මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. ඒ දිනවල බොහෝ භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයෙන් පස්සේ සවස් කාලයේ උපස්ථාන ශාලාවේ රැස්වෙලා, මේ විදිහේ කතාවක් කර කර හිටියා.
“ප්‍රිය ආයුෂ්මත්වරුනි, මේ රජවරු දෙදෙනාගෙන් ගොඩාක් සල්ලි තියෙන්නෙ කාටද? ගොඩාක් දේපළ තියෙන්නෙ කාටද? ලොකුම භාණ්ඩාගාරය තියෙන්නෙ කාටද? ලොකුම විජිතය තියෙන්නෙ කාටද? ගොඩාක් වාහන තියෙන්නෙ කාටද? ගොඩාක් සේනාව ඉන්නෙ කාටද? ගොඩාක් සමෘද්ධිමත් කවුද? ගොඩාක් ආනුභාව සම්පන්න කවුද? මගධ රජු වන සේනිය බිම්බිසාරද? පසේනදී කෝසල රජුද?” ඒ භික්ෂූන්ගේ ඔය කතා බහ තමයි ඒ වෙලාවේ අඩාල වුනේ.
ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ භාවනාවෙන් නැගිටලා, උපස්ථාන ශාලාවට වැඩම කළා. වැඩම කරලා, පණවන ලද ආසනයේ වැඩසිටියා. වැඩ ඉඳලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා.
“පින්වත් මහණෙනි, දැන් ඔබ රැස්වෙලා මෙතැන කතා කර කර හිටියේ මොකක් ගැනද? දැන් අඩාල වුනේ මොන කථාවද?”
“ස්වාමීනී, අපි පිණ්ඩපාතයෙන් පස්සේ හවස් වරුවේ උපස්ථාන ශාලාවට රැස්වෙලා මේ කථාවයි කර කර හිටියේ. ‘ප්‍රිය ආයුෂ්මත්වරුනි, මේ රජවරු දෙදෙනාගෙන් ගොඩාක් සල්ලි තියෙන්නෙ කාටද? ගොඩාක් දේපළ තියෙන්නෙ කාටද? ලොකුම භාණ්ඩාගාරය තියෙන්නෙ කාටද? ලොකුම විජිතය තියෙන්නෙ කාටද? ගොඩාක් වාහන තියෙන්නෙ කාටද? ගොඩාක් සේනාව ඉන්නෙ කාටද? ගොඩාක් සමෘද්ධිමත් කවුද? ගොඩාක් ආනුභාව සම්පන්න කවුද? මගධ රජු වන සේනිය බිම්බිසාරද? පසේනදී කෝසල රජුද?’ කියලා. ස්වාමීනී, ඔන්න ඔය කථාවයි අඩාල වුනේ. එතකොටමයි භාග්‍යවතුන් වහන්සේ වැඩම කළේ.”
“පින්වත් මහණෙනි, ඔබට ඕක සුදුසු නෑ. ගිහි ජීවිතය අත්හැරලා අනගාරික බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාවෙන් පැවිදිවෙච්ච ඔබට ඕක සුදුසු නෑ. පින්වත් මහණෙනි, ඔබ රැස්වුනාම කරන්න තියෙන්නේ කරුණු දෙකයි. එක්කො සද්ධර්මය කතා කරන්න ඕන. එක්කො ආර්ය වූ නිශ්ශබ්දතාවය වන භාවනාවක යෙදී සිටින්න ඕන.”
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණු දැනගෙන ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“මේ ලෝකයේ යම් කාම සැපයක් ඇද්ද, දිව්‍ය වූ යම් මේ සැපයක් ඇද්ද, ඒ සැපය තණ්හාව ක්ෂය කිරීමෙන් ලබන නිවන් සැපයෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-2-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M