මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවේ. එදා භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන විශාලා මහනුවරට පිණ්ඩපාතේ වැඩියා. විශාලා මහනුවර පිණ්ඩපාතේ වැඩම කරලා, ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතුවා.
“පින්වත් ආනන්ද, නිසීදනය (බිම වාඩි වීම සඳහා ඇතිරීමට ගන්නා ඇතිරිල්ල) ගන්න. දහවල් කාලෙ වැඩසිටීමට චාපාල චෛත්‍ය අසලට යමු.” “එසේය, ස්වාමීනී” කියලා ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. නිසීදනයත් අරගෙන භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් ගමන් කළා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍ය අසලට වැඩම කළා. වැඩම කරලා, සකස් කර දෙන ලද ආසනයේ වැඩ සිටියා. එසේ වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ව ඇමතුවා.
පින්වත් ආනන්ද, මේ විශාලා මහනුවර රමණීයයි. උදේන චෛත්‍ය රමණීයයි. මේ ගෝතමක චෛත්‍යයත් රමණීයයි. මේ සත්තම්බක චෛත්‍යයත් රමණීයයි. බහුපුත්ත චෛත්‍යයත් රමණීයයි. මේ සාරන්දද චෛත්‍යයත් රමණීයයි. මේ චාපාල චෛත්‍යයත් රමණීයයි. පින්වත් ආනන්ද, යම්කිසි කෙනෙක් විසින් මේ සතර ඉර්ධිපාද වඩලා තියෙනවා නම්, නැවත නැවතත් බහුල වශයෙන් වඩලා තියෙනවා නම්, යානාවක් මෙන් ප්‍රගුණ කරලා තියෙනවා නම්, පිහිටා සිටිය හැකි තැනක් සේ පුරුදු කරලා තියෙනවා නම්, මනාකොට පිහිටුවා ගෙන තියෙනවා නම්, මනාකොටම පුරුදු කරලා තියෙනවා නම්, මැනැවින් තමා තුළටම අරගෙන තියෙනවා නම්, ඉතින් ඔහු කැමැති නම්, කල්පයක් හරි කල්පයකට වැඩියෙන් හරි සිටින්න පුළුවනි. පින්වත් ආනන්ද, තථාගතයන් වහන්සේත් මේ ඉර්ධිපාද සතර හොඳින් වඩලයි තියෙන්නේ. නැවත නැවතත් බහුල වශයෙනුත් පුරුදු කරලයි තියෙන්නේ. යානාවක් මෙන් ප්‍රගුණ කරලයි තියෙන්නේ. පිහිටා සිටින තැනක් වගේ පුරුදු කරලයි තියෙන්නේ. ඉතා හොඳින් පිහිටුවාගෙනයි තියෙන්නේ. මනා කොට පුරුදු කරලයි තියෙන්නේ. ඉතා මැනැවින් තමා තුළටම අරගෙනයි තියෙන්නේ. පින්වත් ආනන්ද, (ඒ නිසා) තථාගතයන් වහන්සේත් කැමැති නම් කල්පයක් හරි, කල්පයකට වැඩි කාලයක් හරි සිටින්න පුළුවනි.”
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ විදිහට ප්රකටව අදහස් පහළ කරද්දීත්, ප්රකටව ඉඩකඩ හදද්දීත්, ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට (භාග්‍යවතුන් වහන්සේ අදහස් කරන) කාරණය තේරුම් ගන්න බැරුව ගියා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැඩසිටින සේක්වා! සුගතයන් වහන්සේ බොහෝ ජනයාට හිත සුව පිණිස, බොහෝ ජනයාගේ සුවය පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත පිණිස, හිත සුව පිණිස කල්පයක් වැඩසිටින සේක්වා!” කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටින්න බැරි වුනා. මාරයා විසින් ආනන්ද තෙරුන්ගේ හිත මැඬගෙන සිටි නිසයි එහෙම වුනේ.
දෙවෙනි වතාවෙත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතුවා. “පින්වත් ආනන්ද, මේ විශාලා මහනුවර රමණීයයි. …. (පෙ) …. තථාගතයන් වහන්සේට කල්පයක් හරි කල්පයකට වැඩියෙන් හරි වැඩ සිටින්න පුළුවනි. මේ විදිහට ප්‍රකට කරද්දීත් …. (පෙ) …. මාරයා විසින් හිත මැඬගෙන සිටි නිසයි එහෙම වුනේ.
