මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
ඒ කාලෙ ආයුෂ්මත් මහා කච්චාන තෙරුන් වැඩසිටියේ අවන්ති රටේ කුරරඝර නගරය අසල, පවත්ත කියන පර්වතයේ. ඒ දිනවල ආයුෂ්මත් මහා කච්චාන තෙරුන්ට උපස්ථාන කළේ සෝණ කුටිකණ්ණ උපාසකතුමායි. සෝණ කුටිකණ්ණ උපාසකතුමා හුදෙකලාවේ භාවනාවෙන් ඉන්න කොට මෙවැනි කල්පනාවක් ඇති වුනා. ‘ආර්ය වූ මහා කච්චාන තෙරුන් ඒ ඒ ආකාරයෙන් ධර්මය කියා දෙනවා. ඒ ඒ ආකාරයෙන් මමත් නුවණින් සිහි කරන කොට මෙහෙම ගිහි ගෙදර ඉඳලා නම් මේ තරම් පිරිපුන්, මේ තරම් පිරිසිදු සුදෝ සුදු බඹසර හැසිරෙන එක ලේසි දෙයක් නොවෙයි. මමත් ගිහි ගේ අත්හැරලා, කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවාගෙන බුද්ධ ශාසනයේ මහණ වෙනවා නම් කොයිතරම් දෙයක්ද’ කියලා.
ඉතින් සෝණ කුටිකණ්ණ උපාසකතුමා ආයුෂ්මත් මහා කච්චාන තෙරුන් ළඟට ගියා. ගිහින් ආයුෂ්මත් මහා කච්චාන තෙරුන්ට ආදරයෙන් වන්දනා කරලා පැත්තකින් වාඩි වුනා. පැත්තකින් වාඩි වුන සෝණ කුටිකණ්ණ උපාසකතුමා ආයුෂ්මත් මහා කච්චාන තෙරුන්ට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, මං මෙහෙම හුදෙකලාවේ භාවනාවෙන් ඉන්න කොට මේ වගේ කල්පනාවක් ඇතිවුනා. ‘ආර්ය වූ මහා කච්චාන තෙරුන් යම් යම් ආකාරයෙන් ධර්මය කියා දෙනවා නම් ඒ ඒ ආකාරයෙන් මමත් නුවණින් සිහි කරන කොට මෙහෙම ගිහි ගෙදර ඉඳලා නම් මේ තරම් පිරිපුන්, මේ තරම් පිරිසිදු සුදෝ සුදු බඹසර හැසිරෙන එක ලේසි දෙයක් නොවෙයි. මමත් ගිහි ගේ අත්හැරලා, කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවාගෙන බුද්ධ ශාසනයේ මහණ වෙනවා නම් කොයිතරම් දෙයක්ද’ කියලා. ස්වාමීනී, ආර්ය වූ මහා කච්චානයන් වහන්සේ මාව පැවිදි කරන සේක්වා!”
මෙහෙම කිව්වට පස්සේ ආයුෂ්මත් මහා කච්චාන තෙරුන් වහන්සේ සෝණ කුටිකණ්ණ උපාසකතුමාට මෙහෙම කිව්වා.
“පින්වත් සෝණ, ජීවිතාන්තය දක්වාම එක වේලෙන් ජීවත් වෙන එක ගොඩාක් දුෂ්කරයි. තනියම හුදෙකලාවෙ ඉන්න එකත් ගොඩාක් දුෂ්කරයි. බඹසර වාසයත් දුෂ්කරයි. ඒ නිසා පින්වත් සෝණ, ඔබ මෙහෙම කරන්න. ගිහි ගෙයි වසමින් බුදු සසුනේ යෙදෙන්න. සුදුසු කාලයට (උපෝසථ දවසට) එක වේලෙනුත් ජීවත් වෙන්න. තනියම හුදෙකලාවේ බඹසර ජීවිතෙත් ගත කරන්න” කියලා. ඊට පස්සේ සෝණ කුටිකණ්ණ උපාසකතුමාට පැවිදි වෙන්න තිබුණු ඒ වුවමනාව සංසිඳිලා ගියා.
