ඛුද්දක නිකාය

උදාන පාළි

7.8. කච්චාන සුත්තං

7.8. මහා කච්චාන තෙරුන් අරභයා වදාළ උදානය

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

එදා ආයුෂ්මත් මහා කච්චාන තෙරුන් භාග්‍යවතුන් වහන්සේට නුදුරින් පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන, තමන් තුළ කායගතාසති භාවනාවේ ඉතා මැනැවින් සිහිය පිහිටුවා ගෙන වැඩසිටියා. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේට නුදුරින් පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන, තමන් තුළ කායගතාසති භාවනාවේ ඉතා මැනැවින් සිහිය පිහිටුවා ගෙන ඉන්න ආයුෂ්මත් මහා කච්චාන තෙරුන්ව දැක වදාළා.

ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ මේ කාරණය දැනගෙන, මේ උදානය වදාළා.

“ඒ භික්ෂුව තුළ හැමතිස්සෙම සිහිය පිහිටලා තියෙනවා. කායානුපස්සනාව තුළත් නිතර සිහිය පිහිටලා තියෙනවා. ‘අතීතයේ මට කෙලෙස් නොතිබුනා නම්, මම වර්තමානයට එන්නෙත් නෑ. වර්තමානයේ කෙලෙස් නැත්නම්, අනාගතයට යන්නෙ නෑ’ කියන අවබෝධය ඔහුට තියෙනවා. පිළිවෙලින් නිවන් මග යන ඔහු සුදුසු වෙලාවට තණ්හාව නැති කරලා දානවා.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-7-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M