ඛුද්දක නිකාය

උදාන පාළි

8.4. චතුත්ථ නිබ්බාන සුත්තං

8.4. ඒ අමා නිවන ගැන වදාළ හතරවෙනි උදානය

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට නිවන ගැන කරුණු කැටි කරන ලද දහම් කතාවෙන් කරුණු පෙන්වා දෙනවා. එහි සමාදන් කරවනවා. එහි උනන්දු කරවනවා. නිවන් සුවය ගැන හිතේ සතුට ඇති කරවනවා. ඉතින් ඒ භික්ෂූන් වහන්සේලාත්, ගොඩාක් ආශාවෙන්, නුවණින් සිහි කරමින්, සම්පූර්ණයෙන් අවධානය යොමු කරගෙන, කන් යොමු කරගෙන ඒ ධර්මය අහගෙන ඉන්නවා.

ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

“(කෙලෙස් එක්ක) එකතු වෙලා ඉන්න කෙනා කම්පනයට පත් වෙනවා. නමුත් කෙලෙස් සමඟ එකතුවක් නැති කෙනාට කිසිම කම්පනයක් නෑ. කම්පනයක් නැත්තේ යම් තැනෙකද, එතැන සංසිඳීමක් තියෙනවා. සංසිඳීමක් තියෙන කොට, උපතක් කරා නැඹුරු වෙන්නේ නෑ. උපතක් කරා නැඹුරු වන්නේ නැතිනම් උපතකට පැමිණීමක් නැහැ. උපතකින් යෑමකුත් නෑ. ඒමක් යෑමක් නැත්නම්, චුතියක් උප්පත්තියක් කියලා දේකුත් නෑ. චුතියක් උප්පත්තියක් නැත්නම් මෙහි රැඳී සිටිනවා කියලා දේකුත් නෑ. වෙන තැනෙක රැඳෙනවා කියලා දේකුත් නෑ. ඒ දෙක අතර රැඳෙනවා කියලා දේකුත් නෑ. මේකම තමයි සියලු දුකේ කෙළවර.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-8-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M