මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ. එදා උද්‍යානයට ගිය, උදේන රජු ගේ ඇතුළු නුවර ගින්නකින් දැවී ගියා. සාමාවතී දේවිය ප්‍රමුඛ ස්ත්‍රීන් පන්සියයක් කළුරිය කළා. එදා බොහෝ භික්ෂූන් වහන්සේලා උදේ වරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන කොසඹෑ නුවරට පිණ්ඩපාතෙ වැඩියා. කොසඹෑ නුවර පිණ්ඩපාතෙ කරගෙන වළඳලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, මෙහි උයනට ගිය, උදේන රජුගේ ඇතුළු නුවර ගින්නක් පිච්චිලා ගිහිල්ලා. (ඒ අතරේ) සාමාවතී බිසව ඇතුළු කාන්තාවන් පන්සියයක් දැවිලා ගිහින් තිබෙනවා. ස්වාමීනී, ඒ උපාසිකාවන්ගේ උපත කොයි විදිහද? පරලොව කොයි විදිහද?”
“පින්වත් මහණෙනි, ඔය උපාසිකාවන් අතරේ සිටියා සෝතාපන්න වෙච්ච අය. සකදාගාමී වෙච්ච උපාසිකාවනුත් හිටියා. අනාගාමී වෙච්ච උපාසිකාවනුත් හිටියා. ඒ උපාසිකාවන් උතුම් වූ සදහම් ඵල නෙළාගෙනම තමයි කළුරිය කරලා තියෙන්නේ.”
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ මේ කාරණය දැනගෙන, මේ උදානය වදාළා.
“මෝහයෙන් බැඳිල ඉන්න ලෝකය මතුපිටින් පේන්නෙ නම් බොහෝම හැඩවැඩ ඇතුවයි. නමුත් කෙලෙස් සහිත කර්මයෙන් බැඳුනු අඥාන පුද්ගලයාව පිරිවරාගෙන තියෙන්නේ. අවිද්‍යා අඳුර විතරයි. ඒ නිසා ඔවුන්ට පේන්නෙ හැමදාම ඉන්න පුළුවන් කියලයි. නමුත් මේ ගැන නුවණින් බලන කෙනෙකුට නම් කිසිම ඇලීමක් ඇතිවෙන්නේ නෑ.”
සාදු! සාදු!! සාදු!!!
හත්වෙනි චුල්ල වර්ගය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-7-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M