ඛුද්දක නිකාය

උදාන පාළි

1.3. තතිය බෝධි සුත්තං

1.3. සම්බුද්ධත්වය ගැන වදාළ තෙවන උදානය

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා උරුවේලායං විහරති නජ්ජා නේරඤ්ජරාය තීරේ බෝධිරුක්ඛමූලේ පඨමාභිසම්බුද්ධෝ. තේන ඛෝ පන සමයේන භගවා සත්තාහං ඒකපල්ලංකේන නිසින්නෝ හෝති විමුත්තිසුඛපටිසංවේදී.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ උතුම් වූ සම්බුද්ධත්වයට පත්වෙලා, මුලින්ම වැඩසිටියේ උරුවෙල් ජනපදයේ නේරංජරා ගංතෙර ශ්‍රී මහා බෝධි සෙවනේ. ඒ කාලයේදී භාග්‍යවතුන් වහන්සේ එක දිගට සත් දිනක්ම එක පළඟින්ම විමුක්ති සැපය විඳිමින් වැඩසිටියා.

අථ ඛෝ භගවා තස්ස සත්තාහස්ස අච්චයේන තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා රත්තියා පච්ඡිමං යාමං පටිච්චසමුප්පාදං අනුලෝමපටිලෝමං සාධුකං මනසාකාසි: “ඉති ඉමස්මිං සති ඉදං හෝති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති, යදිදං අවිජ්ජාපච්චයා සංඛාරා, සංඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සෝ, ඵස්සපච්චයා වේදනා, වේදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවෝ, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා සම්භවන්ති. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති.

එදා භාග්‍යවතුන් වහන්සේ ඒ හත් දවස ගෙවුනට පස්සේ ඒ සමාධියෙන් නැගිට වදාළා. එදා රාත්‍රී පශ්චිම යාමයේ භාග්‍යවතුන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ඉතා හොඳින් මෙනෙහි කොට වදාළා.

‘මේ අයුරින් මේ හේතුව ඇතිවෙන කොට, මේ ඵලය ඇතිවෙනවා. මේ හේතුව උපදින කොට මේ ඵලය උපදිනවා. මේ හේතුව නැතිවෙන කොට, මේ ඵලය නැතිවෙනවා. මේ හේතුව නිරුද්ධ වෙන කොට මේ ඵලය නිරුද්ධ වෙනවා’ කියලා.

ඒ කියන්නෙ, ‘අවිද්‍යාව හේතු කොටගෙන, සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කොටගෙන, විඤ්ඤාණය ඇතිවෙනවා. විඤ්ඤාණය හේතු කොටගෙන, නාමරූප ඇතිවෙනවා. නාමරූප හේතු කොටගෙන, ආයතන හය ඇතිවෙනවා. ආයතන හය හේතු කොටගෙන, ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය හේතු කොටගෙන, විඳීම ඇතිවෙනවා. විඳීම හේතු කොටගෙන, තණ්හාව ඇතිවෙනවා. තණ්හාව හේතු කොටගෙන, බැඳීම ඇතිවෙනවා. බැඳීම හේතු කොටගෙන, විපාක පිණිස කර්ම සකස් වීම නම් වූ භවය ඇතිවෙනවා. විපාක පිණිස කර්ම සකස් වීම හේතු කොටගෙන, ඉපදීම ඇතිවෙනවා. ඉපදීම හේතු කොටගෙන, ජරාවට පත්වීම, මරණයට පත්වීම, ශෝක කිරීම, වැළපීම, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම හටගන්නවා. ඔන්න ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැස ම හටගන්නෙ.

අවිජ්ජායත්වේව අසේසවිරාගනිරෝධා සංඛාරනිරෝධෝ, සංඛාරනිරෝධා විඤ්ඤාණනිරෝධෝ, විඤ්ඤාණනිරෝධා නාමරූපනිරෝධෝ, නාමරූපනිරෝධා සළායතනනිරෝධෝ, සළායතනනිරෝධා ඵස්සනිරෝධෝ, ඵස්සනිරෝධා වේදනානිරෝධෝ, වේදනානිරෝධා තණ්හානිරෝධෝ, තණ්හානිරෝධා උපාදානනිරෝධෝ, උපාදානනිරෝධා භවනිරෝධෝ, භවනිරෝධා ජාතිනිරෝධෝ, ජාතිනිරෝධා ජරාමරණං සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා නිරුජ්ඣන්ති. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හෝතී”ති.

ඒ අවිද්‍යාව ම ඉතුරු නැතුව නොඇල්මෙන් නිරුද්ධ වීමෙන්, සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන්, විඤ්ඤාණය නිරුද්ධ වෙනවා. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන්, නාමරූප නිරුද්ධ වෙනවා. නාමරූප නිරුද්ධ වීමෙන්, ආයතන හය නිරුද්ධ වෙනවා. ආයතන හය නිරුද්ධ වීමෙන්, ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන්, විඳීම නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වීමෙන්, තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන්, බැඳීම නිරුද්ධ වෙනවා. බැඳීම නිරුද්ධ වීමෙන්, විපාක පිණිස කර්ම සකස් වීම නම් වූ භවය නිරුද්ධ වෙනවා. විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වීමෙන්, ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන්, ජරාවට පත්වීම, මරණයට පත්වීම, ශෝක කිරීම, වැළපීම, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම නිරුද්ධ වෙනවා. ඔන්න ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැස ම නිරුද්ධ වෙන්නේ’ කියලා.

අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි:

එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ යථාර්ථය නුවණින් ප්‍රත්‍යක්ෂ කර ගෙන, ඒ වෙලාවේ ශාන්ත සතුටින් යුක්තව මේ උදාන ගාථාව වදාළා.

යදා හවේ පාතුභවන්ති ධම්මා
ආතාපිනෝ ඣායතෝ බ්‍රාහ්මණස්ස,
විධූපයං තිට්ඨති මාරසේනං
සුරියෝ’ව ඕභාසයමන්තලික්ඛන්ති.

“ඔහුට සියලු කෙලෙස් තවන වීරිය තියෙනවා. ඔහු ධ්‍යාන වඩනවා. ඉතින් ඒ අරහත් බ්‍රාහ්මණයාට යම් වෙලාවක බෝධි පාක්ෂික ධර්ම තමන් තුළ ඇතිවෙනවා නම්, ඒ මොහොතේ අහස් කුස බබලන හිරු මඬලක් වගේ මාර සේනාව කම්පා කරලා වැඩඉන්නවා.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M