එක් සමයක ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ විශාලායෙහි බේලුව ගමෙහි වැඩවසති. එකල්හී අට්ඨකනගරවැසි දශම ගෘහපති තෙමේ කිසියම් කරුණක් උදෙසා පාටලීපුත්‍රයට පැමිණියේ වෙයි. ඉක්බිති අට්ඨකනගරවැසි දශම ගෘහපති තෙමේ කුක්කුටාරාමයෙහි එක්තරා භික්ෂුවක් වෙත ගියේ ය. ගොස් ඒ භික්ෂුවට මෙය සැළ කළේ ය.
“ස්වාමීනී, මෙකල ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ කොහි වැඩසිටිත් ද? අපි ඒ ආයුෂ්මත් ආනන්ද තෙරුන් දකිනු කැමැත්තෙමු.”
“ගෘහපතිය, ඒ ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ විශාලායෙහි බේලුව ගමෙහි වැඩවෙසෙති.”
“ඉක්බිති අට්ඨකනගරවැසි දශම ගෘහපති තෙමේ පාටලීපුත්‍රයෙහි ඒ කළ යුතු දෑ නිමවා විශාලායෙහි බේලුව ගමෙහි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වෙත ගියේ ය. ගොස් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස්ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් අට්ඨකනගරවැසි දශම ගෘහපති තෙමේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, ආනන්දයන් වහන්ස, භික්ෂුවක් යම් එක් ධර්මයක් තුළ අප්‍රමාදී ව කෙලෙස් තවන වෙර ඇති ව, දහමට දිවි පුදා වාසය කරද්දී, විමුක්තියට පත් නොවූ සිත විමුක්තියට පත් වෙයි ද, ක්ෂය නොවූ ආශ්‍රවයන් ක්ෂය වී යයි ද, නොපැමිණි අරහත්වයට පැමිණෙයි ද, දත යුතු සියල්ල දන්නා වූත්, දැක්ක යුතු සියල්ල දක්නා වූත්, අරහත් සම්මා සම්බුදු ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට වදාරණ ලද එබඳු වූ එක් ධර්මයක් ඇද්ද?”
“ගෘහපතිය, භික්ෂුවක් යම් එක් ධර්මයක් තුළ අප්‍රමාදී ව කෙලෙස් තවන වෙර ඇති ව, දහමට දිවි පුදා වාසය කරද්දී, විමුක්තියට පත් නොවූ සිත විමුක්තියට පත් වෙයි ද, ක්ෂය නොවූ ආශ්‍රවයන් ක්ෂය වී යයි ද, නොපැමිණි අරහත්වයට පැමිණෙයි ද, දත යුතු සියල්ල දන්නා වූත්, දැක්ක යුතු සියල්ල දක්නා වූත්, අරහත් සම්මා සම්බුදු ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට වදාරණ ලද එබඳු වූ එක් ධර්මයක් ඇත්තේ ය.”
“ස්වාමීනී, ආනන්දයන් වහන්ස, භික්ෂුවක් යම් එක් ධර්මයක් තුළ අප්‍රමාදී ව කෙලෙස් තවන වෙර ඇති ව, දහමට දිවි පුදා වාසය කරද්දී, විමුක්තියට පත් නොවූ සිත විමුක්තියට පත් වෙයි ද, ක්ෂය නොවූ ආශ්‍රවයන් ක්ෂය වී යයි ද, නොපැමිණි අරහත්වයට පැමිණෙයි ද, දත යුතු සියල්ල දන්නා වූත්, දැක්ක යුතු සියල්ල දක්නා වූත්, අරහත් සම්මා සම්බුදු ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට වදාරණ ලද එබඳු වූ එක් ධර්මය කුමක්ද?”
