ඛුද්දක නිකාය

උදාන පාළි

3.2. නන්ද සුත්තං

3.2. නන්ද තෙරුන් අරභයා වදාළ උදානය

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන ආයස්මා නන්දෝ භගවතෝ භාතා මාතුච්ඡාපුත්තෝ සම්බහුලානං භික්ඛූනං ඒවමාරෝචේති: “අනභිරතෝ අහං ආවුසෝ බ්‍රහ්මචරියං චරාමි. න සක්කෝමි බ්‍රහ්මචරියං සන්ධාරේතුං, සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමී”ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

ඒ දිනවලම භාග්‍යවතුන් වහන්සේගේ සහෝදර වූ, සුළු මෑණියන්ගේ පුතණුවන් වූ ආයුෂ්මත් නන්දයන් බොහෝ භික්ෂූන්ට මේ විදිහේ කරුණක් දැනුම් දෙනවා.

“අනේ ප්‍රිය ආයුෂ්මතුනි, මම නම් මේ බඹසර හැසිරෙන්නේ කැමැත්තකින් නොවෙයි. මට මේ බඹසර ජීවිතය උසුලාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. මේ ශික්ෂාව බැහැර කරලා ගිහි බවට පත්වෙන්නයි හිතාගෙන ඉන්නේ.”

අථ ඛෝ අඤ්ඤතරෝ භික්ඛු යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ සෝ භික්ඛු භගවන්තං ඒතදවෝච: “ආයස්මා භන්තේ නන්දෝ භගවතෝ භාතා මාතුච්ඡාපුත්තෝ සම්බහුලානං භික්ඛූනං ඒවමාරෝචේති. “අනභිරතෝ අහං ආවුසෝ බ්‍රහ්මචරියං චරාමි. න සක්කෝමි බ්‍රහ්මචරියං සන්ධාරේතුං. සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමී”ති.

එතකොට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් ආදරයෙන් වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ සහෝදර වූ, සුළු මෑණියන්ගේ පුතණුවන් වූ ආයුෂ්මත් නන්දයන් බොහෝ භික්ෂූන්ට මේ විදිහේ කරුණක් දැනුම් දෙනවා. ‘අනේ ප්‍රිය ආයුෂ්මතුනි, මම නම් මේ බඹසර හැසිරෙන්නේ කැමැත්තකින් නොවෙයි. මට මේ බඹසර ජීවිතය උසුලාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. මේ ශික්ෂාව බැහැර කරලා ගිහි බවට පත්වෙන්නයි හිතාගෙන ඉන්නේ’ කියලා.”

අථ ඛෝ භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තේසි. “ඒහි ත්වං භික්ඛු, මම වචනේන නන්දං භික්ඛුං ආමන්තේහි “සත්ථා තං ආවුසෝ නන්ද, ආමන්තේතී”ති. ‘ඒවං භන්තේ’ති ඛෝ සෝ භික්ඛු භගවතෝ පටිස්සුත්වා යේනායස්මා නන්දෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං නන්දං ඒතදවෝච: “සත්ථා තං ආවුසෝ නන්ද, ආමන්තේතී”ති.

එතකොට භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් අමතා වදාළා.

“පින්වත් භික්ෂුව, මෙහි එන්න. මගේ වචනයෙන් නන්ද භික්ෂුව අමතන්න. ‘ප්‍රිය ආයුෂ්මත් නන්දයෙනි, අන්න ශාස්තෘන් වහන්සේ ඔබව අමතනවා’ කියලා.”

“එසේය, ස්වාමීනී” කියලා ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දීලා ආයුෂ්මත් නන්දයන් ළඟට ගියා. ගිහින් ආයුෂ්මත් නන්දයන්ට මෙහෙම කිව්වා.

“ප්‍රිය ආයුෂ්මත් නන්දයෙනි, අන්න ශාස්තෘන් වහන්සේ ඔබට කතා කරනවා.”

