ඛුද්දක නිකාය

උදාන පාළි

6.2. ජටිල සුත්තං

6.2. තාපස වෙස් ගත් කොසොල් රජුගේ චරපුරුෂයින් අරභයා වදාළ උදානය

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර පූර්වාරාමය නම් වූ මිගාරමාතාවගේ ප්‍රාසාදයේ. එදා භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයේ භාවනා සමාපත්තියෙන් නැගී වදාරා අනතුරුව ප්‍රාසාදයේ ඉස්තෝප්පුවේ වැඩසිටියා.

එදා පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේව බැහැදැකීමට ආවා. ඇවිල්ලා, භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. ඒ වෙලාවේ ජටා බැඳපු තවුසන් හත් දෙනෙකුත්, නිගණ්ඨයන් හත් දෙනෙකුත්, තව නිරුවත් තවුසන් හත් දෙනෙකුත්, එක සළුවක් විතරක් පොරවාගත් තවුසන් හත් දෙනෙකුත්, පරිබ්‍රාජකයන් හත් දෙනෙකුත් භාග්‍යවතුන් වහන්සේට නුදුරින් ගමන් කළා. ඔවුන්ගේ කිහිලිවල මවිල් වැවිලා තිබුනා. නියපොතුත් වැවිලා තිබුනා. නොයෙක් තවුස් පිරිකරත් ඔවුන් අතේ තිබුනා.

පසේනදී කොසොල් රජතුමා කෙස් ලොම් වවාගෙන, නියපොතු වවාගෙන, නොයෙක් තවුස් පිරිකර අරගෙන යන ඒ ජටාධර තවුසන් හත් දෙනාත්, නිගණ්ඨයන් හත් දෙනාත්, අචේලකයන් හත් දෙනාත්, ඒක සාටක තවුසන් හත් දෙනාත්, පරිබ්‍රාජකයන් හත් දෙනාත් භාග්‍යවතුන් වහන්සේට නුදුරින් ගමන් කරමින් ඉන්නවා දැක්කා. දැකලා ආසනයෙන් නැගිට්ටා. උතුරු සළුව එක පැත්තකට පොරවා ගත්තා. දකුණු දණමඬල පොළොවට තියා ගත්තා. ඒ ජටාධර තවුසන් හත් දෙනාත්, නිගණ්ඨයන් හත් දෙනාත්, අචේලකයන් හත් දෙනාත්, ඒක සාටක තවුසන් හත් දෙනාත්, පරිබ්‍රාජකයන් හත් දෙනාත් යන දිශාවට ඇඳිලි බැඳගෙන මේ විදිහට තුන් වරක් හඬ නගා ප්‍රකාශ කළා. “ස්වාමීනී, මම තමයි පසේනදී කොසොල් රජතුමා” කියලා.

ඒ ජටාධර තවුසන් හත් දෙනා, නිගණ්ඨයන් හත් දෙනා, අචේලකයන් හත් දෙනා, තනි සළු හැඳගත් තවුසන් හත් දෙනා, පරිබ්‍රාජකයන් හත් දෙනා එතැන පසු කොට ගියාට පස්සේ පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනී, මේ ලෝකයේ යම් කෙනෙක් අරහත්වයට පත්වෙලා ඉන්නවා නම්, අරහත් වන මාර්ගයට හරි ඇවිල්ලා ඉන්නවා නම්, දැන් මෙතනින් ගිය උදවියත් ඒ පිරිසට තමයි අයිති” කියලා.

“පින්වත් මහාරාජ, ගිහි ගෙයි ජීවත් වෙන කම් සැප විඳින, දූදරුවන්ගේ වැඩ කටයුතු අතරෙ හිරවෙලා ඉන්න, සිනිඳු සළු පොරවන, මල් සුවඳ විලවුන් පාවිච්චි කරන, රන් රිදී පාවිච්චි කරන ඔබ, ඒ උදවිය රහත්ය කියලා හරි, රහත් මඟට පැමිණියා කියලා හරි කොහොම නම් දැනගන්නද? ඒක එහෙම ලේසියෙන් දැනගන්න බෑ.