“ගෘහපතිය, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව, අකුසල ධර්මයන්ගෙන් වෙන් ව, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ඒ භික්ෂුව මෙසේ නුවණින් විමසයි. ‘මේ ප්‍රථම ධ්‍යානය වනාහී චේතනාත්මක ව සකස් කරන ලද්දකි. විශේෂයෙන් සකස් කරන ලද්දකි. යම්කිසි දෙයක් චේතනාත්මක ව සකස් කරන ලද්දේ ද, විශේෂයෙන් සකස් කරන ලද්දේ ද, එය අනිත්‍යය ය. නිරුද්ධ වන ස්වභාවය ඇත්තේ ය’ යනුවෙන් දැනගනියි. ඔහු ඒ විදර්ශනා මනසිකාරයෙහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණෙයි නම්, ඒ ධර්ම රාගයෙන්, ඒ ධර්ම ප්‍රීතියෙන් පංච ඕරම්භාගීය සංයෝජනයන් ප්‍රහාණය කොට සුද්ධාවාස බඹලොව ඕපපාතික ව උපදියි. ඒ ලෝකයෙන් ආපසු හැරී නොඑන්නේ එහි ම පිරිනිවන් පායි.
ගෘහපතිය, භික්ෂුවක් යම් එක් ධර්මයක් තුළ අප්‍රමාදී ව කෙලෙස් තවන වෙර ඇති ව, දහමට දිවි පුදා වාසය කරද්දී, විමුක්තියට පත් නොවූ සිත විමුක්තියට පත් වෙයි ද, ක්ෂය නොවූ ආශ්‍රවයන් ක්ෂය වී යයි ද, නොපැමිණි අරහත්වයට පැමිණෙයි ද, දත යුතු සියල්ල දන්නා වූත්, දැක්ක යුතු සියල්ල දක්නා වූත්, අරහත් සම්මා සම්බුදු ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට වදාරණ ලද මෙය ද එබඳු වූ එක් ධර්මයකි.
තව ද ගෘහපතිය, භික්ෂුව විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන්, තමා තුළ පැහැදීම ඇතිවන සිතෙහි එකඟ බවින් යුතුව විතර්ක රහිත ව, විචාර රහිත ව, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සතර වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ භික්ෂුව මෙසේ නුවණින් විමසයි. ‘මේ සතරවෙනි ධ්‍යානය වනාහී චේතනාත්මක ව සකස් කරන ලද්දකි. විශේෂයෙන් සකස් කරන ලද්දකි. යම්කිසි දෙයක් චේතනාත්මක ව සකස් කරන ලද්දේ ද, විශේෂයෙන් සකස් කරන ලද්දේ ද, එය අනිත්‍යය ය. නිරුද්ධ වන ස්වභාවය ඇත්තේ ය’ යනුවෙන් දැනගනියි. ඔහු ඒ විදර්ශනා මනසිකාරයෙහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණෙයි නම්, ඒ ධර්ම රාගයෙන්, ඒ ධර්ම ප්‍රීතියෙන් පංච ඕරම්භාගීය සංයෝජනයන් ප්‍රහාණය කොට සුද්ධාවාස බඹලොව ඕපපාතික ව උපදියි. ඒ ලෝකයෙන් ආපසු හැරී නොඑන්නේ එහි ම පිරිනිවන් පායි.
ගෘහපතිය, භික්ෂුවක් යම් එක් ධර්මයක් තුළ අප්‍රමාදී ව කෙලෙස් තවන වෙර ඇති ව, දහමට දිවි පුදා වාසය කරද්දී, විමුක්තියට පත් නොවූ සිත විමුක්තියට පත් වෙයි ද, ක්ෂය නොවූ ආශ්‍රවයන් ක්ෂය වී යයි ද, නොපැමිණි අරහත්වයට පැමිණෙයි ද, දත යුතු සියල්ල දන්නා වූත්, දැක්ක යුතු සියල්ල දක්නා වූත්, අරහත් සම්මා සම්බුදු ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට වදාරණ ලද මෙය ද එබඳු වූ එක් ධර්මයකි.
