ඛුද්දක නිකාය

උදාන පාළි

2.4. සක්කාර සුත්තං

2.4. ලාභ සත්කාර අරභයා වදාළ උදානය

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

තේන ඛෝ පන සමයේන භගවා සක්කතෝ හෝති ගරුකතෝ මානිතෝ පූජිතෝ අපචිතෝ, ලාභී චීවරපිණ්ඩපාතසේනාසනගිලානපච්චයභේසජ්ජපරික්ඛාරානං. භික්ඛුසංඝෝ’පි සක්කතෝ හෝති ගරුකතෝ මානිතෝ පූජිතෝ අපචිතෝ, ලාභී චීවරපිණ්ඩපාතසේනාසනගිලානපච්චයභේසජ්ජපරික්ඛාරානං.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේට ගෞරව සත්කාර ලැබුනා. බුහුමන් ලැබුනා. පුද පූජා ලැබුනා. යටහත් පැවතුම් ඇතිවුනා. සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ලැබුනා. භික්ෂු සංඝයාටත් ගෞරව සත්කාර ලැබුනා. බුහුමන් ලැබුනා. පුද පූජා ලැබුනා. යටහත් පැවතුම් ඇති වුනා. සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ලැබුනා.

අඤ්ඤතිත්ථියා පන පරිබ්බාජකා අසක්කතා හොන්ති අගරුකතා අමානිතා අපූජිතා අනපචිතා, න ලාභිනෝ චීවරපිණ්ඩපාතසේනාසනගිලානපච්චයභේසජ්ජපරික්ඛාරානං. අථ ඛෝ තේ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා භගවතෝ සක්කාරං අසහමානා භික්ඛුසංඝස්ස ච ගාමේ ච අරඤ්ඤේ ච භික්ඛූ දිස්වා අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කෝසන්ති පරිභාසන්ති රෝසෙන්ති විහේසෙන්ති.

ඒ කාලෙ අන්‍යාගම්කාර පූජක පැලැන්තියට ගෞරව සත්කාර ලැබුනේ නෑ. බුහුමන් ලැබුනේ නෑ. පුද පූජා ලැබුනේ නෑ. යටහත් පැවතුම් ඇතිවුනේ නෑ. සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ලැබුනේ නෑ. එතකොට ඒ අන්‍යාගම්කාර පූජකවරුන්ට භාග්‍යවතුන් වහන්සේටත්, භික්ෂුසංඝයාටත් ලැබෙන සත්කාර සම්මාන ඉවසන්නට බැරිවුනා. ගමේදී වුණත්, අරණ්‍යයකදී වුනත් භික්ෂූන්ව දැකගන්නට ලැබුනොත් අසභ්‍ය වූ පරුෂ වචනවලින් ආක්‍රෝශ කරන්නට පටන් ගත්තා. පරිභව කරන්නට පටන් ගත්තා. දොස් කියන්නට පටන් ගත්තා. පීඩා කරන්නට පටන් ගත්තා.

අථ ඛෝ සම්බහුලා භික්ඛූ යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නා ඛෝ තේ භික්ඛූ භගවන්තං ඒතදවෝචුං:

ඉතින් බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා, එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව ඉඳගත් ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

ඒතරහි භන්තේ භගවා සක්කතෝ ගරුකතෝ මානිතෝ පූජිතෝ අපචිතෝ, ලාභී චීවරපිණ්ඩපාතසේනාසනගිලානපච්චයභේසජ්ජපරික්ඛාරානං. භික්ඛුසංඝෝ’පි සක්කතෝ ගරුකතෝ මානිතෝ පූජිතෝ අපචිතෝ, ලාභී චීවරපිණ්ඩපාතසේනාසනගිලානපච්චය භේසජ්ජපරික්ඛාරානං. අඤ්ඤතිත්ථියා පන පරිබ්බාජකා අසක්කතා අගරුකතා අමානිතා අපූජිතා අනපචිතා, න ලාභිනෝ චීවරපිණ්ඩපාතසේනාසනගිලානපච්චයභේසජ්ජපරික්ඛාරානං.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේට ගෞරව සත්කාර ලැබෙනවා. බුහුමන් ලැබෙනවා. පුද පූජා ලැබෙනවා. යටහත් පැවතුම් ලැබෙනවා. සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ලැබෙනවා. භික්ෂු සංඝයාටත් ගෞරව සත්කාර ලැබෙනවා. බුහුමන් ලැබෙනවා. පුද පූජා ලැබෙනවා. යටහත් පැවතුම් ලැබෙනවා. සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ලැබෙනවා.

නමුත් ස්වාමීනී, අන්‍යාගම්කාර පූජක පැලැන්තියට ගෞරව සත්කාර ලැබෙන්නෙ නෑ. බුහුමන් ලැබෙන්නෙ නෑ. පුද පූජා ලැබෙන්නෙ නෑ. යටහත් පැවතුම් ලැබෙන්නෙ නෑ. සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ලැබෙන්නෙ නෑ.

අථ ඛෝ තේ භන්තේ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා භගවතෝ සක්කාරං අසහමානා භික්ඛුසංඝස්ස ච, ගාමේ ච අරඤ්ඤේ ච භික්ඛූ දිස්වා අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කෝසන්ති පරිභාසන්ති රෝසෙන්ති විහේසෙන්තී”ති.

ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේටත්, භික්ෂු සංඝයාටත් සත්කාර ලැබීම ගැන ඒ අන්‍යාගම්කාර පූජකවරුන්ට ඉවසන්න බෑ. ගමේදී හරි, අරණ්‍යයකදී හරි, භික්ෂුවක් දකින්න ලැබුනොත් අසභ්‍ය වූ පරුෂ වචනවලින් ආක්‍රෝශ කරනවා. පරිභව කරනවා. දොස් කියනවා. පීඩා කරනවා.”

අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි:

ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

ගාමේ අරඤ්ඤේ සුඛදුක්ඛඵුට්ඨෝ
නේවත්තතෝ නෝ පරතෝ දහේථ
ඵුසන්ති ඵස්සා උපධිං පටිච්ච
නිරූපධිං කේන ඵුසෙය්‍යුං ඵස්සාති.

“ගමේදී වුනත්, අරණ්‍යයේදී වුනත් සැප දුක් විඳින්න ලැබෙන කොට, ඒවා තමන්ගේ වශයෙන්වත්, අනුන්ගේ වශයෙන්වත් ගණන් ගත යුතු නෑ. කෙලෙස් නිසයි ඔය සැප දුක් පහසවල් ස්පර්ශ වෙන්නේ. ඉතින් නිකෙලෙස් කෙනෙකුට ඔය සැප දුක් පහසවල් කුමකින් ස්පර්ශ වෙන්නද?”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M