‘ඒවමාවුසෝ’ති ඛෝ ආයස්මා නන්දෝ තස්ස භික්ඛුනෝ පටිස්සුත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ ආයස්මන්තං නන්දං භගවා ඒතදවෝච: සච්චං කිර ත්වං නන්ද, සම්බහුලානං භික්ඛූනං ඒවමාරෝචේසි “අනභිරතෝ අහං ආවුසෝ බ්‍රහ්මචරියං චරාමි. න සක්ඛෝමි බ්‍රහ්මචරියං සන්ධාරේතුං. සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමීති. “ඒවං භන්තේ”ති. “කිස්ස පන ත්වං නන්ද අනභිරතෝ බ්‍රහ්මචරියං චරසි? න සක්ඛෝසි බ්‍රහ්මචරියං සන්ධාරේතුං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සසී?”ති. “සාකියානී මං භන්තේ ජනපදකල්‍යාණී ඝරා නික්ඛමන්තස්ස උපඞ්ඪුල්ලිඛිතේහි කේසේහි අපලෝකෙත්වා මං ඒතදවෝච: “තුවටං ඛෝ අය්‍යපුත්ත, ආගච්ඡෙය්‍යාසී”ති. සෝ ඛෝ අහං භන්තේ තමනුස්සරමානෝ අනභිරතෝ බ්‍රහ්මචරියං චරාමි. න සක්ඛෝමි බ්‍රහ්මචරියං සන්ධාරේතුං. සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමී”ති.

“එසේය, ප්‍රිය ආයුෂ්මත” කියලා ආයුෂ්මත් නන්දයන් ඒ භික්ෂුවට පිළිතුරු දීලා, භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා, පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ආයුෂ්මත් නන්දයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම අසා වදාළා.

“පින්වත් නන්ද, ඔබ බොහෝ භික්ෂූන්ට මේ විදිහට දැනුම් දෙනවා කියන්නෙ ඇත්තක්ද? ‘අනේ ප්‍රිය ආයුෂ්මතුනි, මම නම් මේ බඹසර හැසිරෙන්නේ කැමැත්තකින් නොවෙයි. මට මේ බඹසර ජීවිතය උසුලාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. මේ ශික්ෂාව බැහැර කරලා ගිහි බවට පත්වෙන්නයි හිතාගෙන ඉන්නේ’ කියලා.”

“එසේය, ස්වාමීනී”

“පින්වත් නන්ද, ඔබ අකමැත්තෙන් බඹසර හැසිරෙන්නෙ ඇයි? බඹසර ජීවිතය උහුලගෙන ඉන්න බැරි ඇයි? ශික්ෂාව බැහැර කරලා, ගිහි වෙන්න හිතන්නේ ඇයි?”

“ස්වාමීනී, මං ගෙදරින් එනකොට ජනපද කල්‍යාණි ශාක්‍ය දියණිය ලස්සනට කොණ්ඩේ හදලා, ඔලුවේ පනාව ගහලා මං දිහා බලාගෙන මෙහෙම කිව්වා. ‘ප්‍රිය ආර්ය පුත්‍රය, ඔයා ඉක්මනට ආපහු එන්න ඕන’ කියලා. ඉතින් ස්වාමීනී, මට ඕක මතක් වෙනවා. ඒ නිසා මං බඹසර හැසිරෙන්නෙ කැමැත්තෙන් නෙවෙයි. බඹසර ජීවිතය උසුලාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. මේ ශික්ෂාව බැහැර කරලා ගිහි වෙන්නයි හිතාගෙන ඉන්නේ.”

අථ ඛෝ භගවා ආයස්මන්තං නන්දං බාහාය ගහෙත්වා සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්‍ය, ඒවමේව ජේතවනේ අන්තරහිතෝ දේවේසු තාවතිංසේසු පාතුරහෝසි.

තේන ඛෝ පන සමයේන පංචමත්තානි අච්ඡරාසතානි සක්කස්ස දේවානමින්දස්ස උපට්ඨානං ආගතානි හොන්ති කකුටපාදානි. අථ ඛෝ භගවා ආයස්මන්තං නන්දං ආමන්තේසි: “පස්සසි නෝ ත්වං නන්ද, ඉමානි පඤ්ච අච්ඡරාසතානි කකුටපාදානි?”ති. “ඒවං භන්තේ”ති.

එතකොට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්දයන්ගේ අතින් අල්ලගත්තා. බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිග හරින වේගයෙන්, දික් කළ අතක් හකුලන වේගයෙන් ජේතවනාරාමයෙන් නොපෙනී ගිහින්, තව්තිසා දෙව්ලොව පහළ වුනා. ඒ වෙලාවේ ශක්‍ර දෙවියන්ට උපස්ථාන කරන්නට පන්සීයයක් පමණ දිව්‍ය අප්සරාවන් ඇවිත් සිටියා. ඒ අප්සරාවන්ගේ පා යුග පරෙවියන්ගේ පා බඳු රෝස පැහැයෙන් යුක්තයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්දයන් අමතා වදාළා.

