මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. දිනක් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ පසුපසින් පැමිණෙන භික්ෂුව හැටියට ආයුෂ්මත් නාගසමාලයන් සමඟ කොසොල් ජනපදයේ දුර මාර්ගයකට පිවිස වදාළා. ආයුෂ්මත් නාගසමාලයන් අතරමග දෙමං හන්දියක් තියෙනවා දැක්කා. දැකලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මෙන්න මේක තමයි පාර. මේකෙන් වඩිමු” කියලා. මෙහෙම කිව්වාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගසමාලට මෙහෙම වදාළා. “පින්වත් නාගසමාල, මෙන්න මේකයි පාර. මේකෙන් යමු” කියලා. දෙවෙනි වතාවටත් …. (පෙ) …. තුන්වෙනි වතාවටත් ආයුෂ්මත් නාගසමාල භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මෙන්න මේක තමයි පාර. මේකෙන් වඩිමු” කියලා. මෙහෙම කිව්වාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගසමාලට මෙහෙම වදාළා. “පින්වත් නාගසමාල, මෙන්න මේකයි පාර. මේකෙන් යමු” කියලා. ඊට පස්සේ ආයුෂ්මත් නාගසමාලයන් “එහෙනම් මෙන්න භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍ර සිවුරු” කියලා භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍ර සිවුරු එතැනම බිමට දාලා යන්න ගියා.
ඊට පස්සේ ඒ පාරෙන් ගිය ආයුෂ්මත් නාගසමාලයන්ට අතරමගදී හොරු ඇවිල්ලා අතින් පයින් ගැහුවා. පාත්‍රය බින්ඳා. සඟල සිවුරත් ඉරලා දැම්මා. එතකොට ආයුෂ්මත් නාගසමාලයන්, ඒ බිඳිච්ච පාත්තරෙත්, ඉරපු සඟල සිවුරත් එල්ලගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ආයුෂ්මත් නාගසමාල භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනී, මම අර පාරෙන් යනකොට, හොරු ඇවිත් මට අතින් පයින් ගැහුවා. පාත්‍රයත් බිඳලා දැම්මා. සඟල සිවුරත් ඉරලා දැම්මා නෙ” කියලා.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“දහමේ පරතෙරට පත් කෙනා, අඥාන උදවිය සමඟ එක්ව වාසය කළත්, මිශ්‍ර වෙලා හිටියත්, ඒ බුද්ධිමත් කෙනා ලාමක දේ අත්හරිනවා. කොස්වාලිහිණියෙක් වතුරෙන් කිරි වෙන් කරගෙන බොනවා වගේ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-8-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M