තව ද ගෘහපතිය, භික්ෂුව මෛත්‍රී සහගත සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කරයි. එසේ ම දෙවෙනි දිශාවට ත්, තුන්වන දිශාවට ත්, හතරවන දිශාවට ත්, පතුරුවා වාසය කරයි. මෙසේ උඩ යට සරස සෑම තැනක් කෙරෙහි ම සියළු ලොවට එක අයුරින් මෛත්‍රී සහගත සිතින් විපුල වූ මහග්ගත වූ අප්‍රමාණ වූ අවෛරී ද්වේෂ රහිත සිත පතුරුවා වාසය කරයි. ඒ භික්ෂුව මෙසේ නුවණින් විමසයි. ‘මේ මෛත්‍රී ධ්‍යානය වනාහී චේතනාත්මක ව සකස් කරන ලද්දකි. විශේෂයෙන් සකස් කරන ලද්දකි. යම්කිසි දෙයක් චේතනාත්මක ව සකස් කරන ලද්දේ ද, විශේෂයෙන් සකස් කරන ලද්දේ ද, එය අනිත්‍යය ය. නිරුද්ධ වන ස්වභාවය ඇත්තේ ය’ යනුවෙන් දැනගනියි. ඔහු ඒ විදර්ශනා මනසිකාරයෙහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණෙයි නම්, ඒ ධර්ම රාගයෙන්, ඒ ධර්ම ප්‍රීතියෙන් පංච ඕරම්භාගීය සංයෝජනයන් ප්‍රහාණය කොට සුද්ධාවාස බඹලොව ඕපපාතික ව උපදියි. ඒ ලෝකයෙන් ආපසු හැරී නොඑන්නේ එහි ම පිරිනිවන් පායි.
ගෘහපතිය, භික්ෂුවක් යම් එක් ධර්මයක් තුළ අප්‍රමාදී ව කෙලෙස් තවන වෙර ඇති ව, දහමට දිවි පුදා වාසය කරද්දී, විමුක්තියට පත් නොවූ සිත විමුක්තියට පත් වෙයි ද, ක්ෂය නොවූ ආශ්‍රවයන් ක්ෂය වී යයි ද, නොපැමිණි අරහත්වයට පැමිණෙයි ද, දත යුතු සියල්ල දන්නා වූත්, දැක්ක යුතු සියල්ල දක්නා වූත්, අරහත් සම්මා සම්බුදු ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට වදාරණ ලද මෙය ද එබඳු වූ එක් ධර්මයකි.
තව ද ගෘහපතිය, භික්ෂුව කරුණා සහගත සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කරයි. ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපේක්සා සහගත සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කරයි. එසේ ම දෙවෙනි දිශාවට ත්, තුන්වන දිශාවට ත්, හතරවන දිශාවට ත්, පතුරුවා වාසය කරයි. මෙසේ උඩ යට සරස සෑම තැනක් කෙරෙහි ම සියළු ලොවට එක අයුරින් උපේක්ෂා සහගත සිතින් විපුල වූ මහග්ගත වූ අප්‍රමාණ වූ අවෛරී ද්වේෂ රහිත සිත පතුරුවා වාසය කරයි. ඒ භික්ෂුව මෙසේ නුවණින් විමසයි. ‘මේ උපේක්ෂා ධ්‍යානය වනාහී චේතනාත්මක ව සකස් කරන ලද්දකි. විශේෂයෙන් සකස් කරන ලද්දකි. යම්කිසි දෙයක් චේතනාත්මක ව සකස් කරන ලද්දේ ද, විශේෂයෙන් සකස් කරන ලද්දේ ද, එය අනිත්‍යය ය. නිරුද්ධ වන ස්වභාවය ඇත්තේ ය’ යනුවෙන් දැනගනියි. ඔහු ඒ විදර්ශනා මනසිකාරයෙහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණෙයි නම්, ඒ ධර්ම රාගයෙන්, ඒ ධර්ම ප්‍රීතියෙන් පංච ඕරම්භාගීය සංයෝජනයන් ප්‍රහාණය කොට සුද්ධාවාස බඹලොව ඕපපාතික ව උපදියි. ඒ ලෝකයෙන් ආපසු හැරී නොඑන්නේ එහි ම පිරිනිවන් පායි.