තං කිං මඤ්ඤසි නන්ද, කතමානු ඛෝ අභිරූපතරා ච දස්සනීයතරා ච පාසාදිකතරා ච, සාකියානී වා ජනපදකල්‍යාණී ඉමානි වා පඤ්ච අච්ඡරාසතානි කකුටපාදානී?”ති.

“පින්වත් නන්ද, ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ? ගොඩක් ලස්සන, ගොඩක් දර්ශනීය, ගොඩක් පැහැපත් කවුද? ශාක්‍ය දියණිය වන ජනපද කල්‍යාණියද? පරෙවියන්ගේ පා බඳු රෝස පැහැයෙන් යුතු පා ඇති මේ දිව්‍ය අප්සරාවන්ද?”

“සෙය්‍යථාපි භන්තේ පලුට්ඨමක්කටී කණ්ණනාසච්ඡින්නා. ඒවමේව ඛෝ භන්තේ සාකියානී ජනපදකල්‍යාණී ඉමේසං පඤ්චන්නං අච්ඡරාසතානං උපනිධාය සංඛම්පි න උපේතිථ, කලම්පි න උපේති, කලභාගම්පි න උපේති, උපනිධිම්පි න උපේතී. අථ ඛෝ ඉමානි පඤ්ච අච්ඡරාසතානි අභිරූපතරානි චේව දස්සනීයතරානි ච පාසාදිකතරානිචා”ති.

“ස්වාමීනී, කන් නාසා නැති පුළුටු වෙච්ච වැඳිරියක් ඉන්නවා කියලා හිතමු. ස්වාමීනී, ශාක්‍ය දියණිය වූ ජනපද කල්‍යාණිය අන්න ඒ වගේ තමයි. මේ පන්සියයක් අප්සරාවන්ගේ රූප ස්වභාවය සළකලා බලන කොට, ඇය ගණන් ගන්නම බැහැනේ. සොළොස්වන කලාවටවත් ගණන් ගන්න බෑ. කිසිසේත්ම ඇයව මේ අප්සරාවන් හා සමාන කරන්න බෑ. මේ අප්සරාවන් පන්සියයම ගොඩක් ලස්සනයි. ගොඩක් දර්ශනීයයි. ගොඩක් ප්‍රසාදජනකයි.”

අභිරම නන්ද, අභිරම නන්ද, අහං තේ පාටිභෝගෝ පඤ්චන්නං අච්ඡරාසතානං පටිලාභාය කකුටපාදාන”න්ති.

“පින්වත් නන්ද, මේ බඹසර ජීවිතයට ඇළුම් කරන්න. පරෙවියන්ගේ පා බඳු රෝස පැහැයෙන් යුතු පා ඇති පන්සියයක් අප්සරාවන් අරන් දෙන්න මම ඔබට ඇපවෙනවා.”

සචේ මේ භන්තේ භගවා පාටිභෝගෝ පඤ්චන්නං අච්ඡරාසතානං පටිලාභාය කකුටපාදානං, අභිරමිස්සාමහං භන්තේ භගවති බ්‍රහ්මචරියේ”ති.

“ස්වාමීනී, එහෙම නම් පරෙවියන්ගේ පා බඳු රෝස පැහැයෙන් යුතු පා ඇති පන්සියයක් අප්සරාවන් අරන් දෙන්න භාග්‍යවතුන් වහන්සේ ඇප වෙන සේක් නම්, ස්වාමීනී, මම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බඹසර ජීවිතයට ඇලී සිටින්නම්.”

අථ ඛෝ භගවා ආයස්මන්තං නන්දං බාහාය ගහෙත්වා සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය, ඒවමේව දේවේසු තාවතිංසේසු අන්තරහිතෝ ජේතවනේ පාතුරහෝසි.

එතකොට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්දයන්ගේ අතින් අල්ලගත්තා. බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිග හරින වේගයෙන්, දික් කළ අතක් හකුළන වේගයෙන් තව්තිසා දෙව්ලොවෙන් නොපෙනී ගියා. ජේතවනාරාමයේ පහළ වුනා.