දෙවෙනි වතාවටත් සෝණ කුටිකණ්ණ උපාසකතුමා හුදෙකලාවෙ භාවනාවෙන් ඉන්න කොට මෙවැනි කල්පනාවක් ඇති වුනා. ‘ආර්ය වූ මහා කච්චාන තෙරුන් යම් යම් ආකාරයෙන් ධර්මය කියා දෙනවා නම් ඒ ඒ ආකාරයෙන් මමත් නුවණින් සිහි කරන කොට මෙහෙම ගිහි ගෙදර ඉඳලා නම් මේ තරම් පිරිපුන්, මේ තරම් පිරිසිදු සුදෝ සුදු බඹසර හැසිරෙන එක ලේසි දෙයක් නොවෙයි. මමත් ගිහි ගේ අත්හැරලා, කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවාගෙන බුද්ධ ශාසනයේ මහණ වෙනවා නම් කොයිතරම් දෙයක්ද’ කියලා.
දෙවෙනි වතාවටත් සෝණ කුටිකණ්ණ උපාසකතුමා ආයුෂ්මත් මහා කච්චාන තෙරුන් ළඟට ගියා. ගිහින් ආයුෂ්මත් මහා කච්චාන තෙරුන්ට ආදරයෙන් වන්දනා කරලා පැත්තකින් වාඩි වුනා. පැත්තකින් වාඩි වුන සෝණ කුටිකණ්ණ උපාසකතුමා ආයුෂ්මත් මහා කච්චාන තෙරුන්ට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, මං මෙහෙම හුදෙකලාවේ භාවනාවෙන් ඉන්න කොට මේ වගේ කල්පනාවක් ඇතිවුනා. ‘ආර්ය වූ මහා කච්චාන තෙරුන් යම් යම් ආකාරයෙන් ධර්මය කියා දෙනවා නම් ඒ ඒ ආකාරයෙන් මමත් නුවණින් සිහි කරන කොට මෙහෙම ගිහි ගෙදර ඉඳලා නම් මේ තරම් පිරිපුන්, මේ තරම් පිරිසිදු සුදෝ සුදු බඹසර හැසිරෙන එක ලේසි දෙයක් නොවෙයි. මමත් ගිහි ගේ අත්හැරලා, කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවාගෙන බුද්ධ ශාසනයේ මහණ වෙනවා නම් කොයිතරම් දෙයක්ද’ කියලා. ස්වාමීනී, ආර්ය වූ මහා කච්චානයන් වහන්සේ මාව පැවිදි කරන සේක්වා!”
දෙවෙනි වතාවටත් ආයුෂ්මත් මහා කච්චාන තෙරුන් වහන්සේ සෝණ කුටිකණ්ණ උපාසකතුමාට මෙහෙම කිව්වා.
“පින්වත් සෝණ, ජීවිතාන්තය දක්වාම එක වේලෙන් ජීවත් වෙන එක ගොඩාක් දුෂ්කරයි. තනියම හුදෙකලාවෙ ඉන්න එකත් ගොඩාක් දුෂ්කරයි. බඹසර වාසයත් දුෂ්කරයි. ඒ නිසා පින්වත් සෝණ, ඔබ මෙහෙම කරන්න. ගිහි ගෙයි වසමින් බුදු සසුනේ යෙදෙන්න. සුදුසු කාලයට (උපෝසථ දවසට) එක වේලෙනුත් ජීවත් වෙන්න. තනියම හුදෙකලාවේ බඹසර ජීවිතෙත් ගත කරන්න” කියලා. ඊට පස්සේ සෝණ කුටිකණ්ණ උපාසකතුමාට පැවිදි වෙන්න තිබුණු ඒ වුවමනාව සංසිඳිලා ගියා.
