ඛුද්දක නිකාය

උදාන පාළි

7.3. සත්ත සුත්තං

7.3. කාමයන්හි ඇලී ගැලී සිටීම මුල්කොට වදාළ උදානය

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

ඒ දිනවල සැවැත් නුවර මිනිස්සු (රූප, ශබ්ද, ගන්ධ, රස, පහස) කියන මේ පංච කාමයන් තුළ බොහෝ කොට බොහෝ වෙලාවක් ඇලී ගැලී ඉන්නවා. ගිජු වෙලා ඉන්නවා. වෙලිලා ඉන්නවා. මුසපත් වෙලා ඉන්නවා. ගිලිලා ඉන්නවා. කාමයන්ගෙන් ගොඩාක් මත්වෙලා ඉන්නවා.

එදා බොහෝ භික්ෂූන් වහන්සේලා පෙරවරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන, සැවැත් නුවරට පිණ්ඩපාතෙ වැඩියා. සැවැත් නුවර පිණ්ඩපාතෙ කරගෙන පිණ්ඩපාතෙ වළඳලා අවසන් වුනා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනී, මේ සැවැත් නුවර මිනිස්සු බොහෝ කොට, බොහෝ වෙලාවක් මේ පංච කාමයන් තුළ ඇලී ගැලී ඉන්නවා. ගිජු වෙලා ඉන්නවා. වෙලිලා ඉන්නවා. කාමයන්ගෙන් ගොඩාක් මත්වෙලා ඉන්නවා” කියලා.

ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

“මේ සත්වයන් කාමයන් තුළම ඇලිලයි ඉන්නේ. කාමයන් තුළම ලැගගෙනයි ඉන්නේ. මේ කාම බන්ධනයේ දෝෂයක් නම් ඔවුන්ට පේන්නේ නෑ. මේ කාම බන්ධනයේ ඇලුණු සත්වයන්ට නම් අතිශයින්ම මහත් වූ මේ සසර සැඩ පහරින් කවදාවත් එතෙර වෙන්න නම් බැහැ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-7-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M