අස්සෝසුං ඛෝ භික්ඛූ “ආයස්මා කිර නන්දෝ භගවතෝ භාතා මාතුච්ඡාපුත්තෝ අච්ඡරානං හේතු බ්‍රහ්මචරියං චරති, භගවා කිරස්ස පාටිභෝගෝ පඤ්චන්නං අච්ඡරාසතානං පටිලාභාය කකුටපාදාන”න්ති.

භික්ෂූන් වහන්සේලාට මේ කථාව අහන්න ලැබුනා. “හා! භාග්‍යවතුන් වහන්සේගේ සහෝදර වූ, සුළු මෑණියන්ගේ පුතණුවන් වූ ආයුෂ්මත් නන්දයන් බඹසර හැසිරෙන්නේ අප්සරාවන් නිසාලු! පරෙවි පා බඳු රෝස පැහැයෙන් යුතු පා යුග ඇති පන්සියයක් අප්සරාවන් ලබාදෙන්න භාග්‍යවතුන් වහන්සේ ඇප වූ සේක්ලු!”

අථ ඛෝ ආයස්මතෝ නන්දස්ස සහායකා භික්ඛූ ආයස්මන්තං නන්දං භතකවාදේන ච උපක්කිතකවාදේන ච සමුදාචරන්ති. “භත ඛෝ කිරායස්මා නන්දෝ, උපක්කිතඛෝ කිරායස්මා නන්දෝ, අච්ඡරානං හේතු බ්‍රහ්මචරියං චරති. භගවා කිරස්ස පාටිභෝගෝ පඤ්චන්නං අච්ඡරාසතානං පටිලාභාය කකුටපාදාන”න්ති.

ඉතින් ආයුෂ්මත් නන්දයන්ගේ යහළු භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් නන්දයන්ට දාසයෙකුගේ ආකල්පයෙන්, වෙළෙන්දෙකුගේ ආකල්පයෙන් විසුළු බස් කියන්න පටන් ගත්තා.

“අනේ ආයුෂ්මත් නන්දයන් දාසයෙක් වගෙයි නේ. වෙළෙන්දෙක් වගෙයි නේ. බඹසර හැසිරෙන්නේ අප්සරාවන් නිසා නේ. පරෙවි පා බඳු පැහැයෙන් යුතු පා ඇති දෙවඟනන් පන්සියයක් ලබාගන්න භාග්‍යවතුන් වහන්සේ ඇප වී වදාළා නේ.”

අථ ඛෝ ආයස්මා නන්දෝ සහායකානං භික්ඛූනං භතකවාදේන ච උපක්කිතකවාදේන ච අට්ටීයමානෝ හරායමානෝ ජිගුච්ඡමානෝ ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරන්තෝ නචිරස්සේව යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. “ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියංත කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා”ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරෝ ච ඛෝ පනායස්මා නන්දෝ අරහතං අහෝසි.

එතකොට ආයුෂ්මත් නන්දයන් යහළු භික්ෂූන්ගේ ‘දාසයෙක්, වෙළෙන්දෙක්’ යනාදී වචනයෙන් විහිළුවට ලක්වෙන කොට, ලැජ්ජාවට පත්වුනා. පීඩාවට පත් වුනා. අප්සරාවන්ව පිළිකුල් වෙලා ගියා. තනි වුනා. හුදෙකලා වාසය තෝරාගත්තා. අප්‍රමාදී වුනා. කෙලෙස් තවන වීරිය ඇති කරගත්තා. දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරුනා. මනාකොට ගිහි ගෙය අත්හැරලා උතුම් බුදු සසුනේ පැවිදිවෙන පින්වත් කුලපුතුන්ගේ යම් අපේක්ෂාවක් ඇද්ද, බඹසර ජීවිතයේ නිමාව වූ ඒ අනුත්තර අරහත්වයට සුළු කලකින්ම පත්වුනා. ඉපදීම නැති වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු සියල්ල කොට අවසාන කළා. යළිත් සසර දුකක් නැතැ’යි අවබෝධ වුනා. ආයුෂ්මත් නන්දයන් ද රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුනා.

අථ ඛෝ අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කේවලකප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛෝ සා දේවතා භගවන්තං ඒතදවෝච: “ආයස්මා භන්තේ නන්දෝ භගවතෝ භාතා මාතුච්ඡාපුත්තෝ ආසවානං ඛයා අනාසවං චේතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී”ති. භගවතෝ’පි ඛෝ ඤාණං උදපාදි: “නන්දෝ ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී”ති.