ගෘහපතිය, භික්ෂුවක් යම් එක් ධර්මයක් තුළ අප්‍රමාදී ව කෙලෙස් තවන වෙර ඇති ව, දහමට දිවි පුදා වාසය කරද්දී, විමුක්තියට පත් නොවූ සිත විමුක්තියට පත් වෙයි ද, ක්ෂය නොවූ ආශ්‍රවයන් ක්ෂය වී යයි ද, නොපැමිණි අරහත්වයට පැමිණෙයි ද, දත යුතු සියල්ල දන්නා වූත්, දැක්ක යුතු සියල්ල දක්නා වූත්, අරහත් සම්මා සම්බුදු ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට වදාරණ ලද මෙය ද එබඳු වූ එක් ධර්මයකි.
තව ද ගෘහපතිය, භික්ෂුව සියළු අයුරින් රූප සංඥාවන් ඉක්ම ගොස් ඕළාරික සංඥාවන් නැති කොට නා නා සංඥාවන් නොමෙනෙහි කොට අනන්ත වූ ආකාසය යැයි ආකාසානඤ්චායතනය උපදවා වාසය කරයි. ඒ භික්ෂුව මෙසේ නුවණින් විමසයි. ‘මේ ආකාසානඤ්චායතන සමාපත්තිය වනාහී චේතනාත්මක ව සකස් කරන ලද්දකි. විශේෂයෙන් සකස් කරන ලද්දකි. යම්කිසි දෙයක් චේතනාත්මක ව සකස් කරන ලද්දේ ද, විශේෂයෙන් සකස් කරන ලද්දේ ද, එය අනිත්‍යය ය. නිරුද්ධ වන ස්වභාවය ඇත්තේ ය’ යනුවෙන් දැනගනියි. ඔහු ඒ විදර්ශනා මනසිකාරයෙහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණෙයි නම්, ඒ ධර්ම රාගයෙන්, ඒ ධර්ම ප්‍රීතියෙන් පංච ඕරම්භාගීය සංයෝජනයන් ප්‍රහාණය කොට සුද්ධාවාස බඹලොව ඕපපාතික ව උපදියි. ඒ ලෝකයෙන් ආපසු හැරී නොඑන්නේ එහි ම පිරිනිවන් පායි.
ගෘහපතිය, භික්ෂුවක් යම් එක් ධර්මයක් තුළ අප්‍රමාදී ව කෙලෙස් තවන වෙර ඇති ව, දහමට දිවි පුදා වාසය කරද්දී, විමුක්තියට පත් නොවූ සිත විමුක්තියට පත් වෙයි ද, ක්ෂය නොවූ ආශ්‍රවයන් ක්ෂය වී යයි ද, නොපැමිණි අරහත්වයට පැමිණෙයි ද, දත යුතු සියල්ල දන්නා වූත්, දැක්ක යුතු සියල්ල දක්නා වූත්, අරහත් සම්මා සම්බුදු ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට වදාරණ ලද මෙය ද එබඳු වූ එක් ධර්මයකි.
