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක් නම්, ආයුෂ්මත් චුන්දය, එයින් ඔබට සිදුවූයේ මහත් අලාභයක්මයි. ආයුෂ්මත් චුන්දය, ඒකෙන් ඔබට සිදුවූයේ මහත් නොලැබීමක්මයි’ කියලා. පින්වත් ආනන්ද, චුන්ද කම්මාරපුත්‍රට ඇතිවෙන්න තියෙන ඔය විපිළිසරය මෙන්න මේ විදිහට නැති කරන්න ඕන. ‘ආයුෂ්මත් චුන්ද, යම් කෙනෙක් විසින් දෙන ලද අන්තිම දානය වළඳලා, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක් නම්, ආයුෂ්මත් චුන්ද, ඒකෙන් ඔබට සිදුවූයේ මහා ලැබීමක්මයි. ආයුෂ්මත් චුන්ද, ඒකෙන් ඔබට සිදුවූයේ මහා ලැබීමක්මයි. ආයුෂ්මත් චුන්ද, භාග්‍යවතුන් වහන්සේගෙන් මං මේ විදිහට දැනගෙන තියෙනවා. ‘පින්වත් ආනන්ද, මේ දාන දෙකක් තියෙනවා. පින් ඵල ලැබීමෙන් සමානයි. පුණ්‍ය විපාක අතිනුත් සමානයි. අනෙක් සෑම දන් පූජාවකටම වඩා ගොඩාක්ම ඵල සහිතයි. ගොඩාක්ම ආනිශංස සහිතයි. ඒ දාන දෙක මොනවාද? උතුම් දානයක් වළඳලා, තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරන සේක් නම්, අන්න ඒ දානයත්, ඒ වගේම යම්කිසි දානයක් වළඳලා තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානා සේක් නම්, අන්න ඒ දානයත් යන මෙන්න මේ දාන දෙකම එක සමාන ඵල සහිතයි. පුණ්‍ය විපාකයෙනුත් එක සමානයි. අනිත් සෑම දානයකටම වැඩිය අති මහත් වූ පුණ්‍ය ඵලයෙන් යුක්තයි. අති මහත් වූ ආනිසංසයෙන් යුක්තයි. ආයුෂ්මත් චුන්ද කම්මාරපුත්‍ර විසින් දීර්ඝායුෂ පිණිස හේතුවන පිනක්මයි ඔය රැස් කර ගත්තේ. ආයුෂ්මත් චුන්ද කම්මාරපුත්‍ර විසින් සුන්දර වූ රූප සෝභාව පිණිස හේතුවන පිනක්මයි ඔය රැස් කර ගත්තේ. ආයුෂ්මත් චුන්ද කම්මාරපුත්‍ර විසින් සැපය පිණිස හේතුවන පිනක්මයි ඔය රැස් කර ගත්තේ. ආයුෂ්මත් චුන්ද කම්මාරපුත්‍ර විසින් යසස පිණිස හේතුවන පිනක්මයි ඔය රැස් කර ගත්තේ. ආයුෂ්මත් චුන්ද කම්මාරපුත්‍ර විසින් දෙව්ලොව සැපය පිණිස හේතුවන පිනක්මයි ඔය රැස් කර ගත්තේ. ආයුෂ්මත් චුන්ද කම්මාරපුත්‍ර විසින් අධිපතිබව පිණිස හේතුවන පිනක්මයි ඔය රැස් කර ගත්තේ’ කියලා. පින්වත් ආනන්ද, චුන්ද කම්මාරපුත්‍රගේ සිතේ ඇතිවන විපිළිසර බව, ඔන්න ඔය විදිහට කරුණු කියා දීලා නැතිකරන්න ඕන.”
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“දන් දෙන කෙනාට පින් වැඩෙනවා. සංවර වෙන කෙනා තුළ වෛරය පවතින්නේ නෑ. දක්ෂ කෙනා පව බැහැර කරනවා. ඒ නිසා රාග, ද්වේෂ, මෝහ ක්ෂය කිරීමෙන් එයා නිවිලා යනවා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-8-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M