තුන්වෙනි වතාවටත් සෝණ කුටිකණ්ණ උපාසකතුමා හුදෙකලාවෙ භාවනාවෙන් ඉන්න කොට මෙවැනි කල්පනාවක් ඇති වුනා. ‘ආර්ය වූ මහා කච්චාන තෙරුන් ඒ ඒ ආකාරයෙන් ධර්මය කියා දෙනවා. ඒ ඒ ආකාරයෙන් මමත් නුවණින් සිහි කරන කොට මෙහෙම ගිහි ගෙදර ඉඳලා නම් මේ තරම් පිරිපුන්, මේ තරම් පිරිසිදු සුදෝ සුදු බඹසර හැසිරෙන එක ලේසි දෙයක් නොවෙයි. මමත් ගිහි ගේ අත්හැරලා, කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවාගෙන බුද්ධ ශාසනයේ මහණ වෙනවා නම් කොයිතරම් දෙයක්ද’ කියලා.
තුන්වෙනි වතාවටත් සෝණ කුටිකණ්ණ උපාසකතුමා ආයුෂ්මත් මහා කච්චාන තෙරුන් ළඟට ගියා. ගිහින් ආයුෂ්මත් මහා කච්චාන තෙරුන්ට ආදරයෙන් වන්දනා කරලා පැත්තකින් වාඩි වුනා. පැත්තකින් වාඩි වුන සෝණ කුටිකණ්ණ උපාසකතුමා ආයුෂ්මත් මහා කච්චාන තෙරුන්ට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, මං මෙහෙම හුදෙකලාවේ භාවනාවෙන් ඉන්න කොට මේ වගේ කල්පනාවක් ඇතිවුනා. ‘ආර්ය වූ මහා කච්චාන තෙරුන් ඒ ඒ ආකාරයෙන් ධර්මය කියා දෙනවා. ඒ ඒ ආකාරයෙන් මමත් නුවණින් සිහි කරන කොට මෙහෙම ගිහි ගෙදර ඉඳලා නම් මේ තරම් පිරිපුන්, මේ තරම් පිරිසිදු සුදෝ සුදු බඹසර හැසිරෙන එක ලේසි දෙයක් නොවෙයි. මමත් ගිහි ගේ අත්හැරලා, කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවාගෙන බුද්ධ ශාසනයේ මහණ වෙනවා නම් කොයිතරම් දෙයක්ද’ කියලා. ස්වාමීනී, ආර්ය වූ මහා කච්චානයන් වහන්සේ මාව පැවිදි කරන සේක්වා!”
ඊට පස්සේ ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේ සෝණ කුටිකණ්ණ උපාසකතුමා පැවිදි කළා. ඒ කාලෙ (සැවැත් නුවරට දකුණු දෙසින් ඇති) අවන්ති ජනපදයේ වැඩසිටියේ භික්ෂූන් වහන්සේලා ටික නමයි. ඊට පස්සේ ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේ, අවුරුදු තුනක් විතර ගෙවිලා ගියාට පස්සේ, ගොඩක් දුක සේ, ගොඩාක් අමාරුවෙන් ඒ ඒ තැන්වලින් භික්ෂූන් වහන්සේලා දස නමක් පමණ රැස් කරගත්තා. ආයුෂ්මත් සෝණයන්ව උපසම්පදා කළා.
ඉන්පසු වස් කාලය ගත කොට නිම වූ ආයුෂ්මත් සෝණයන් විවේකයෙන් හුදෙකලාවේ භාවනාවෙන් වැඩසිටින විට මේ වගේ කල්පනාවක් ඇතිවුනා. ‘ඇත්තෙන්ම මම තවම ඒ භාග්‍යවතුන් වහන්සේව මගේ දෑසින් දැක ගත්තෙ නෑ නෙව. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වන සේක. මේ විදිහට වන සේකැයි කියලා විතරයි මම අහලා තියෙන්නේ. ඉදින්, මගේ උපාධ්‍යායයන් වහන්සේ අනුදැන වදාරනවා නම්, මමත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව දැකබලා ගන්න යනවා’ කියලා.
