මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
ඒ වෙලාවෙ ආයුෂ්මත් පිණ්ඩෝල භාරද්වාජ තෙරුන් පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන, භාග්‍යවතුන් වහන්සේට නුදුරින් වැඩසිටියා. (ඒ ආයුෂ්මත් පිණ්ඩෝල භාරද්වාජ තෙරුන්) වාසය කරන්නේ වනාන්තරයේ. ජීවත් වුනේ පිණ්ඩපාතෙන්, පෙරෙව්වේ පාංශුකූල වස්ත්‍ර. තුන් සිවුරෙන් තමයි යැපුනෙ. අල්පේච්ඡයි. ලද දෙයින් සතුටු වෙනවා. හුදෙකලාවේ ඇලී වාසය කරන්නෙ. පිරිසෙහි නොඇලී තමයි වාසය කළේ. පටන් ගත් දැඩි වීර්යෙන් යුතුවයි වාසය කළේ. ධුතාංගයන්ගේ ගුණ වර්ණනා කරනවා. අරහත් ඵල සමවතින් යුතුවයි වැඩසිටියේ.
භාග්‍යවතුන් වහන්සේ වනාන්තරයේ වාසය කරන, පිණ්ඩපාතයෙන් යැපෙන, පාංශුකූල වස්ත්‍ර දරන, තුන් සිවුරෙන් පමණක් යැපෙන, අල්පේච්ඡ වූ ලද දෙයින් සතුටු වන, පිරිසෙහි නොඇලී වාසය කරන, පටන් ගත් දැඩි වීර්යයෙන් යුතු, ධුතාංගයන්ගේ ගුණ වර්ණනා කරන, අරහත් ඵල සමවතින් යුතුව පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන, තමන් වහන්සේට නුදුරින් වැඩ සිටින ආයුෂ්මත් පිණ්ඩෝල භාරද්වාජ තෙරුන්ව දැක වදාළා.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“කාටවත් උපවාද නොකර සිටීමත්, කාටවත් හිංසා පීඩා නොකර සිටීමත්, උතුම් වූ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ සංවර වෙලා සිටීමත්, වළඳන දානයේ අර්ථය දැනගෙන සිටීමත්, ජනයාගෙන් ඈත දුර තිබෙන සේනාසනවල වාසය කිරීමත් කරන්න ඕන. නිවනෙහිම යෙදී වාසය කරන්න ඕන. මේක තමයි බුදුවරුන්ගේ අනුශාසනාව.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M