ඛුද්දක නිකාය

උදාන පාළි

2.6. ගබ්භිනී සුත්තං

2.6. ගැබිණි මාතාව අරභයා වදාළ උදානය

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

තේන ඛෝ පන සමයේන අඤ්ඤතරස්ස පරිබ්බාජකස්ස දහරා මාණවිකා පජාපති හෝති ගබ්භිනී උපවිජඤ්ඤා. අථ ඛෝ සා පරිබ්බාජිකා තං පරිබ්බාජකං ඒතදවෝච: “ගච්ඡ ත්වං බ්‍රාහ්මණ, තේලං ආහර, යං මේ විජාතාය භවිස්සතී”ති.

ඒ දිනවල එක්තරා පරිබ්‍රාජකයෙකුගේ ළදරු යොවුන් බිරිඳක් හිටියා. ඇයට වැදීමට ළං වූ දරු ගැබකුත් තිබුනා. ඉතින් ඒ පරිබ්‍රාජිකාව අර පරිබ්‍රාජකයාට මෙහෙම කිව්වා.

“බ්‍රාහ්මණය, ඔබ යන්න. දරුවා වදන මා හට ප්‍රයෝජන වන යම් තෙලක් වෙයි නම්, එය අරගෙන එන්න.”

ඒවං වුත්තේ සෝ පරිබ්බාජකෝ තං පරිබ්බාජිකං ඒතදවෝච: “කුතෝ පනාහං භෝති තේලං ආහරාමී”ති. දුතියම්පි ඛෝ සා පරිබ්බාජිකා තං පරිබ්බාජකං ඒතදවෝච: “ගච්ඡ ත්වං බ්‍රාහ්මණ, තේලං ආහර, යං මේ විජාතාය භවිස්සතී”ති. දුතියම්පි ඛෝ සෝ පරිබ්බාජිකෝ තං පරිබ්බාජිකං ඒතදවෝච: “කුතෝ පනාහං භෝති තේලං ආහරාමී”ති. තතියම්පි ඛෝ සා පරිබ්බාජිකා තං පරිබ්බාජකං ඒතදවෝච: “ගච්ඡ ත්වං බ්‍රාහ්මණ, තේලං ආහර, යං මේ විජාතාය භවිස්සතී”ති.

එතකොට ඒ පරිබ්‍රාජකයා අර පරිබ්‍රාජිකාවගෙන් මෙහෙම ඇහුවා. “පින්වතිය, මං කොහෙන්ද තෙල් අරගෙන එන්නේ?”

දෙවන වතාවටත් ඒ පරිබ්‍රාජිකාව අර පරිබ්‍රාජකයාට මෙහෙම කිව්වා.

“බ්‍රාහ්මණය, ඔබ යන්න. දරුවා වදන මා හට ප්‍රයෝජන වන යම් තෙලක් වෙයි නම්, එය අරගෙන එන්න.”

දෙවන වතාවටත් ඒ පරිබ්‍රාජකයා අර පරිබ්‍රාජිකාවගෙන් මෙහෙම ඇහුවා. “පින්වතිය, මං කොහෙන්ද තෙල් අරගෙන එන්නේ?”

තුන්වන වතාවටත් ඒ පරිබ්‍රාජිකාව අර පරිබ්‍රාජකයාට මෙහෙම කිව්වා.

“බ්‍රාහ්මණය, ඔබ යන්න. දරුවා වදන මා හට ප්‍රයෝජන වන යම් තෙලක් වෙයි නම්, එය අරගෙන එන්න.”

තේන ඛෝ පන සමයේන රඤ්ඤෝ පසේනදිස්ස කෝසලස්ස කොට්ඨාගාරේ සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා සප්පිස්ස වා තේලස්ස වා යාවදත්ථං පාතුං දීය්‍යති නෝ නීහරිතුං.

ඒ දිනවල පසේනදී කොසොල් රජතුමාගේ ගබඩාවේ ශ්‍රමණයෙකුට වේවා, බ්‍රාහ්මණයෙකුට වේවා, ගිතෙල් හරි, තල තෙල් හරි ඇතිතාක් බොන්න දෙනවා. නමුත් පිටතට ගෙනියන්න දෙන්නේ නෑ.