ඊට පසු ඒ ආයුෂ්මත් සෝණයන් වහන්සේ සවස් කාලෙ භාවනාවෙන් නැගී සිටියා. ආයුෂ්මත් මහා කච්චාන තෙරුන් වැඩසිටි තැනට ගියා. ගිහින් ආයුෂ්මත් මහා කච්චාන තෙරුන්ට ආදරයෙන් වන්දනා කළා. පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වුන ආයුෂ්මත් සෝණයන් ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, මෙහි මම විවේකයෙන් හුදකලාවේ ඉන්න කොට මෙන්න මේ වගේ අදහසක් ඇති වුනා. ‘ඇත්තෙන්ම මම තවම ඒ භාග්‍යවතුන් වහන්සේව මගේ දෑසින් දැක ගත්තෙ නෑ නෙව. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වන සේක. මේ විදිහට වන සේකැයි කියලා විතරයි මම අහලා තියෙන්නේ. ඉදින්, මගේ උපාධ්‍යායයන් වහන්සේ අනුදැන වදාරනවා නම්, මමත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව දැකබලා ගන්න යනවා’ කියලා.”
“සාදු! සාදු! පින්වත් සෝණ, පින්වත් සෝණ ඔබ යන්න. ගිහිල්ලා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව දැක බලාගන්න.
පින්වත් සෝණ, දුටු පමණින්ම නෙත් සිත් පහන් කරවන්නා වූ, ප්‍රාසදනීය වූ, ශාන්ත ඉන්ද්‍රියන් ඇති, ශාන්ත වූ සිත් ඇති, උතුම් වූ සංසිඳීමටත්, දමනයටත් පැමිණි. දාන්ත වූ, මනා කොට හික්මුණු, ඒ යතීන්ද්‍ර වූ නාගයන් වහන්සේව බැහැදකින්න. බැහැදැකලා මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිරි පා කමල් මත හිස තබා වන්දනා කරන්න. ආබාධ රහිත බවත්, රෝග රහිත බවත්, සැහැල්ලු බවත්, කාය බලයත්, පහසු විහරණයත් අසා දැනගන්න. මෙහෙමත් කියන්න. ‘ස්වාමීනී, මගේ උපාධ්‍යාය වූ මහා කච්චානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සිරි පා කමල් මත හිස තබා වඳිනවා. ආබාධ රහිත බවත්, රෝග රහිත බවත්, සැහැල්ලු බවත්, කාය බලයත්, පහසු විහරණයත් විමසනවා’ කියලා.”
“එසේය, ස්වාමීනී” කියලා ආයුෂ්මත් සෝණයන් වහන්සේ ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේගේ වචන සතුටින් පිළිගත්තා. අනුමෝදන් වුනා. ආසනයෙන් නැගිටලා ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. ප්‍රදක්ෂිණා කළා. සෙනසුන පිළිවෙලකට තැබුවා. පාත්‍ර සිවුරු අරගෙන සැවැත් නුවර බලා චාරිකාවේ පිටත් වුනා. අනුපිළිවෙලින් චාරිකාවේ වඩිමින්, ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. පැත්තකින් වාඩි වුනා. පැත්තකින් වාඩිවුන ආයුෂ්මත් සෝණයන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, මගේ උපාධ්‍යාය වූ මහා කච්චානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සිරි පා කමල් මත හිස තබා වඳිනවා. ආබාධ රහිත බවත්, රෝග රහිත බවත්, සැහැල්ලු බවත්, කාය බලයත්, පහසු විහරණයත් විමසනවා.”
“පින්වත් භික්ෂුව, ඉවසන්නට පුළුවන් වුනාද? (මඟ තොට පීඩා නැතුව) පහසුවෙන් යැපුනාද? කොහොමද ඔබ මේ දුර මාර්ගය අපහසුවක් නැතුව ආවාද? පිණ්ඩපාතයෙන් අපහසුවක් වුනේ නැද්ද?”
“භාග්‍යවතුන් වහන්ස, ඇත්තෙන්ම ඉවසන්න පුළුවන් වුනා. මම පහසුවෙන් යැපුනා. ස්වාමීනී, මේ දුර මාර්ගය වැඩි මහන්සියක් නැතුවම මම ආවා. පිණ්ඩපාතයෙනුත් අපහසුවක් වුනේ නෑ”
ඉන්පසුව භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් අමතා වදාළා.
