මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ.
ඒ කාලෙ භාග්‍යවතුන් වහන්සේට ගොඩාක් ගෞරව සත්කාර ලැබුනා. බුහුමන් ලැබුණා. පිදුම් ලැබුනා. යටහත් පැවතුම් ලැබුනා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත්, පිරිකර ලැබුනා. භික්ෂුසංඝයාටත් බොහෝ ගෞරව සත්කාර ලැබුනා. බුහුමන් ලැබුනා. පිදුම් ලැබුනා. යටහත් පැවතුම් ලැබුනා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත්, පිරිකර ලැබුනා. නමුත් අන්‍යාගමික පූජකවරුන් ගෞරව සත්කාර ලැබුනෙ නෑ. බුහුමන් ලැබුනෙ නෑ. පිදුම් ලැබුනෙ නෑ. යටහත් පැවතුම් ලැබුනෙ නෑ. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත්, පිරිකර ලැබුනෙ නෑ.
ඉතින් ඒ අන්‍යාගමික පරිබ්‍රාජකවරු භාග්‍යවතුන් වහන්සේටත්, භික්ෂු සංඝයාටත් ලැබෙන පුද සත්කාර ඉවසගන්න බැරිව, සුන්දරී පරිබ්‍රාජිකාව හොයාගෙන ගියා. ගිහින් සුන්දරී පරිබ්‍රාජිකාවට මෙහෙම කිව්වා.
“ඒයි, සොහොයුරිය, ඤාතීන්ට උදව් කරන්න පුළුවන් නේද?”
“ආර්යවරුනි, මගෙන් මොකක්ද කෙරෙන්න ඕන? මට මොකක්ද කරන්න බැරි? නෑදැයින්ගේ යහපතට මගේ ජීවිතෙත් මං පූජා කරලා නෙව ඉන්නෙ.”
“එහෙනම්, සොහොයුරිය, හැම තිස්සේම ජේතවනාරාමයට යන්න ඕන.”
“එසේය, ආර්යවරුනි” කියලා සුන්දරී පරිබ්‍රාජිකාව ඒ අන්‍යාගම්කාර පිරිවැජියන්ට පිළිතුරු දීලා, හැම තිස්සේම ජේතවනාරාමයට ගියා. එතකොට ඒ අන්‍යාගම්කාර තීර්ථක පිරිවැජියෝ, සුන්දරී පරිබ්‍රාජිකාව නිතර නිතර ජේතවනාරාමයට යන බව දැන් බොහෝ දෙනෙකුට දකින්න ලැබෙන බව දැනගත්තා. දැනගෙන ඇයව ඝාතනය කළා. ඒ ජේතවනයේම දිය අගලේ වැළලුවා.
ඊට පස්සේ, පසේනදී කොසොල් රජ්ජුරුවො ළඟට ගියා. ගිහින් කොසොල් රජ්ජුරුවන්ට මෙහෙම සැළ කළා.
“මහරජ, සුන්දරී කියලා පරිබ්‍රාජිකාවක් හිටියා. ඈ දැන් පෙනෙන්න නෑ.”
“ඉතින් ඔබට මේ ගැන සැක කොහේද?”
“මහරජ, ජේතවනය ගැනයි.”
“එහෙනම් නම් ජේතවනය පරීක්ෂා කරනු.”
එතකොට ඒ අන්‍යාගමික පිරිවැජියෝ ජේතවනය පුරා සොය සොයා ඇවිද ගිහින් තමන් වැළලූ තැන වූ දිය අගලේ වලෙන් මිනිය ගොඩ අරගෙන, ඇඳක තබාගෙන සැවැත් නුවරට ඇතුළු වුනා. වීදියක් වීදියක් ගානේ, හතරමං හන්දියක් හතරමං හන්දියක් ගානේ ගිහින් මිනිස්සුන්ට හඬ නගා කිව්වා,
“ඒයි ආර්යවරුනි, මෙන්න බලාපල්ලා. ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන්ගේ වැඩ. මේ ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන්ට ලැජ්ජාවක් නෑ. දුස්සීලයි. පවිටුයි. බොරු දොඩෝනවා. බඹසරක් නෑ. මේ උදවියද ධර්මයේ හැසිරෙනවා කියලා, සම සිතින් හැසිරෙනවා කියලා, බ්‍රහ්මචාරී කියලා, සත්‍යවාදී කියලා, සිල්වත් කියලා, කළණ දහම් තියෙනවා කියලා ප්‍රතිඥා දෙන්නේ. මොවුන්ට මහණකමක් නෑ. මොවුන්ට බඹසරක් නෑ. මොවුන්ගේ මහණකම ඉවරයි. මොවුන්ගේ බඹසර ඉවරයි. මොවුන්ට කොහෙන්ද මහණකමක්? මොවුන්ට කොහෙන්ද අකුසල් දුරු වීමක්. මොවුන් මහණකමෙන් පහවෙලා ගියා. මොවුන් බඹසරින් පහවෙලා ගියා. පිරිමියෙක් ස්ත්‍රියක දූෂණය කරලා මේ විදිහට කොහොම නම් ඝාතනය කරන්නද?”
