ඛුද්දක නිකාය

උදාන පාළි

3.6. පිළින්දිවච්ඡ සුත්තං

3.6. පිළින්දිවච්ඡ තෙරුන් අරභයා වදාළ උදානය

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්දකනිවාපේ. තේන ඛෝ පන සමයේන ආයස්මා පිලින්දිවච්ඡෝ භික්ඛූ වසලවාදේන සමුදාචරති. අථ ඛෝ සම්බහුලා භික්ඛූ යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නා ඛෝ තේ භික්ඛූ භගවන්තං ඒතදවෝචුං: ‘ආයස්මා භන්තේ පිලින්දිවච්ඡෝ භික්ඛූ වසලවාදේන සමුදාචරතී’ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලේනුන්ගේ අභය භූමිය වූ කලන්දක නිවාපයේ.

ඒ දිනවල ආයුෂ්මත් පිළින්දිවච්ඡ තෙරුන් (ඒයි වසලය, මෙහි එව ආදී වශයෙන්) භික්ෂූන්ට ‘වසල’ වචනයෙන් කතා කරනවා. එතකොට බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩි වුන ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, ආයුෂ්මත් පිළින්දිවච්ඡයන් භික්ෂූන්ට ‘වසල’ වාදයෙන් කතා කරනවා.”

අථ ඛෝ භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තේසි: ඒහි ත්වං භික්ඛු, මම වචනේන පිලින්දිවච්ඡං භික්ඛුං ආමන්තේහි: සත්ථා තං ආවුසෝ පිලින්දිවච්ඡ ආමන්තේතී’ති. ‘ඒවං භන්තේ’ති ඛෝ සෝ භික්ඛු භගවතෝ පටිස්සුත්වා යේනායස්මා පිලින්දිවච්ඡෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං පිලින්දිවච්ඡං ඒතදවෝච: ‘සත්ථා තං ආවුසෝ ආමන්තේතී’ති. ‘ඒවමාවුසෝ’ති ඛෝ ආයස්මා පිලින්දිවච්ඡෝ තස්ස භික්ඛුනෝ පටිස්සුත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ ආයස්මන්තං පිලින්දිවච්ඡං භගවා ඒතදවෝච: ‘සච්චං කිර ත්වං වච්ඡ, භික්ඛූ වසලවාදේන සමුදාචරසී’ති. ‘ඒවං භන්තේ’ති.

එතකොට භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් ඇමතුවා.

“පින්වත් භික්ෂුව, මෙහි එන්න. මගේ වචනයෙන් පිළින්දිවච්ඡ භික්ෂුව අමතන්න. ‘ප්‍රිය ආයුෂ්මත, ශාස්තෘන් වහන්සේ ඔබව අමතනවා’ කියලා.”

“එසේය, ස්වාමීනී” කියලා ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දීලා, ආයුෂ්මත් පිළින්දිවච්ඡයන් ළඟට ගියා. ගිහින් ආයුෂ්මත් පිළින්දිවච්ඡයන් හට මෙහෙම කිව්වා.

“ප්‍රිය ආයුෂ්මත, අන්න ශාස්තෘන් වහන්සේ ඔබව කැඳවනවා.”

“එසේය, ආයුෂ්මත” කියලා ආයුෂ්මත් පිළින්දිවච්ඡයන් ඒ භික්ෂුවට පිළිතුරු දීලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ආයුෂ්මත් පිළින්දිවච්ඡයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙය අසා වදාළා.

“පින්වත් වච්ඡයෙනි, ඔබ ‘වසල’ වාදයෙන් භික්ෂූන්ට කතා කරන බව ඇත්තක්ද?”

“එසේය, ස්වාමීනී”

අථ ඛෝ භගවා ආයස්මතෝ පිලින්දිවච්ඡස්ස පුබ්බේනිවාසං මනසිකරිත්වා භික්ඛූ ආමන්තේසි: “මා ඛෝ තුම්හේ භික්ඛවේ වච්ඡස්ස භික්ඛුනෝ උජ්ඣායිත්ව. න භික්ඛවේ වච්ඡෝ දෝසන්තරෝ, භික්ඛූ වසලවාදේන සමුදාචරති. වච්ඡස්ස භික්ඛවේ භික්ඛුනෝ පඤ්ච ජාතිසතානි අබ්බෝකිණ්ණානි බ්‍රාහ්මණකුලේ පච්චාජාතානි. සෝ තස්ස වසලවාදෝ දීඝරත්තං සමුදාචිණ්ණෝ. තේනායං වච්ඡෝ භික්ඛූ වසලවාදේන සමුදාචරතී”ති.

එතකොට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පිළින්දිවච්ඡ තෙරුන්ගේ පෙර ගත කළ ජීවිත පිළිවෙල ගැන (පුබ්බේනිවාස) නුවණින් විමසා වදාළා. භික්ෂූන් අමතා වදාළා.

“පින්වත් මහණෙනි, ඔය වච්ඡ භික්ෂුවට මොකවත් කියන්න එපා! පින්වත් මහණෙනි, වච්ඡ භික්ෂුව ‘වසල’ වාදයෙන් කතා කරන්නෙ ද්වේෂ සහගත සිතින් නොවෙයි. පින්වත් මහණෙනි, ඔය වච්ඡ භික්ෂුව ආත්ම භාව පන්සියයක්ම එක දිගට බ්‍රාහ්මණ කුලයේ ඉපදිලා තියෙන්නේ. ඔය වසලවාදය ඔහු බොහෝ කලක් තිස්සේ පුරුදු කරගෙන ආපු එකක්. ඒ නිසයි ඔය වච්ඡ භික්ෂූන්ට වසලවාදයෙන් කතා කරන්නේ.”

අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි:

ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

“යම්හි න මායා වසති න මානෝ
යෝ වීතලෝභෝ අමමො නිරාසෝ,
පනුණ්ණකෝධෝ අභිනිබ්බුතත්තෝ
සෝ බ්‍රාහ්මණෝ සෝ සමණෝ ස භික්ඛූ”ති.

“යම් කෙනෙක් තුළ මායා නැත්නම්, මාන්නයක් නැත්නම්, ඔහු ලෝභයෙන් තොර කෙනෙක්මයි. මමත්වයෙන් තොර කෙනෙක්මයි. ආශා රහිත කෙනෙක්මයි. ක්‍රෝධය බැහැර කළා නම්, පිරිනිවී ගිය සිතක් ඇත්නම්, ඔහු තමයි බ්‍රාහ්මණයා. ඔහු තමයි ශ්‍රමණයා. ඔහු තමයි භික්ෂුව.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M