තුන්වෙනි වතාවෙත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතුවා. “පින්වත් ආනන්ද, මේ විශාලා මහනුවර රමණීයයි. …. (පෙ) …. තථාගතයන් වහන්සේට කල්පයක් හරි කල්පයකට වැඩියෙන් හරි වැඩ සිටින්න පුළුවනි. මේ විදිහට ප්‍රකට කරද්දීත් …. (පෙ) …. මාරයා විසින් හිත මැඬගෙන සිටි නිසයි එහෙම වුනේ.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතුවා. “පින්වත් ආනන්ද, යම් දෙයකට දැන් සුදුසු කාලයයි කියලා හිතෙනවා නම්, දැන් ඔබ ඒ සඳහා යන්න.” ආයුෂ්මත් ආනන්ද තෙරුන් “එසේය, ස්වාමීනී” කියලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ආසනයෙන් නැගිට්ටා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ප්රදක්ෂිණා කරලා ගිහින් අසල තිබුණු එක්තරා ගසක් මුල ඉඳගත්තා.
ආයුෂ්මත් ආනන්ද තෙරුන් පිටත් වෙලා ගිහිල්ලා ටික වෙලාවකට පස්සේ පාපී වූ මාරයා භාග්‍යවතුන් වහන්සේ අසලට ආවා. ඇවිල්ලා පැත්තකින් හිට ගත්තා. පැත්තකින් හිට ගත් පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාරණ සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පා වදාරණ සේක්වා! දැන් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පා වදාරණ කාලයයි. (මට මතකයි) භාග්‍යවතුන් වහන්සේ මේ විදිහේ දෙයක් වදාළා. ‘පවිට, මගේ මේ ශ්‍රාවක වූ පින්වත් භික්ෂූන් ඉන්නවා. ඒ භික්ෂූන් ව්‍යක්ත වන තුරු, විනීත වන තුරු, විශාරද වෙන තුරු, නිවන අවබෝධ කරන තුරු, බහුශ්‍රැත වන තුරු, ධර්මධර වන තුරු, ධර්මානුකූල ප්‍රතිපත්තියට බැසගන්නා තුරු, දහම් මග විමසන තුරු, ධර්මානුකූලව සිටිමින් තමන්ගේ ශාසනික ධර්මය ඉගෙන ගන්නා තුරු, මනාකොට පවසන තුරු, දේශනා කරන තුරු, පණවන තුරු, පිහිටුවන තුරු, හෙළිකරන තුරු, බෙදා දක්වන තුරු, මතුකොට පෙන්වන තුරු, හටගන්නා වූ බාහිර මතවාද කරුණු සහිතව නිශ්ප්‍රභා කරන තුරු, අනුශාසනා ප්‍රතිපත්තියෙන් දහම් දෙසන තුරු මා පිරිනිවන් පාන්නේ නෑ’ කියලා.
ස්වාමීනී, දැන් ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්ෂූන් ව්‍යක්තයි. විනීතයි. විශාරදයි. නිවනත් අවබෝධ කරලයි ඉන්නේ. බහුශ්‍රැතයි. ධර්මධරයි. ධර්මයට අනුකූල වූ ප්‍රතිපත්තියෙනුත් යුක්තයි. දහම් මග පවසනවා. ධර්මානුකූලව සිටිමින් තමන්ගේ ශාසනික දහම ඉගෙන ගෙන ප්‍රකාශ කරනවා. දේශනා කරනවා. පණවනවා. පිහිටුවනවා. මැනැවින් ප්‍රකට කරලා පෙන්වා දෙනවා. බෙදා විස්තර කොට කියා දෙන්නත් පුළුවනි. මතුකොට පෙන්වා දෙන්නත් පුළුවනි. හටගත්තා වූ බාහිර මතවාද කරුණු සහිතව නිශ්ප්‍රභා කරලා, අනුශසනා ප්‍රාතිහාර්යයෙන් දහම් දෙසන්නත් පුළුවනි.
භාග්‍යවතුන් වහන්සේ මේ විදිහේ දෙයක් වදාළා (මට මතකයි). ‘පවිට, මගේ මේ ශ්‍රාවක වූ පින්වත් භික්ෂුණීන් ඉන්නවා. ඒ භික්ෂුණීන් ව්‍යක්ත නොවෙත්ද, …. (පෙ) …. ධර්මයට අනුකූල ප්‍රතිපත්තියෙන් යුක්ත නොවෙත්ද, …. (පෙ) …. අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් දහම් නොදෙසත්ද, ඒ තාක් මා පිරිනිවන් පාන්නේ නෑ’ කියලා. ස්වාමීනී, දැන් වනාහී භාග්‍යවතුන් වහන්සේගේ ඒ ශ්‍රාවිකා වූ භික්ෂුණීන් ගොඩාක් ව්‍යක්තයි. …. (පෙ) …. අනුශසනා ප්‍රාතිහාර්යයෙන් දහම් දෙසන්නත් පුළුවනි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාරණ සේක්වා!