එතකොට සැවැත් නුවර ඉන්න (අවබෝධයෙන් තෙරුවන් සරණ නොගිය) මිනිස්සු භික්ෂූන් දැකලා අසභ්‍ය වූ, පරුෂ වචනවලින් ආක්‍රෝශ කළා. පරිභව කළා. දොස් කිව්වා. පීඩා කළා.
“මේ ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන්ට ලැජ්ජාවක් නෑ. දුස්සීලයි. පවිටුයි. බොරු දොඩෝනවා. බඹසරක් නෑ. නමුත් මොවුන් කියන්නේ අපි ධම්මචාරීලු. සම සිතින් හැසිරෙනවාලු, බ්‍රහ්මචාරීලු, සත්‍යවාදීලු, සීලවන්තයිලු, කළණ දහම් තියෙනවාලු. මොවුන්ට මහණකමක් නෑ. මොවුන්ට බ්‍රාහ්මණකමක් නෑ. මොවුන්ගේ මහණකම කම්මුතුයි. මොවුන් ගේ බ්‍රාහ්මණකම කම්මුතුයි. මොවුන්ට කොහෙන්ද මහණකමක්? මොවුන්ට කොහෙන්ද බ්‍රාහ්මණකමක්? මොවුන් මහණකමෙන් තොරයි. මොවුන් බ්‍රාහ්මණකමෙන් තොරයි. පිරිමියෙක් ස්ත්‍රියක දූෂණය කරලා මේ විදිහට කොහොම නම් ඝාතනය කරන්නද?” කියලා.
එතකොට බොහෝ භික්ෂූන් වහන්සේලා උදේ වරුවේ සිවුරු පොරවගෙන පාත්‍ර සිවුරු අරගෙන සැවැත් නුවර පිඬු සිඟා වැඩියා. සැවැත් නුවර පිඬු සිඟා වැඩලා හවස් වරුවේ භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා පැත්තකින් වාඩි වුනා. පැත්තකින් වාඩි වුන ඒ භික්ෂූන් වහන්සේලා, භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, දැන් මේ සැවැත් නුවර මිනිස්සු භික්ෂූන් දැක්කම අසභ්‍ය වූ පරුෂ වචනවලින් ආක්‍රෝශ කරනවා. පරිභව කරනවා. දොස් කියනවා. පීඩා කරනවා. ‘මේ ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන්ට ලැජ්ජාවක් නෑ. දුස්සීලයි. පවිටුයි. බොරු දොඩවනවා. බඹසරක් නෑ. නමුත් මොවුන් කියන්නේ අපි ධම්මචාරීලු. සම සිතින් හැසිරෙනවාලු, බ්‍රහ්මචාරීලු, සත්‍යවාදීලු, සීලවන්තයිලු, කළණ දහම් තියෙනවාලු. මොවුන්ට මහණකමක් නෑ. මොවුන්ට බ්‍රාහ්මණකමක් නෑ. මොවුන්ගේ මහණකම කම්මුතුයි. මොවුන්ගේ බ්‍රාහ්මණකම කම්මුතුයි. මොවුන්ට කොහෙන්ද මහණකමක්? මොවුන්ට කොහෙන්ද බ්‍රාහ්මණකමක්? මොවුන් මහණකමෙන් තොරයි. මොවුන් බ්‍රාහ්මණකමෙන් තොරයි. පිරිමියෙක් ස්ත්‍රියක දූෂණය කරලා මේ විදිහට කොහොම නම් ඝාතනය කරන්නද?’ කියලා.”
