මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලෙහෙනුන්ගේ අභය භූමිය වූ වේළුවනයේ. ඒ දවස්වල රජගහ නුවර ජන කණ්ඩායම් දෙකක් එක්තරා ගණිකාවකට ඇලුම් කළා. ඒ පිළිබඳව සිත් ඇති කරගත්තා. (ඒ නිසා ඔවුන්) රණ්ඩු කරගන්නවා. කලහ කරගන්නවා. වාද විවාද කරගන්නවා. එකිනෙකා අත්වලිනුත් ගහගන්නවා. ගල් මුගුරුවලිනුත් ගහගන්නවා. අවි ආයුධවලිනුත් ගහගන්නවා. ඔවුන් එහි මරණයටත් පත්වෙනවා. මාරාන්තික දුක්වලටත් පත්වෙනවා.
එදා බොහෝ භික්ෂූන් වහන්සේලා පෙරවරුවේ සිවුරු පෙරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන රජගහ නුවර පිණ්ඩපාතේ වැඩියා. රජගහ නුවර පිණඩපාතේ කරගෙන, වළඳලා ඉවර වුනා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩි වුනා. පැත්තකින් වාඩිවුන ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනී, මේ රජගහ නුවර ජන කණ්ඩායම් දෙකක් එක්තරා ගණිකාවකට ඇලුම් කළා. ඒ පිළිබඳව සිත් ඇති කරගත්තා. (ඒ නිසා ඔවුන්) රණ්ඩු කරගන්නවා. කලහ කරගන්නවා. වාද විවාද කරගන්නවා. එකිනෙකා අත්වලිනුත් ගහගන්නවා. ගල් මුගුරුවලිනුත් ගහගන්නවා. අවි ආයුධවලිනුත් ගහගන්නවා. ඔවුන් එහි මරණයටත් පත්වෙනවා. මාරාන්තික දුක්වලටත් පත්වෙනවා.”
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ මුල්කොට ගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“යම් කාම සැපයක් ලැබිලා තියෙනවාද, යම් කාම සැපයක් ලැබෙන්න තියෙනවාද, මේ දෙකම කෙලෙස් දූවිල්ලෙන් වැහිලයි තියෙන්නේ. කෙලෙසුන්ගෙන් ලෙඩවෙච්ච කෙනෙක් තමයි ඕවා පස්සේ යන්නේ.
කෙනෙක් ඉන්නවා. නොයෙක් සීල ව්රැතවල සමාදන් වීම තමයි එකම හරය කියලා හිතාගෙන ඉන්නේ. මෛථූනයෙන් වෙන්වෙච්ච ජීවිතයක් ගෙවමින් නොයෙක් දෙවිවරුන්ට, ඇප උපස්ථාන කිරීමත් තමයි උතුම්ම හරය කියලා හිතාගෙන ඉන්නේ. මේකත් එක අන්තයක්.
කෙනෙක් මෙහෙම කියනවා. ‘මේ කාමයන් තුළ සැප විඳ විඳ සිටීමේ කිසිම වරදක් නෑ’ කියලා. මේක තමයි දෙවන අන්තය. මේ අන්ත දෙකෙන්ම වැඩෙන්නේ අවිද්‍යාවයි, තණ්හාවයි විතරයි. ඔය අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන්මයි දෘෂ්ටි වැඩෙන්නෙ. ඉතින් මේ අන්ත දෙක අවබෝධ නොවීම නිසා සමහරු කාම සැපයේ ගිලෙනවා. සමහරු අත්තකිලමථානුයෝගයට අතිධාවනය කරනවා. නමුත් යම් කෙනෙක් ඕක අවබෝධ කරගත් විට ඒ අන්ත දෙක ම ඇතිවන්නේ නෑ. එතකොට අවිද්‍යා තණ්හාවෙන් යුක්ත හැඟීම් ඇතිවන්නේ නෑ. ඇත්තෙන්ම ඔවුන්ට (ඒ රහතන් වහන්සේලාට) සසර සැරිසැරීමක් නෑ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-6-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M