එතකොට එක්තරා දෙවියෙක් රැය පහන් වෙන වේලෙහි, මුළු ජේතවනයම බබුළුවාගෙන, බබළන සිරුරින් යුතුව භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිට ගත් ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ සහෝදර වූ, සුළු මෑණියන්ගේ පුතණුවන් වූ ආයුෂ්මත් නන්දයන් ආශ්‍රවයන් ක්ෂය කරලා, ආශ්‍රව රහිත වූ, චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතය තුළම තමන්ගේම නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා.”

භාග්‍යවතුන් වහන්සේටත් ඒ ගැන ඤාණය පහළ වුනා. ‘පින්වත් නන්දයන් ආශ්‍රවයන් ක්ෂය කරලා, ආශ්‍රව රහිත වූ, චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතය තුළම තමන්ගේම නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා’ කියලා.

අථ ඛෝ ආයස්මා නන්දෝ තස්සා රත්තියා අච්චයේන යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා නන්දෝ භගවන්තං ඒතදවෝච: “යං මේ භන්තේ භගවා පාටිභෝගෝ, පඤ්චන්නං අච්ඡරාසතානං පටිලාභාය කකුටපාදානං. මුඤ්චාමහං භන්තේ භගවන්තං ඒතස්මා පටිස්සවා”ති. මයාපි ඛෝ තේ නන්ද චේතසා චේතෝ පරිච්ච විදිතෝ: “නන්දෝ ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී”ති.

දේවතාපි මේ ඒතමත්ථං ආරෝචේසි: “ආයස්මා භන්තේ නන්දෝ භගවතෝ භාතා මාතුච්ඡාපුත්තෝ ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී”ති. යදේච ඛෝ තේ නන්ද අනුපාදාය ආසවේහි චිත්තං විමුත්තං, අථාහං මුත්තෝ ඒතස්මා පටිස්සවා”ති.

ඉතින් ආයුෂ්මත් නන්දයන් වහන්සේ ඒ රාත්‍රිය ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ආයුෂ්මත් නන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, පරෙවි පා බඳු රෝප පැහැගත් පා යුග ඇති, පන්සියයක් දිව්‍ය අප්සරාවන් ලබාදෙන බවට ඇපයක් වුන සේක්ද, ස්වාමීනී, මම භාග්‍යවතුන් වහන්සේව ඒ ඇපයෙන් නිදහස් කරනවා.”

“පින්වත් නන්ද, මම ඔබේ සිත, මගේ සිතින් පිරිසිඳ දැක්කා. ‘පින්වත් නන්දයන් ආශ්‍රවයන් ක්ෂය කරලා, ආශ්‍රව රහිත වූ, චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතය තුළම තමන්ගේම නුවණින් සාක්ෂාත් කොට පැමිණිලයි වාසය කරන්නේ’ කියලා. දෙවියන් පවා මට මේ කාරණය සැළ කළා. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ සහෝදර වූ, සුළු මෑණියන්ගේ පුතණුවන් වූ ආයුෂ්මත් නන්දයන් ආශ්‍රවයන් ක්ෂය කරලා, ආශ්‍රව රහිත වූ, චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතය තුළම තමන්ගේම නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා’ කියලා. පින්වත් නන්ද, ඔබ යම් මොහොතක උපාදාන රහිත වෙලා, ආශ්‍රවයන්ගෙන් නිදහස් වුනාද, එතකොටම මමත් ඔය ඇපයෙන් නිදහස් වුනා.”

අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි:

ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

“යස්ස නිත්තිණ්ණො පංකෝ ච මද්දිතෝ කාමකණ්ටකෝ,
මෝහක්ඛයං අනුප්පත්තෝ සුඛදුක්ඛේසු න වේධති ස භික්ඛූ”ති.

“යම් කෙනෙක් කාම මඩ වගුරෙන් එතෙර වුනා නම්, කාම කටුව තලලා දැම්මා නම්, මෝහය ක්ෂය වෙලා, නිවනට පත් වුනා නම්, සැප දුක් දෙකෙහි කම්පා නොවෙයි නම් ඔහුට තමයි ‘භික්ෂුව’ කියන්නේ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M