මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කුසිනාරා නුවර උපවර්තන නම් වූ මල්ල රජදරුවන්ගේ සල් වනයේ.
ඒ කාලෙ භාග්‍යවතුන් වහන්සේට නුදුරින්, බොහෝ භික්ෂූන් වහන්සේලා වනගත කුටිවල වාසය කළා. ඒ භික්ෂූන් වහන්සේලා තුළ සංසුන්කමක් නෑ. මාන්නෙන් උඩඟු වෙලා ඉන්නෙ. ඒ වගේම චපලයි. මුඛරියි. කට වාචාලයි. සිහි මුළා වෙලා. නුවණත් නෑ. අසමාහිතව බිරාන්ත සිත් ඇතිව, අසංවර ඉඳුරන් ඇතිවයි ඉන්නේ.
භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේට නුදුරින් වනගත කුටිවල නොසංසිඳුනු සිතින්, ඔසවාගත් මානයෙන්, චපලකමින්, මුඛරිකමින්, කට වාචාලකමින්, සිහි මුළාවෙන්, අඥානකමින්, අසමාහිතකමින්, බිරාන්ත සිතින්, අසංවර ඉඳුරන් ඇතිව ඉන්න භික්ෂූන් දැකගන්නට ලැබුනා.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“මිත්‍යා දෘෂ්ටියක් තුළ ඉඳගෙන, නොරැකගත් ඉඳුරන් ඇති කයක් තියාගෙන, නිදිමතටයි, අලසකමටයි යට වෙලා ඉන්න කෙනා, මාරයාගේ වසඟයට යනවා.
එම නිසා, සිත රැකගන්න ඕන. සම්මා සංකල්පයටම යොමු වෙලා ඉන්න ඕන. නිදිමත, අලස බව මැඬලන්නට ඕන. අන්න ඒ භික්ෂුව හැම දුගතියක්ම දුරු කරලා දානවා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M