මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලෙහෙනුන්ගේ අභයභූමිය වූ වේළුවනාරාමයේ.
ඒ දිනවල ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේත්, ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්සේත් කපෝතකන්දරයේ වාසය කළේ. එදා සඳ වැඩීගෙන එන කාලෙ රාත්‍රී දවසක්. ආයුෂ්මත් සැරියුත් තෙරුන් කෙස් රැවුල් බාලා, එළිමහනේ වැඩසිටියා. ඒ මොහොතේ එක්තරා සමාධියකට සමවැදිලා භාවනාවෙනුයි සිටියේ.
ඒ වෙලාවේ යහළු යක්කු දෙන්නෙක් යම්කිසි කටයුත්තකට උතුරු දිශාවේ ඉඳන් දකුණු දිශාවට යනවා. ඉතින් ඒ දෙන්නට සඳ වැඩීගෙන එන රාත්‍රියේ හොඳට කෙස් රැවුල් බාලා, එළිමහනේ වාඩිවෙලා (සමාධියෙන්) ඉන්න ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේව දැකගන්න ලැබුනා. දැකලා එක යකෙක් දෙවෙනි යකාට මෙහෙම කිව්වා.
“යාළුවේ, මේ ශ්‍රමණයාගේ හිසට පහරක් දෙන්නමයි හිතෙන්නෙ.”
එහෙම කිව්වාම අනිත් යකා ඒ යකාට මෙහෙම කිව්වා.
“වැඩක් නෑ යාළුවා. ඔය ශ්‍රමණයාට පහර දෙන්න එපා. ඔය ශ්‍රමණයා මහා ඉර්ධිමත්. මහානුභාව සම්පන්නයි. උදාර කෙනෙක්.”
දෙවෙනි වතාවෙත් අර යකා අනිත් යකාට මෙහෙම කිව්වා.
“යාළුවේ, මේ ශ්‍රමණයාගේ හිසට පහරක් දෙන්නමයි හිතෙන්නෙ.”
දෙවෙනි වතාවෙත් අනිත් යකා ඒ යකාට මෙහෙම කිව්වා.
“වැඩක් නෑ යාළුවා. ඔය ශ්‍රමණයාට පහර දෙන්න එපා. ඔය ශ්‍රමණයා මහා ඉර්ධිමත්. මහානුභාව සම්පන්නයි. උදාර කෙනෙක්.”
තුන්වෙනි වතාවෙත් අර යකා අනිත් යකාට මෙහෙම කිව්වා.
“යාළුවේ, මේ ශ්‍රමණයාගේ හිසට පහරක් දෙන්නමයි හිතෙන්නෙ.”
තුන්වෙනි වතාවෙත් අනිත් යකා ඒ යකාට මෙහෙම කිව්වා.
“වැඩක් නෑ යාළුවා. ඔය ශ්‍රමණයාට පහර දෙන්න එපා. ඔය ශ්‍රමණයා මහා ඉර්ධිමත්. මහානුභාව සම්පන්නයි. උදාර කෙනෙක්.”
නමුත් ඒ යකා අනිත් යකාගේ වචනෙ ඇහුවෙ නෑ. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ හිසට පහරක් දුන්නා. ඒක මහා බලවත් පහරක්. එවැනි පහරකින් රියන් හතේ හරි, රියන් හත හමාරේ හරි ඇතෙක්ව බිම දමන්න වුනත් පුළුවනි. මහත් වූ පර්වතයක් පලා දමන්න වුනත් පුළුවනි. එතකොටම ඒ යකා “අයියෝ! පිච්චෙනවෝ, පිච්චෙනවෝ” කියමින් එතැනම චුත වෙලා මහා නිරයට ඇද වැටුනා. (මහා නිරයේ ඉපදුනා)
ඒ යකා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ හිසට පහර දෙන කොට, ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්සේ මිනිස් ඇස ඉක්මවා ගිය දිවැසින් මේ සිදුවීම දැක්කා. දැකලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.
“ප්‍රිය ආයුෂ්මතුනි, මොකද වුනේ? ඉවසන්න පුළුවන් ද? මොකද, දරන්න පුළුවන්ද? මොකද, කිසි දුකක් නැද්ද?”
“ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, මට ඉවසන්න පුළුවනි. ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, මට දරාගන්න පුළුවනි. නමුත් හිසේ යාන්තමට කැක්කුමක් තියෙනවා.”
“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් කොයිතරම් මහා ඍද්ධිමත්ද, ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් කොයිතරම් මහානුභාව සම්පන්නද යන මෙය ආශ්චර්යයයි! අද්භූතයි! ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මෙතැන දැන් එක්තරා යකෙක් ඔබවහන්සේගේ හිසට පහරක් දුන්නා. ඒක මහා බලවත් පහරක්. එවැනි පහරකින් රියන් හතේ හරි, රියන් හත හමාරේ හරි ඇතෙක්ව බිම දමන්නට වුනත් පුළුවනි. මහා පර්වතයක් ඒ පහරින් පලා දමන්න වුනත් පුළුවනි. නමුත් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙහෙමයි කියන්නෙ. ‘ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, මට ඉවසන්න පුළුවනි. ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, මට දරාගන්න පුළුවනි. නමුත් හිසේ යාන්තමට කැක්කුමක් තියෙනවා’ කියලා.”
“ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලානයන් කොයිතරම් මහා ඍද්ධිමත්ද, ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලානයන් කොයිතරම් මහානුභාව සම්පන්නද යන මෙය ආශ්චර්යයයි! අද්භූතයි! මෙතැන හිටපු යකෙක්වත් දැක්කා. නමුත් අපි නම් දැන් මෙතැන පාංශු පිශාචයෙක්වත් දැක්කෙ නෑ.”
ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ ඒ අග්‍රශ්‍රාවක වූ මහරහතුන් දෙනමගේ මෙබඳු කතා බහ, මිනිස් ශ්‍රවණය ඉක්මවා ගිය දිව්‍ය ශ්‍රවණයෙන් අසා වදාළා.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“යමෙකුගේ සිත ගල් පර්වතයක් වගේ නිවනේ පිහිටලා නම් තියෙන්නෙ, අට ලෝ දහමෙන් කම්පා වෙන්නෙ නෑ. රාගය හටගන්න කිසි අරමුණක ඇලෙන්නෙත් නෑ. කෝපය ඇතිවෙන කිසි කරුණකට කෝපය ඇතිවෙන්නෙත් නෑ. ඉතින්, යමෙකුගේ සිත ඔය විදිහට දියුණු කරලා නම් තියෙන්නෙ, දුකක් කොහොම එන්නද?”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M