ඛුද්දක නිකාය

උදාන පාළි

1.2. දුතිය බෝධි සුත්තං

1.2. සම්බුද්ධත්වය ගැන වදාළ දෙවන උදානය

ඒවං මේ සුතං: ඒක සමයං භගවා උරුවේලායං විහරති නජ්ජා නේරඤ්ජරාය තීරේ බෝධිරුක්ඛමූලේ පඨමාභිසම්බුද්ධෝ. තේන ඛෝ පන සමයේන භගවා සත්තාහං ඒකපල්ලංකේන නිසින්නෝ හෝති විමුත්තිසුඛපටිසංවේදී.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ උතුම් වූ සම්බුද්ධත්වයට පත්වෙලා, මුලින්ම වැඩසිටියේ උරුවෙල් ජනපදයේ නේරංජරා ගංතෙර ශ්‍රී මහා බෝධි සෙවනේ. ඒ කාලයේදී භාග්‍යවතුන් වහන්සේ එක දිගට සත් දිනක්ම එක පළඟින්ම විමුක්ති සැපය විඳිමින් වැඩසිටියා.

අථ ඛෝ භගවා තස්ස සත්තාහස්ස අච්චයේන තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා රත්තියා මජ්ක්‍ධිමං යාමං පටිච්චසමුප්පාදං පටිලෝමං සාධුකං මනසාකාසි: “ඉති ඉමස්මිං අසති ඉදං න හෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති, යදිදං අවිජ්ජානිරෝධා සංඛාරනිරෝධෝ, සංඛාරනිරෝධා විඤ්ඤාණනිරොධෝ, විඤ්ඤාණනිරෝධා නාමරූපනිරෝධෝ, නාමරූපනිරෝධා සළායතනනිරෝධෝ, සළායතනනිරෝධා ඵස්සනිරෝධෝ, ඵස්සනිරෝධා වේදනානිරෝධෝ, වේදනානිරෝධා තණ්හානිරෝධෝ, තණ්හානිරෝධා උපාදානනිරෝධෝ, උපාදානනිරෝධා භවනිරෝධෝ, භවනිරෝධා ජාතිනිරෝධෝ, ජාතිනිරෝධා ජරාමරණං සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා නිරුජ්ඣන්ති. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හෝතී”ති.

එදා භාග්‍යවතුන් වහන්සේ ඒ හත් දවස ගෙවුනට පස්සේ ඒ සමාධියෙන් නැගිට වදාළා. එදා රාත්‍රී මධ්‍යම යාමයේ භාග්‍යවතුන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මය ප්‍රතිලෝම වශයෙන් ඉතා හොඳින් මෙනෙහි කොට වදාළා.

‘මේ අයුරින් මේ හේතුව නැතිවෙන කොටම, මේ ඵලය නැතිවෙනවා. මේ හේතුව නිරුද්ධ වෙන කොට මේ ඵලය නිරුද්ධ වෙනවා’ කියලා.

ඒ කියන්නෙ, ‘අවිද්‍යාව නිරුද්ධ වීමෙන්, සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන්, විඤ්ඤාණය නිරුද්ධ වෙනවා. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන්, නාමරූප නිරුද්ධ වෙනවා. නාමරූප නිරුද්ධ වීමෙන්, ආයතන හය නිරුද්ධ වෙනවා. ආයතන හය නිරුද්ධ වීමෙන්, ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන්, විඳීම නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වීමෙන්, තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන්, බැඳීම නිරුද්ධ වෙනවා. බැඳීම නිරුද්ධ වීමෙන්, විපාක පිණිස කර්ම සකස් වීම නම් වූ භවය නිරුද්ධ වෙනවා. විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වීමෙන්, ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන්, ජරාවට පත්වීම, මරණයට පත්වීම, ශෝක කිරීම, වැළපීම, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම නිරුද්ධ වෙනවා. ඔන්න ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙන්නේ’ කියලා.

අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි:

එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ යථාර්ථය නුවණින් ප්‍රත්‍යක්ෂ කර ගෙන, ඒ වෙලාවේ සතුටින් මේ උදාන ගාථාව වදාළා.

යදා හවේ පාතුභවන්ති ධම්මා
ආතාපිනෝ ඣායතෝ බ්‍රාහ්මණස්ස,
අථස්ස කංඛා වපයන්ති සබ්බා
යතෝ ඛයං පච්චයානං අවේදීති.

“ඔහුට සියලු කෙලෙස් තවන වීරිය තියෙනවා. ඔහු ධ්‍යාන වඩනවා. ඉතින් ඒ අරහත් බ්‍රාහ්මණයාට යම් වෙලාවක බෝධි පාක්ෂික ධර්ම තමන් තුළ ඇතිවෙනවා නම්, ඒ මොහොතේ ඔහු තුළ තිබුණු හැම සැකයක්ම දුරුවෙලා යනවා. ඒ තුළින්මයි මේ හේතුඵල ධර්මයේ ක්ෂය වීම අවබෝධ කරගන්නේ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M