මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
එදා පොඩි දරුවන් පිරිසක් සැවැත් නුවරටත්, ජේතවනයටත් අතර මාළු අල්ල අල්ල හිටියා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ උදේ වරුවේ, සිවුරු පොරොවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන, සැවැත් නුවරට පිණ්ඩපාතෙ වැඩියා. සැවැත් නුවරත්, ජේතවනයත් අතර මාළු අල්ලමින් සිටි ඒ පොඩි දරුවන්ව භාග්‍යවතුන් වහන්සේට දැකගන්න ලැබුනා. දැකලා ඒ පොඩි දරුවන් ළඟට වැඩියා. වැඩම කරලා ඒ දරුවන්ගෙන් මෙහෙම ඇහුවා.
“පින්වත් දරුවනි, ඔයාලා දුකට භයයි නේද? දුකට කැමැති නෑ නේද?”
“එසේ ය, ස්වාමීනී, අපි දුකට භයයි. දුකට කැමැති නෑ.”
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“ඉදින් ඔබ දුකට භය නම්, දුකට කැමැති නැත්නම්, එළිපිටවත්, රහසින්වත් පාපී දෙයක් කරන්න එපා!
ඉතින් පව් කළොත්, අනාගතයේ හෝ පව් කළොත්, ඒකෙන් මිදෙන්න කොච්චර පැනලා යන්න හැදුවත් ඔබට දුකින් මිදෙන්න ලැබෙන්නේ නෑ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M