“පින්වත් ආනන්ද, මේ ආගන්තුක භික්ෂුවට සේනාසනයක් පිළියෙල කරන්න.”
ඊට පස්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට මෙහෙම හිතුනා. ‘යම්කිසි භික්ෂුවක් වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ මට වදාළ සේක් නම් ‘පින්වත් ආනන්ද, මේ ආගන්තුක භික්ෂුවට සේනාසනයක් පිළියෙල කරන්න’ කියලා (ඒ කියන්නේ) භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුව සමඟ එකම විහාරයක වැඩ සිටින්නට කැමැති බවයි. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණයන් සමඟ එකම විහාරයක වැඩසිටින්නට කැමැතියි.’ ඉතින් භාග්‍යවතුන් වහන්සේ වැඩඉන්න විහාරයේම ආයුෂ්මත් සෝණයන්ටත් සේනාසනයක් පැණෙව්වා.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ රාත්‍රී බොහෝ වේලාවක් එළිමහනේ වැඩසිටිමින් කල්යවා, සිරි පා යුග දොවා විහාරයට වැඩම කළා. ආයුෂ්මත් සෝණයන්ද රාත්‍රී එළිමහනේ සිට කල්යවා, පා සෝදා ගෙන විහාරයට පිවිසියා. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ රෑ පාන්දර වේලේ අවදි වෙලා ආයුෂ්මත් සෝණයන් වහන්සේව ඇමතුවා.
“පින්වත් භික්ෂුව, ඔබ ඉගෙන ගත් ධර්මය ප්‍රකාශ කරන්න” කියලා.
“එසේය, ස්වාමීනී” කියලා ආයුෂ්මත් සෝණයන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. (සුත්ත නිපාතයේ) සෝළස අට්ඨක වර්ගයට අයත් දහසයක් වූ සියලුම සූත්‍ර දේශනාවන් ඉතාම මිහිරට හඬ නගා පැවසුවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණයන් මිහිරි හඬින් පවසා අවසන් වූ ඒ දහම් ඉතා සතුටින් අනුමෝදන් වී වදාළා.
“සාදු! සාදු! පින්වත් භික්ෂුව, අට්ඨක වර්ගයට අයත් සූත්‍ර ඔබ ඉතා හොඳින් ඉගෙන ගෙන තියෙනවා. ඉතා හොඳින් නුවණින් විමසලා තියෙනවා. අර්ථයත් ඉතා හොඳින් සිතේ ධාරණය කරගෙන තියෙනවා. ඉතාම යහපත් වචනවලින් යුක්තයි. අර්ථ විසිරිලා නෑ. පැටලෙන වචන නෑ. අර්ථය මැනැවින්ම මතුවෙනවා. පින්වත් භික්ෂුව, ඔබ උපසම්පදා වෙලා අවුරුදු කීයක් වෙනවාද?”
“භාග්‍යවතුන් වහන්ස, මම තවම උපසම්පදාවෙන් එක් අවුරුද්දයි.”
“පින්වත් භික්ෂුව, ඔබ ඇයි මෙච්චර කාලයක් ගත්තේ?”
“ස්වාමීනී, මා විසින් බොහෝ කලකට පෙර තමයි මේ කාමයන්ගේ ආදීනව දැක්කේ. නමුත් ස්වාමීනී, මේ ගිහි ජීවිතේදී ගොඩාක් බාධක තියෙනවා. ගොඩාක් කටයුතුත් තියෙනවා. කරන්නට ඕන දේවලුත් බොහෝම තියෙනවා. (ඒ නිසයි ප්‍රමාද වුනේ.)”
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“ජීවිතය නැමැති ලෝකයේ ආදීනව දැක්කට පස්සේ ඒ අමා නිවන එකම සැනසීම හැටියට දැනගත්තට පස්සේ, ආර්ය පුද්ගලයා පව්වල ඇලෙන්නේ නෑ. පාපී දේවල් කවදාවත් පිරිසිදු කෙනාගේ ඇලෙන්නේ නෑ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M