මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
ඒ දිනවල බොහෝ භික්ෂූන් පිණ්ඩපාතෙන් පස්සේ හවස් වරුවේ කරෙරි මණ්ඩල මාලකයට රැස්වෙලා මේ විදිහේ කතාවක් කරමින් හිටියා.
“ප්‍රිය ආයුෂ්මතුනි, පිණ්ඩපාතෙන් යැපෙන භික්ෂුවට පිඬු සිඟා වඩිද්දී කලින් කලට ඉතා ප්‍රිය මනාප රූප ඇසින් දකින්න ලැබෙනවා. කලින් කලට ඉතා ප්‍රිය මනාප ශබ්ද කනෙන් අසන්න ලැබෙනවා. කලින් කලට ඉතා ප්‍රිය මනාප සුවඳ නාසයෙන් ආඝ්‍රාණය කරන්න ලැබෙනවා. කලින් කලට ඉතා ප්‍රිය මනාප රස දිවෙන් රස විඳින්න ලැබෙනවා. කලින් කලට ඉතා ප්‍රිය මනාප පහස කයෙන් විඳින්න ලැබෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ වගේම පිණ්ඩපාතෙන් ජීවත් වෙන භික්ෂුව පිණ්ඩපාතේ හැසිරීම නිසා සත්කාර ලබනවා. ගෞරව ලබනවා. බුහුමන් ලබනවා. පිදුම් ලබනවා. යටහත් පැවතුම් ලබනවා. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ නිසා අපිත් පිණ්ඩපාතෙන් විතරක් ජීවත් වෙමු. එතකොට අපටත් කලින් කලට ඉතා ප්‍රිය මනාප රූප ඇසින් දකින්න පුළුවනි. අපටත් කලින් කලට ඉතා ප්‍රිය මනාප ශබ්ද කනෙන් අසන්න පුළුවනි. අපටත් කලින් කලට ඉතා ප්‍රිය මනාප සුවඳ නාසයෙන් ආඝ්‍රාණය කරන්න පුළුවනි. අපටත් කලින් කලට ඉතා ප්‍රිය මනාප රස දිවෙන් රස විඳින්න පුළුවනි. අපටත් කලින් කලට ඉතා ප්‍රිය මනාප පහස කයෙන් විඳින්න පුළුවනි. අපිත් සත්කාර ලබාගෙන, ගෞරව ලබාගෙන, බුහුමන් ලබාගෙන, පිදුම් ලබාගෙන, යටහත් පැවැතුම් ලබාගෙන පිණ්ඩපාතේ හැසිරෙමු.”
භික්ෂූන් අතර වූ මේ කතා බහ මෙහිදී අඩාල වුනා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ හවස් වරුවේ භාවනාවෙන් නැගිටලා කරේරිමණ්ඩල මාලකයට වැඩම කළා. එහි පණවන ලද අසුනෙහි වැඩසිටියා. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා.
“පින්වත් මහණෙනි, දැන් ඔබ කතා බස් කර කර හිටියේ මොකක් ගැනද? අඩාල වෙලා ගිය කථාව කුමක්ද?”
“ස්වාමීනී, අපි පිණ්ඩපාතෙන් පස්සේ හවස් වරුවේ කරේරිමණ්ඩල මාලකයට රැස් වෙලා ඉන්න කොට, මේ විදිහේ කතා බහකයි යෙදිලා හිටියේ. ‘ප්‍රිය ආයුෂ්මතුනි, පිණ්ඩපාතෙන් යැපෙන භික්ෂුවට පිඬු සිඟා වඩිද්දී කලින් කලට ඉතා ප්‍රිය මනාප රූප ඇසින් දකින්න ලැබෙනවා. කලින් කලට ඉතා ප්‍රිය මනාප ශබ්ද කනෙන් අසන්න ලැබෙනවා. කලින් කලට ඉතා ප්‍රිය මනාප සුවඳ නාසයෙන් ආඝ්‍රාණය කරන්න ලැබෙනවා. කලින් කලට ඉතා ප්‍රිය මනාප රස දිවෙන් රස විඳින්න ලැබෙනවා. කලින් කලට ඉතා ප්‍රිය මනාප පහස කයෙන් විඳින්න ලැබෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ වගේම පිණ්ඩපාතෙන් ජීවත් වෙන භික්ෂුව පිණ්ඩපාතේ හැසිරීම නිසා සත්කාර ලබනවා. ගෞරව ලබනවා. බුහුමන් ලබනවා. පිදුම් ලබනවා. යටහත් පැවතුම් ලබනවා. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ නිසා අපිත් පිණ්ඩපාතෙන් විතරක් ජීවත් වෙමු. එතකොට අපටත් කලින් කලට ඉතා ප්‍රිය මනාප රූප ඇසින් දකින්න පුළුවනි. …. (පෙ) …. අපටත් කලින් කලට ඉතා ප්‍රිය මනාප පහස කයෙන් විඳින්න පුළුවනි. අපිත් සත්කාර ලබාගෙන, ගෞරව ලබාගෙන, බුහුමන් ලබාගෙන, පිදුම් ලබාගෙන, යටහත් පැවැතුම් ලබාගෙන පිණ්ඩපාතේ හැසිරෙමු’ කියලා. ස්වාමීනී, ඔය කථාව තමයි අතරමග නතර වුනේ. එතකොට තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩමවා වදාළේ.”
“නෑ, පින්වත් මහණෙනි, ගිහි ගේ අත්හැරලා මේ අනගාරික ශාසනයේ ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච පින්වත් කුලපුත්‍රයන් වන ඔබට ඔය විදිහේ කථාවක් කර කර ඉන්න එක සුදුසු නෑ. ‘පින්වත් මහණෙනි, එකට එකතුවෙච්ච වෙලාවට කරුණු දෙකක් කරන්න ඕන. එක්කො ධර්ම කථාවක යෙදෙන්න ඕන. එහෙම නැත්නම් ආර්ය වූ නිශ්ශබ්දතාවය වන භාවනාවක යෙදෙන්න ඕන.’”
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“පිඬු සිඟා වඩින භික්ෂුව යන්තමින් තමන්ට යැපෙන්න විතරක් මොකවත් හොයාගත්තහම ඇති. අනික ඒ භික්ෂුව අනුන්ව පෝෂණය කරන්නෙ නෑ නෙව. අට ලෝ දහමට කම්පා නොවෙන තමා ගැන පැතිරෙන කීර්ති රාවය සමඟ එකතු නොවන භික්ෂුවට දෙවියොත් සෙනෙහෙවන්තයි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M