මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ උතුම් වූ සම්බුද්ධත්වයට පත්වෙලා, මුලින්ම වැඩසිටියේ උරුවෙල් ජනපදයේ නේරංජරා ගංතෙර ශ්‍රී මහා බෝධි සෙවනේ. ඒ කාලයේදී භාග්‍යවතුන් වහන්සේ එක දිගට සත් දිනක්ම එක පළඟින්ම විමුක්ති සැපය විඳිමින් වැඩසිටියා.
එදා භාග්‍යවතුන් වහන්සේ ඒ හත් දවස ගෙවුනට පස්සේ ඒ සමාධියෙන් නැගිට වදාළා. එදා රාත්‍රී පළමු යාමයේ භාග්‍යවතුන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මය අනුලෝම වශයෙන් ඉතා හොඳින් මෙනෙහි කොට වදාළා.
‘මේ අයුරින් මේ හේතුව තියෙන කොටයි, මේ ඵලය ඇතිවෙන්නේ. මේ හේතුව උපදින කොටයි මේ ඵලය උපදින්නේ’ කියලා.
ඒ කියන්නෙ, ‘අවිද්‍යාව හේතු කොටගෙන, සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කොටගෙන, විඤ්ඤාණය ඇතිවෙනවා. විඤ්ඤාණය හේතු කොටගෙන, නාමරූප ඇතිවෙනවා. නාමරූප හේතු කොටගෙන, ආයතන හය ඇතිවෙනවා. ආයතන හය හේතු කොටගෙන, ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය හේතු කොටගෙන, විඳීම ඇතිවෙනවා. විඳීම හේතු කොටගෙන, තණ්හාව ඇතිවෙනවා. තණ්හාව හේතු කොටගෙන, බැඳීම ඇතිවෙනවා. බැඳීම හේතු කොටගෙන, විපාක පිණිස කර්ම සකස් වීම නම් වූ භවය ඇතිවෙනවා. විපාක පිණිස කර්ම සකස් වීම හේතු කොටගෙන, ඉපදීම ඇතිවෙනවා. ඉපදීම හේතු කොටගෙන, ජරාවට පත් වීම, මරණයට පත් වීම, ශෝක කිරීම, වැළපීම, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම හටගන්නවා. ඔන්න ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ’ කියලා.
එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ යථාර්ථය නුවණින් ප්‍රත්‍යක්ෂ කර ගෙන, ඒ වෙලාවේ සතුටින් මේ උදාන ගාථාව වදාළා.
“ඔහුට සියලු කෙලෙස් තවන වීරිය තියෙනවා. ඔහු ධ්‍යාන වඩනවා. ඉතින් ඒ අරහත් බ්‍රාහ්මණයාට යම් වෙලාවක බෝධි පාක්ෂික ධර්ම තමන් තුළ ඇතිවෙනවා නම්, ඒ මොහොතේ ඔහු තුළ තිබුණු හැම සැකයක්ම දුරුවෙලා යනවා. ඒ තුළින්මයි මේ හේතුඵල ධර්මයේ යථාර්ථය අවබෝධ කරගන්නේ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M