“පින්වත් මහණෙනි, ඔය සද්දෙ වැඩිකල් තියෙන්නෙ නෑ. සතියක් විතරමයි ඕක පවතින්නෙ. සතිය ඉවර වෙන කොට ඕක අතුරුදහන් වෙලා යනවා. පින්වත් මහණෙනි, එහෙම නම් මිනිස්සු භික්ෂූන්ව දැකලා, අසභ්‍ය වූ පරුෂ වචනවලින් ආක්‍රෝශ කළොත්, පරිභව කළොත්, බැන්නොත්, පීඩා කළොත් ඔබ ඔවුන්ට මෙන්න මේ ගාථාවෙන් මේ ප්‍රතිචෝදනාව කරන්න ඕන.
‘අභූත චෝදනා කරන අය නිරයට තමයි යන්නෙ. යම් කෙනෙක් තමන් කරලා හිට, කළේ නැතෙයි කියනවා නම්, ඒ අයත් නිරයට තමයි යන්නෙ. තමන්ගේ පහත් වැඩ නිසා, ඔය මිනිස්සු මළාට පස්සේ පරලොවදී ඔය දෙගොල්ලොම දුක් විපාකවලින් සමාන වෙනවා’ කියලා.”
ඊට පස්සේ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ සමීපයේදී ඔය ගාථාව ඉගෙන ගත්තා. කවුරු හරි කෙනෙක් භික්ෂූන්ව දැකලා, අසභ්‍ය වූ පරුෂ වචනවලින් ආක්‍රෝශ කළොත් හරි, පරිභව කළොත් හරි, බැන්නොත් හරි, පීඩා කළොත් හරි, ඒ මිනිස්සුන්ට මේ ගාථාවෙන් ප්‍රතිචෝදනා කරනවා.
‘අභූත චෝදනා කරන අය නිරයට තමයි යන්නෙ. යම් කෙනෙක් තමන් කරලා හිට, කළේ නැතෙයි කියනවා නම්, ඒ අයත් නිරයට තමයි යන්නෙ. තමන්ගේ පහත් වැඩ නිසා, ඔය මිනිස්සු මළාට පස්සේ පරලොවදී ඔය දෙගොල්ලොම දුක් විපාකවලින් සමාන වෙනවා’ කියලා.
එතකොට මිනිස්සුන්ට මෙහෙම හිතුනා. ‘මේ පින්වත් ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයෝ නම් මේ පාපය කරලා නෑ. මේ වැඬේ මේ අය කරපු දෙයක් නොවෙයි. ඒ නිසා මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ අපට ශාප කරනවා නෙවෙද?’ කියලා. ඉතින් ඒ හඬ බොහෝ කල් පැවතුනේ නෑ. දින හතක්ම පමණයි තිබුනේ. දින හත ඉක්මිලා ගියාට පස්සේ අතුරුදහන් වුනා.
ඊට පස්සේ බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා පැත්තකින් වාඩි වුනා. පැත්තකින් වාඩිවුන ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, හරිම ආශ්චර්යයි! හරිම අද්භූතයි! භාග්‍යවතුන් වහන්සේ වදාළ කාරණය මොන තරම් ඇත්තක්ද? ඒ කිව්වෙ ‘පින්වත් මහණෙනි, ඔය සද්දෙ වැඩිකල් තියෙන්නෙ නෑ. සතියක් විතරමයි ඕක පවතින්නෙ. සතිය ඉවර වෙන කොට ඕක අතුරුදහන් වෙලා යනවා’ කියලා. ස්වාමීනී, ඒ ශබ්දය අතුරුදහන් වෙලා ගියා.”
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“සංවරකමක් නැති අඥාන මිනිසුන් වචනවලින් විදිනවා. යුද්දෙට ගිය ඇත් රජෙකුට හතුරෝ එකතු වෙලා ඊතලවලින් විදිනවා වගෙයි. නමුත් තරහ සිත් නැති භික්ෂුව අනුන් කියන ඒ දරුණු කථා අහගෙන ඉවසාගෙන ඉන්නවා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M