ඛුද්දක නිකාය

උදාන පාළි

7.9. උදපාන සුත්තං

7.9. ළිඳ ගැන වදාළ උදානය

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂු සංඝයාත් සමඟ මල්ල රාජධානියේ චාරිකාවේ වඩිමින් මල්ලයන්ගේ බ්‍රාහ්මණ ගමක් වන ථූණ ගමට වැඩියා. ථූණ ගමේ බ්‍රාහ්මණ ගෘහපතීන්ට මෙහෙම අසන්න ලැබුනා. “අර ශාක්‍ය කුලයෙන් නික්මිලා පැවිදිවෙච්ච ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණ භවත් ගෞතමයන් ඉන්නවා නේද? ඔන්න දැන් ඔහු මල්ල රාජධානියේ චාරිකාවේ වඩින ගමන්, බොහෝ භික්ෂු පිරිසක් සමඟ ථූණ ගමට ඇවිල්ලලු. ඔය මුඩු ශ්‍රමණයන්ට පැන් ටිකක්වත් බොන්න තියන්න හොඳ නෑ” කියලා තණකොළ දාලා, පිදුරු දාලා මුවවිට දක්වා ළිං පිරෙව්වා.

ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩම කරමින් සිටි පාරෙන් අයින් වෙලා, එක්තරා ගහක් මුලට වැඩියා. වැඩම කරලා පණවන ලද ආසනයේ වැඩසිටියා. පණවන ලද ආසනයේ වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් අමතා වදාළා. “පින්වත් ආනන්ද, අර ළිඳෙන් මට පැන් ටිකක් අරගෙන එන්න.” එහෙම පැවසුවාට පස්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට කියා හිටියා. “ස්වාමීනී, දැන් මේ ථූණ ගමේ බ්‍රාහ්මණ ගෘහපතිවරු ‘ඒ මුඩු ශ්‍රමණයන්ට වතුර ටිකක්වත් බොන්න තියන්නෙ නෑ’ කියලා, මුවවිට දක්වාම ළිං වහලා දාලා.” දෙවෙනි වතාවෙත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ව අමතා වදාළා. “පින්වත් ආනන්ද, …. (පෙ) …. පැන් බොන්න තියන්නෙ නෑ කියලා. තෙවෙනි වතාවෙත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් අමතා වදාළා. “පින්වත් ආනන්ද, අර ළිඳෙන් මට පැන් ටිකක් අරගෙන එන්න.” ඊට පස්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් “එහෙමයි, ස්වාමීනී” කියලා පිළිතුරු දීලා පාත්‍රයත් රැගෙන ඒ ළිඳ ළඟට වැඩියා.

ඊට පස්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඒ ළිඳ ළඟට වඩින කොට, ඒ ළිඳ වැහිල තිබුණු තණ කොළ, පිදුරු ඔක්කොම ළිං කටෙන් බැහැර වෙලා තිබුනා. ළිං කටෙන් පැන් උතුරමින් තිබුනා. ගොඩාක් පිරිසිදුයි. කැළඹිලා නෑ. ඉතාම පැහැදිලියි. ඊට පස්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට මෙහෙම හිතුනා. ‘ඒකාන්තයෙන්ම මේක නම් ආශ්චර්යයක්. මේක නම් මහා අද්භූත දෙයක්. ඒකාන්තයෙන්ම ඒ තථාගතයන් වහන්සේගේ මහත් ඉර්ධිමත් බව, මහානුභාව සම්පන්න බව හරිම පුදුමයි. මම මේ ළිඳ ළඟට එනකොට මුළු ළිඳේ මුවවිටම තිබුනු තණකොළත්, පිදුරුත් අහක් වෙලා ගිහිල්ලා. ගොඩාක් පිරිසිදු වෙලා, නොකැළඹුනු, ඉතාම පැහැදිලි වතුර ළිං මුවවිටෙන් උතුරමින් තියෙනවා’ (ඊට පස්සේ) පාත්‍රයෙන් පැන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩියා. වැඩලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනී, ආශ්චර්යයි! ස්වාමීනී, අද්භූතයි! තථාගතයන් වහන්සේගේ මහා ඉර්ධිමත් බව, මහා ආනුභාවය හරිම පුදුමයි. මම මේ ළිඳ ළඟට එනකොට මුළු ළිඳේ මුවවිටම තිබුනු තණකොළත්, පිදුරුත් අහක් වෙලා ගිහිල්ලා. ගොඩාක් පිරිසිදු වෙලා, නොකැළඹුනු, ඉතාම පැහැදිලි වතුර ළිං මුවවිටෙන් උතුරමින් තිබුනා. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, පැන් වළඳන සේක්වා! සුගතයන් වහන්ස, පැන් වළඳන සේක්වා!” කියලා.

ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ මේ කාරණය දැනගෙන, මේ උදානය වදාළා.

“හැම තිස්සෙම පිරිසිදු ජීවිතය නැමැති පැන් තියෙනවා නම්, ඔය ළිඳක වතුරෙන් මොනවා කරන්නද? තණ්හාව මුලින්ම සිඳලා දැම්මාට පස්සේ, ආයෙ ඉතින් මොනවා නම් හොය හොයා ඇවිදින්නද?”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-7-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M