මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලෙහෙනුන්ගේ අභය භූමිය වූ වේළුවනාරාමයේ.
එදා හුදෙකලාවේ භාවනාවෙන් වැඩසිටි ආයුෂ්මත් වංගන්ත පුත්‍ර උපසේන තෙරුන්ට මෙවැනි චිත්ත සංකල්පනාවක් ඇතිවුනා.
“අනේ මට කොයි තරම් ලාභයක්ද! අනේ මට කොයි තරම් හොඳ ලාභයක්ද! මාගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ අරහත් සම්මා සම්බුද්ධ වන සේක. මුල මැද අග පිරිසිදු ලෙස, මනා කොට දේශනා කරන ලද ධර්ම විනය ඇති මේ අනගාරික බුදු සසුනේ මටත් මහණ වෙන්න ලැබුනා නේ. මගේ (කළණ මිතුරන් වූ) සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් සිල්වත් වූ, යහපත් ගුණධර්ම ඇති උතුමන් නෙ. මටත් සිල්ගුණ සම්පූර්ණ කරන කෙනෙක් බවට පත්වෙන්න පුළුවන් වුනා නෙ. මගේ හිතත් සමාධිමත්. මම කෙලෙස් රහිත රහත් භික්ෂුවක්. මම මහා ඉර්ධිමත්, මහානුභාව ඇති කෙනෙක්. මගේ මුළු ජීවිතයම සුන්දරයි! මගේ මරණයත් (පිරිනිවන් පෑමත්) සුන්දරයි!”
ඉතින් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් වංගන්තපුත්ත උපසේන තෙරුන්ගේ සිතෙහි ඇතිවුනු අදහස තමන් වහන්සේගේ සිතින් පිරිසිඳ දැන ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“ජීවිතය විසින් කෙනෙක් පෙළන්නේ නැත්නම්, මරණයෙන් කෙළවර වෙද්දී ශෝක වෙන්නෙ නැත්නම්, ඔහු අමා නිවන දුටු කෙනෙක්. ප්‍රඥාවන්තයෙක්. දුක් ශෝක පිරි ලොව තුළ ශෝක නොවන කෙනෙක්.
භව තණ්හාව මුලින්ම නැසූ කෙනෙක්. ශාන්ත සිත් ඇති ඒ භික්ෂුවගේ ඉපදෙන මැරෙන සසර නැත්තටම නැති වෙලා තියෙන්නේ. ඔහුට නම් අයෙ පුනර්භවයක් නෑ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M