පින්වත් මහාරාජ, එකට ජීවත් වෙලයි සීලය ගැන දැනගන්න තියෙන්නේ. ඒකත් ටික දවසකින් නම් නොවෙයි. සෑහෙන කාලයක් හිටියට පස්සෙයි. ඒකත් ඒ ගැන කල්පනාවෙන් ඉන්න කෙනාටයි. කල්පනාවෙන් නොඉන්න කෙනාට නොවෙයි. ප්‍රඥාවන්තයෙකුට විතරයි ඒකත් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රඥාව නැති කෙනෙකුට බෑ.

පින්වත් මහාරාජ, කතා බස් කිරීමෙන් තමයි කෙනෙකුගේ පිරිසිදු බව දැනගන්න තියෙන්නේ. ඒකත් සුළු කලෙකින් නොවෙයි. සෑහෙන කාලයකින්. ඒකත් හොඳ කල්පනාවෙන් ඉඳලාමයි දැනගන්න තියෙන්නේ. …. (පෙ) …. ප්‍රඥාව නැති කෙනෙකුට බෑ.

පින්වත් මහාරාජ, යමෙකුගේ වීරිය දැනගන්න තියෙන්නේ එයා කරදරයක වැටිච්ච වෙලාවටයි. ඒකත් සුළු කලෙකින් නොවෙයි. …. (පෙ) …. ප්‍රඥාව නැති කෙනෙකුට බෑ.

පින්වත් මහාරාජ, කෙනෙකුගේ ප්‍රඥාව සොයාගන්න තියෙන්නේ සාකච්ඡා කිරීමෙන්මයි. ඒකත් සුළු කලෙකින් නොවෙයි. …. (පෙ) …. ප්‍රඥාව නැති කෙනෙකුට බෑ.”

“ස්වාමීනී, ආශ්චර්යයි! ස්වාමීනී, අද්භූතයි! භාග්‍යවතුන් වහන්සේ විසින් මොන තරම් ඇත්තක්ද වදාළේ. (ඒ කිව්වේ) ‘පින්වත් මහාරාජ, ඒක දැනගන්න ලේසි නෑ. …. (පෙ) …. අරහත් මාර්ගයට පැමිණි බව. එකට වාසය කිරීමෙන් …. (පෙ) …. ප්‍රඥාව නැති කෙනෙකුට බෑ’ කියලා. ස්වාමීනී, ඒ උදවිය මගේ චරපුරුෂයෝ. දැන් ඒ උදවිය ඔය ජනපදවල ඇවිදලා, තොරතුරු අරගෙන එන ගමන්. ඒ උදවිය ඉස්සර වෙලා යම් පළාතකට ඇවිදගෙන ගියා නම් ඊට පස්සේ තමයි මං යන්නේ. ස්වාමීනී, දැන් ඉතින් ඔය උදවිය ඔය දැලි කුණු හෝදලා දාලා, හොඳට නාලා, සුවඳ විලවුන් ගාලා, හැඩට කොණ්ඩෙ පීරලා, සළු පිළි ඇඳගෙන, පස්කම් සැපතින් පිනා ගිහිල්ලා ඉඳුරන් පිනව පිනවා ඉන්නවා.”

එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ මේ කාරණය දැනගෙන, මේ උදානය වදාළා.

“හැබෑම භික්ෂුව ලාමක කිසි කටයුත්තක යෙදෙන්නේ නෑ. ඔහු වෙන කෙනෙකුගේ සේවකයෙකුත් නොවෙයි. ඔහු (දේශපාලකයන්, ව්‍යාපාරිකයන් ආදී) වෙන පුද්ගලයන් ඇසුරු කරගෙන ජීවත්වෙන කෙනෙකුත් නෙවෙයි. ඔහු ධර්මය තුළින් වෙළඳාම් කරන්නේ නෑ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-6-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M