ඛුද්දක නිකාය

උදාන පාළි

7.2. දුතිය භද්දිය සුත්තං

7.2. ලකුණ්ඨක භද්දිය තෙරුන් අරභයා වදාළ දෙවෙනි උදානය

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

ඒ කාලෙ ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන්, ආයුෂ්මත් ලකුණ්ඨක භද්දිය තෙරුන් ගැන ‘තවමත් නිවන් මාර්ගය වඩන භික්ෂුවක්ය’ කියලා හිතාගෙන නොයෙක් විදිහට ධර්ම කතාවෙන් කරුණු පෙන්වා දෙනවා. සමාදන් කරවනවා. උනන්දුව ඇති කරවනවා. ධර්මයෙන් සිතේ සතුට ඇති කරවනවා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් ආයුෂ්මත් ලකුණ්ඨක භද්දිය තෙරුන් ගැන ‘තවමත් නිවන් මාර්ගය වඩන භික්ෂුවක්ය’ කියලා හිතාගෙන ධර්ම කතාවෙන් කරුණු පෙන්වා දෙන හැටි, සමාදන් කරවන හැටි, උනන්දුව ඇති කරවන හැටි, ධර්මයෙන් සිතේ සතුට ඇති කරවන හැටි දැක වදාළා.

ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

“සංසාර බන්ධන සිඳිලා ඉවරයි නෙ. අමා නිවනත් අවබෝධ කරල නෙ ඉන්නේ. කෙලෙස් ගඟ වියලවා දැම්මා. ඉතින් ආයෙත් නම් ගලන්නේ නෑ. සිඳී ගිය සසර පැවැත්ම ආයෙ හටගන්නෙත් නෑ. මේක ම තමයි දුකේ කෙළවර.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-7-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M