මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ.
ඒ කාලෙ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ගෙනුත්, රාජ රාජ මහා ඇමතිවරුන්ගෙනුත්, අන්‍යාගමික ශ්‍රාවකයන්ගෙනුත් පිරී ගිය සංකීර්ණ පරිසරයකයි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ. ඒ සංකීර්ණ බව උන්වහන්සේට කරදරයක් වුනා. පහසුවක් වුනේ නෑ.
එතකොට භාග්‍යවතුන් වහන්සේට මෙහෙම හිතුනා. ‘භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ගෙනුත්, රාජ රාජ මහා ඇමතිවරුන්ගෙනුත්, අන්‍යාගමික ශ්‍රාවකයන්ගෙනුත් පිරී ගිය සංකීර්ණ පරිසරයකයි මං දැන් ඉන්නෙ. පිරිස් පිරී ගිය තැන විසීම කරදරයක්. පහසුවක් නෑ. මට තනියම පිරිසෙන් වෙන්වෙලා හුදෙකලාවේ ගතකරන්න තියෙනවා නම් හොඳයි’ කියලා.
එදා භාග්‍යවතුන් වහන්සේ උදේ වරුවේ සිවුරු පොරොවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන කොසඹෑ නුවරට පිඬුසිඟා වැඩියා. කොසඹෑ නුවර පිණ්ඩපාතෙ වැඩම කරලා හවස් වරුවේ ආපසු වැඩියා. තමන් වහන්සේ විසින්ම කුටියේ ආසන තැන්පත් කළා. පාත්‍ර සිවුරු අරගත්තා. උපස්ථායක භික්ෂූන් ඇමතුවේ නෑ. භික්ෂුසංඝයාට දන්වා වදාළේ නෑ. දෙවැන්නෙක් නැතිව, හුදෙකලාවේම පාරිලෙය්යක වනය බලා චාරිකාවේ වැඩියා. අනුපිළිවෙළින් චාරිකාවේ වඩිමින් පාරිලෙය්යක වනයට පැමිණ වදාළා. භාග්‍යවතුන් වහන්සේ ඒ පාරිලෙය්යක ගම අසල ‘රක්ඛිත’ නම් වන ගොමුවේ, සුවිශාල වූ සල් රුක් සෙවනක වැඩසිටියා.
එක්තරා ඇත් රජෙක්, ඇතුන්, ඇතින්නියන්, ඇත් නාම්බන්, ඇත් පැටවුන්ගෙන් පිරී ගිය ඇත් රැළක හිටියා. ඒ ඇත් රජුට කන්න ලැබුනේ දළු නැති තණ කොළයි. ඒ ඇත් රජු විසින්ම බිඳ බිඳ හෙළන කොළ අතු තමයි අනිත් ඇත්තු කන්නෙ. ඇත් රජුට බොන්නට ලැබෙන්නෙ කැළඹුණු වතුරමයි. වතුරෙන් ගොඩට එන ඇතින්නියොත් ඇත් රජාගේ ඇගේ හැප්පිලා තමයි යන්නෙ. මෙහෙම පිරිස මැද්දෙ සිටීම කරදරයක් වුනා. පහසුවක් වුනේ නෑ.
එතකොට ඒ ඇත් රජාට මෙහෙම හිතුනා. ‘මට දැන් ඉන්න වෙලා තියෙන්නෙ. ඇත්තු, ඇතින්නියන්, ඇත් නාම්බන්, ඇත් පැටවුන් ගැවසී ගිය තැනකයි. දළු නැති තණ කොළ තමයි කන්න වෙලත් තියෙන්නෙ. මං කඩන කොළ අතුත් මේ අනිත් ඈයෝ කනවා. බොර වෙච්ච වතුර තමයි බොන්න වෙලා තියෙන්නෙ. වතුරෙන් ගොඩට එන ඇතින්නියොත් යන්නෙ මගේ ඇඟේ හැප්පීගෙනයි. පිරිස ගැවසුන තැනක ඉන්න එක මහා කරදරයක්. පහසුවක් නෑ. මමත් තනියම, පිරිසෙන් වෙන් වෙලා, හුදෙකලාවෙම ඉන්න එක තමයි හොඳ’ කියලා.
