මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
ඒ දිනවල සැවැත් නුවර මිනිස්සු මේ පංච කාමයන් තුළ බොහෝ කොට බොහෝ වෙලාවක් ඇලී ගැලී ඉන්නවා. ගිජු වෙලා ඉන්නවා. වෙලිලා ඉන්නවා. මුසපත් වෙලා ඉන්නවා. ගිලිලා ඉන්නවා. කාමයන්ගෙන් ගොඩාක් මත්වෙලා ඉන්නවා.
එදා භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන, සැවැත් නුවරට පිණ්ඩපාතෙ වැඩියා. භාග්‍යවතුන් වහන්සේ දැක්කා ඒ සැවැත් නුවර මිනිස්සු බොහෝ කොට, කාමයන්ගේ ඇලී ගැලී ඉන්නවා. ගිජු වෙලා ඉන්නවා. වෙලිලා ඉන්නවා. මුසපත් වෙලා ඉන්නවා. කාමයන්ගේ ගිලිලා ඉන්නවා. අන්ධ වෙලා ඉන්නවා. කාමයන්ගෙන් මත්වෙලා ඉන්නවා.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“ඔවුන් කාමය තුළ අන්ධවෙලයි ඉන්නේ. කාම දැලේ පැටලිලයි ඉන්නේ. තණ්හාව විසින් ඔවුන්ගේ ජීවිත නැමැති ගෘහය හෙවිලි කරලා, වහලදාලයි තියෙන්නේ. පමා වූ සත්වයන්ගේ යහළුවා වන මාරයා විසින් අටවපු උගුලට ඔවුන් හසුවන්නේ හරියට කෙමනකට රිංගන මාළුවන් වගෙයි. ඔවුන් යන්නේ ජරා මරණ කරාමයි. හරියට මව් වැස්සිය සොයාගෙන කිරි බොන්න දුවන වසු පැටියා වගේ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-7-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M