භාග්‍යවතුන් වහන්සේ මේ විදිහේ දෙයක් වදාළා. ‘පවිට, මගේ මේ ශ්‍රාවක වූ පින්වත් උපාසක පිරිස ඉන්නවා. යම්තාක් මාගේ ඒ ශ්‍රාවක වූ උපාසක පිරිස ව්‍යක්ත නොවෙත්ද, …. (පෙ) …. අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් ධර්මය කියා දීමට සමත් නොවෙද්ද, ඒ තාක් මා පිරිනිවන් පාන්නේ නෑ’ කියලා. ඒත් ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ඒ උපාසක පිරිස ගොඩාක් ව්‍යක්තයි. …. (පෙ) …. අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් දහම් දෙසන්නත් සමර්ථයි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාරණ සේක්වා!
භාග්‍යවතුන් වහන්සේ මේ විදිහේ දෙයක් වදාළා. ‘පවිට, මගේ මේ ශ්‍රාවිකා වූ පින්වත් උපාසිකා පිරිස ඉන්නවා. යම්තාක් මාගේ ඒ ශ්‍රාවිකා වූ උපාසිකා පිරිස ව්‍යක්ත නොවෙත්ද, …. (පෙ) …. අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් ධර්මය කියා දීමට සමත් නොවෙද්ද, ඒ තාක් මා පිරිනිවන් පාන්නේ නෑ’ කියලා. ඒත් ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ඒ උපාසිකා පිරිස ගොඩාක් ව්‍යක්තයි. …. (පෙ) …. අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් දහම් දෙසන්නත් සමර්ථයි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාරණ සේක්වා!
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙන්න මේ වගේ වචනයක් ප්‍රකාශ කළා. ‘පවිටු මාරය, මගේ මේ බුද්ධ ශාසනය හැම තැනම පැතිරී සමෘද්ධිමත් වෙන තාක් කල්, බොහෝ දෙනා අතර ප්‍රකට වෙන තාක් කල්, ඉතා පුළුල්ව පැතිරී යන තාක් කල්, දෙව් මිනිසුන් අතර ඉතා හොඳින් ප්‍රකාශ වෙන තාක් කල්, මම පිරිනිවන් පාන්නේ නෑ’ කියලා. ඉතින් ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය සමෘද්ධිමත් වෙලයි තියෙන්නේ. බොහෝ දෙනා අතර ප්‍රකට වෙලයි තියෙන්නේ. ඉතා පුළුල්ව පැතිරිලයි තියෙන්නේ. දෙව් මිනිසුන් අතර ඉතා හොඳින් ප්‍රකාශ වෙලයි තියෙන්නේ. ඒ නිසා ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්ස, පිරිනිවන් පානා සේක්වා! දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පාන්නට කාලයයි.”
එහෙම කිව්වට පස්සේ, භාග්‍යවතුන් වහන්සේ පවිටු මාරයාට මෙහෙම වදාළා. “පවිට, ඔබ වෙහෙසෙන්න ඕන නෑ. තව නොබෝ කාලයකින් තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑම සිද්ධ වෙනවා. මෙයින් තුන් මාසයකට පස්සේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාරනවා” කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මනා වූ සිහි නුවණින් යුතුව චාපාල චෛත්‍යය අසලදී ආයු සංස්කාරය අත්හළ සේක.
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ විදිහට ආයු සංස්කාරය අත්හැරීමත් සමඟම ඉතා බලවත්ව මහපොළොව කම්පා වුනා. ඒක ලොමුදහගන්වන, බියජනක එකක්. ක්ෂණික වැහි පොදකුත් ඇතිවුනා.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“මුනිරජාණන් වහන්සේ හේතූන්ගෙන් හටගත් කුඩා මහත් හැම භව සංස්කාරයක්ම (බෝධි මූලයේදී) අත්හැර දැමූ සේක. තමා තුළ ගොඩ නැගුණු අවබෝධයෙහි ඇලුණු සමාහිත සිත් ඇති මුනිඳාණෝ (මේ මොහොතේ) ආයු සංස්කාරය අත්හැර වදාළේ තමා තුළ හටගෙන තිබුන අයෝමය සන්නාහකයක් ගලවා විසිකර දමන පරිද්දෙනි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-6-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M