ඉතින් ඒ ඇත් රජා ඇත් රැලෙන් වෙන් වෙලා, පාරිලෙය්යක ගමට ආවා. රක්ඛිත වනගොමුවේ සුවිශාල සල්රුක් සෙවනටත් ආවා. භාග්‍යවතුන් වහන්සේ ළඟටත් ගියා. ඊට පස්සේ ඒ ඇත් රජා, භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටිනවා නම්, එතැන හොඳට තණකොළ ඉවත් කරලා පිරිසිදු කරනවා. භාග්‍යවතුන් වහන්සේට වළඳන පැනුත්, පාවිච්චියට ගන්න පැනුත් (පාත්‍රයෙන්) හොඬවැලෙන් අරගෙන එනවා.
එතකොට භාග්‍යවතුන් වහන්සේට හුදෙකලා විවේකයෙන් සිටිද්දී මෙවැනි කල්පනාවක් ඇතිවුනා. ‘මං ඉස්සර පිරිස් ගැවසී, පිරුණු තැනකයි හිටියේ. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ගෙනුත්, රාජ රාජ මහා ඇමැතිවරුන්ගෙනුත්, අන්‍යාගමික ශ්‍රාවකයන්ගෙනුත් ගැවසිලා, පිරිලා තිබුනා. පිරිස් ගැවසුන තැනක සිටීම හරිම කරදරයි. පහසුවක් නෑ. නමුත් මම දැන් පිරිස් රහිතවයි ඉන්නෙ. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා, රාජ රාජ මහා ඇමැතිවරු, අන්‍යාගමික ශ්‍රාවකයන්ගෙන් පිරුණු තැනක් නොවෙයි. පිරිස් රහිතව සිටීම හරිම පහසුයි’ කියලා.
අර හස්ති රාජයාටත් ඒ විදිහේ කල්පනාවක් ඇතිවුනා. ‘මං ඉස්සර ඇතුන්, ඇතින්නියන්, ඇත් නාම්බන්, ඇත් පැටවුන්ට මැදි වෙලා සංකීර්ණව හිටියේ. දළු නැති තණ කොළයි කෑවෙ. මං කඩන කඩන කොළ අතු එයාලා කෑවා. මඩ වතුරයි බිව්වෙ. වතුරෙන් ගොඩට ආපු ඇතින්නියොත් මගේ ඇඟේ හැප්පීගෙන ගියා. පිරිස්වලට මැදි වෙලා ඉන්න එක කරදරයි. පහසුවක් නෑ’ කියලා. නමුත් මම දැන් පිරිස් රහිතව යි ඉන්නේ. ඇතුන්, ඇතින්නියන්, ඇත්නාම්බන්, ඇත් පැටවුන්ට මැදිවෙලා සංකීර්ණව නොවෙයි ඉන්නේ. දළු ඇති තණකොළයි කන්නේ. මං කඩන කඩන කොළ අතු එයාලා කන්නෙත් නෑ. නොකැළඹුණු වතුරයි බොන්නේ. වතුරෙන් ගොඩට ආපු ඇතින්නියොත් මගේ ඇඟේ හැප්පීගෙන යන්නේ නෑ. පිරිස් රහිතව සිටීම හරිම පහසුයි’ කියලා.
එතකොට භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ විවේකයත් දැනගෙන, ඒ ඇත් රජුගේ කල්පනාවත් තම සිතින් දැන ගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“සුවිශාල දළ යුගලක් ඇති හස්ති රාජයාගේ අදහස හුදෙකලාවෙ වන වාසයෙන් සතුටු වන තථාගතයන් වහන්සේ නම් වූ හස්ති රාජයාගේ අදහසට සිතින් සිත සමාන වුනා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M