ඛුද්දක නිකාය

උදාන පාළි

3.4. සාරිපුත්ත සුත්තං

3.4. සැරියුත් තෙරුන් අරභයා වදාළ උදානය

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන ආයස්මා සාරිපුත්තෝ භගවතෝ අවිදූරේ නිසින්නෝ හෝති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. අද්දසා ඛෝ භගවා ආයස්මන්තං සාරිපුත්තං අවිදූරේ නිසින්නං පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

එදා ආයුෂ්මත් සැරියුත් තෙරුන් භාග්‍යවතුන් වහන්සේට නුදුරින් පළඟක් බැඳ ගෙන, කය ඍජු කරගෙන, භාවනා අරමුණේ සිහිය පිහිටුවා ගෙන වාඩි වෙලා සිටියා. පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන, භාවනා අරමුණේ සිහිය පිහිටුවා ගෙන වාඩිවෙලා ඉන්න ආයුෂ්මත් සැරියුත් තෙරුන්ව භාග්‍යවතුන් වහන්සේට දැකගන්න ලැබුනා.

අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි:

ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

“යථාපි පබ්බතෝ සේලෝ අචලෝ සුප්පතිට්ඨිතෝ,
ඒවං මෝහක්ඛයා භික්ඛු පබ්බතෝ’ව න වේධතී”ති.

“හරියටම ගල් පර්වතයක් වගෙයි. සෙලවීමක් නෑ. මනාව පිහිටලයි ඉන්නේ. මෝහය ගෙවලා දාපු භික්ෂුවත් ඒ වගේම තමයි. ගල් පර්වතයක් වගෙයි. සෙලවෙන්නෙ නෑ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M