අථ ඛෝ තස්ස පරිබ්බාජකස්ස ඒතදහෝසි: “රඤ්ඤෝ ඛෝ පන පසේනදිස්ස කෝසලස්ස කොට්ඨාගාරේ සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා සප්පිස්ස වා තේලස්ස වා යාවදත්ථං පාතුං දීය්‍යති නෝ නීහරිතුං. යන්නූනාහං රඤ්ඤෝ පසේනදිස්ස කෝසලස්ස කොට්ඨාගාරං ගන්ත්වා තේලස්ස යාවදත්ථං පිවිත්වා ඝරං ආගන්ත්වා උග්ගිරිත්වාන දදෙය්‍යං, යං ඉමිස්සා විජාතාය භවිස්සතී”ති.

ඉතින් අර පරිබ්‍රාජකයාට මෙහෙම හිතුනා. “පසේනදී කොසොල් රජතුමාගේ ගබඩාවේ ශ්‍රමණයෙකුට වේවා, බ්‍රාහ්මණයෙකුට වේවා, ගිතෙල් හරි, තල තෙල් හරි ඇතිතාක් බොන්න දෙනවා. නමුත් පිටතට ගෙනියන්න දෙන්නේ නෑ. එහෙම නම් මම කොසොල් රජ්ජුරුවන්ගේ ගබඩාවට යනවා. ගබඩාවට ගිහින් මැයට දරුවා වැදුවාම උපකාර වන යම් තෙලක් වෙයි නම් ඒ තෙල හැකිතාක් බීලා ගෙදරට ඇවිත් වමනේ දාලා දෙනවා” කියලා.

අථ ඛෝ සෝ පරිබ්බාජකෝ රඤ්ඤෝ පසේනදිස්ස කෝසලස්ස කොට්ඨාගාරං ගන්ත්වා තේලස්ස යාවදත්ථං පිවිත්වා ඝරං ආගන්ත්වා නේව සක්කෝති උද්ධං කාතුං, න පන අධෝ. සෝ දුක්ඛාහි තිබ්බාහි ඛරාහි කටුකාහි වේදනාහි ඵුට්ඨෝ ආවට්ටති පරිවට්ටති.

ඉතින් ඒ පරිබ්‍රාජකයා පසේනදී කොසොල් රජුගේ ගබඩාවට ගියා. ඇතිතාක් තෙල් බිව්වා. ගෙදරට ආවා. වමනේ දාන්න හදනවා, හදනවා, වමනේ යන්නෙත් නෑ. විරේක වෙන්නෙත් නෑ. ඔහු දුක් වූ, තියුණු වූ, කර්කශ වූ, කටුක වූ වේදනාවකින් පෙළි පෙළී ඒ පැත්තට පෙරලෙනවා, මේ පැත්තට පෙරලෙනවා.

අථ ඛෝ භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛෝ භගවා තං පරිබ්බාජකං දුක්ඛාහි තිබ්බාහි ඛරාහි කටුකාහි වේදනාහි ඵුට්ඨං ආවට්ටමානං පරිවට්ටමානං.

එදා භාග්‍යවතුන් වහන්සේ උදේ වරුවේ සිවුරු පොරොවාගෙන, පාත්‍රයත් සිවුරත් අරගෙන පිණ්ඩපාතෙ වැඩියා. එතකොට භාග්‍යවතුන් වහන්සේට ඉතා දුක් සහිත වූ, තියුණු වූ, කර්කශ වූ, කටුක වූ වේදනාවකින් පෙළි පෙළී ඒ පැත්තට පෙරලෙන, මේ පැත්තට පෙරලෙන අර පරිබ්‍රාජකයාව දැකගන්නට ලැබුනා.

අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි:

ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ මේ කාරණය දැනගෙන, මේ උදානය වදාළා.

සුඛිනෝ වත යේ අකිඤ්චනා
වේදගුනෝ හි ජනා අකිඤ්චනා,
සකිඤ්චනං පස්ස විහඤ්ඤමානං
ජනෝ ජනස්මිං පටිබන්ධචිත්තෝ ති.

“යම් කෙනෙක් කෙලෙස් රහිත නම්, ඇත්තෙන්ම ඒ අය සුවපත් වෙලයි ඉන්නෙ. දහම තුළ පරතෙරට ගිය රහතන් වහන්සේලා කෙලෙස් රහිතවයි ඉන්නේ. කෙලෙස් සහිත උදවිය පීඩා විඳින හැටි බලනු මැනැව. මේ ජනයා, ජනතාව තුළටම කිඳාබැස ගිය ස්වභාවයෙන් යුක්තයි.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M