මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
එදා එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට නුදුරින්, පළඟක් බැඳගෙන කය ඍජු කරගෙන වාඩිවෙලා සිටියා. ඒ භික්ෂුව ඉතා සිහියෙන් යුක්තව නුවණින් යුක්තව පීඩා විඳින්නෙ නැතුව, පැරණි කර්ම විපාකයකින් හටගත් දුක් වූ, තියුණු වූ, කර්කශ වූ, කටුක වූ වේදනා ඉවසමින් සිටියා. භාග්‍යවතුන් වහන්සේට නුදුරින් පළඟක් බැඳගෙන කය ඍජු කරගෙන හොඳ සිහියෙන් යුතුව නුවණින් යුතුව පීඩා විඳින්නෙ නැතුව පැරණි කර්ම විපාකයකින් හට ගත් දුක් වූ, තියුණු වූ, කර්කශ වූ, කටුක වූ වේදනා ඉවසමින් ඉන්න ඒ භික්ෂුව ගැන භාග්‍යවතුන් වහන්සේට දැකගන්නට ලැබුනා.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“හැම කර්මයක් ම අත්හැරපු භික්ෂුවට, කලින් ජීවිතවල කරපු කෙලෙස් කම්පා කරපු භික්ෂුවට, මමත්වයක් නැති, නිවනේ පිහිටි සිත් ඇති, අටලෝ දහමින් කම්පා නොවන භික්ෂුවට, තමන්ට වෙච්ච දේ ගැන ජනතාවට අඬගසා කියා වැළපෙන්න කිසිම කරුණක් නෑ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M