තව ද ගෘහපතිය, භික්ෂුව සියළු අයුරින් ආකාසානඤ්චායතන සමාපත්තිය ඉක්ම ගොස් අනන්ත වූ විඤ්ඤාණය යැයි විඤ්ඤාණඤ්චායතනය උපදවා වාසය කරයි. ….(පෙ)…. සියළු විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනය උපදවා වාසය කරයි. ඒ භික්ෂුව මෙසේ නුවණින් විමසයි. ‘මේ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය වනාහී චේතනාත්මක ව සකස් කරන ලද්දකි. විශේෂයෙන් සකස් කරන ලද්දකි. යම්කිසි දෙයක් චේතනාත්මක ව සකස් කරන ලද්දේ ද, විශේෂයෙන් සකස් කරන ලද්දේ ද, එය අනිත්‍යය ය. නිරුද්ධ වන ස්වභාවය ඇත්තේ ය’ යනුවෙන් දැනගනියි. ඔහු ඒ විදර්ශනා මනසිකාරයෙහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණෙයි නම්, ඒ ධර්ම රාගයෙන්, ඒ ධර්ම ප්‍රීතියෙන් පංච ඕරම්භාගීය සංයෝජනයන් ප්‍රහාණය කොට සුද්ධාවාස බඹලොව ඕපපාතික ව උපදියි. ඒ ලෝකයෙන් ආපසු හැරී නොඑන්නේ එහි ම පිරිනිවන් පායි.
ගෘහපතිය, භික්ෂුවක් යම් එක් ධර්මයක් තුළ අප්‍රමාදී ව කෙලෙස් තවන වෙර ඇති ව, දහමට දිවි පුදා වාසය කරද්දී, විමුක්තියට පත් නොවූ සිත විමුක්තියට පත් වෙයි ද, ක්ෂය නොවූ ආශ්‍රවයන් ක්ෂය වී යයි ද, නොපැමිණි අරහත්වයට පැමිණෙයි ද, දත යුතු සියල්ල දන්නා වූත්, දැක්ක යුතු සියල්ල දක්නා වූත්, අරහත් සම්මා සම්බුදු ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට වදාරණ ලද මෙය ද එබඳු වූ එක් ධර්මයකි.
මෙසේ පැවසූ කල්හී අට්ඨකනගරවැසි දශම ගෘහපති තෙමේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, ආනන්දයන් වහන්ස, එය මෙබඳු දෙයකි. පුරුෂයෙක් නිධානයක් ඇති එක් තැනක් සොයමින් යන්නේ එක්වර ම එකොළොස් නිධානයක් මුණගැසුණේ ය. එසෙයින් ම ස්වාමීනී, මම අමා නිවන පිණිස එක් දොරටුවක් සොයා යන්නේ එක් වර ම එකොළොස් අමා දොරටු ගැන අසන්නට ලැබීමි.
ස්වාමීනී, එය මෙබඳු දෙයකි. පුරුෂයෙකුට එකොළොස් දොරටුවක් ඇති ගෘහයක් ඇත්තේ ය. ඒ ගෘහය ගිනිගත් කල්හී හේ එක් එක් ද්වාරයකින් තමන්ගේ යහපත සඳහා කටයුතු කළ හැකි වන්නේ ය. එසෙයින් ම ස්වාමීනී, මම මේ අමා නිවනට යන එකළොස් දොරටු අතුරින් එක් එක් අමා දොරකින් යහපත සළසා ගන්නට හැකි වන්නෙමි.
ස්වාමීනී, මේ අන්‍ය තීර්ථකයෝ ආචාර්යවරයාට ගුරුපඬුරු සොයන්නාහු ය. කිම? මම් වනාහී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට පූජාවක් නොකරන්නෙම් ද?
එකල්හී අට්ඨකනගරවැසි දශම ගෘහපති තෙමේ විසල්පුරවාසී වූ ත්, පැළලුප් නුවරවාසී වූත් භික්ෂු සංඝයා රැස් කරවා ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍යාදියෙන් සියතින් ම මැනැවින් පූජා කළේ ය. මැනැවින් පැවරුවේ ය. ඒ එක් එක් භික්ෂුවකට වෙන් වශයෙන් වස්ත්‍ර යුගලය බැගින් පිදුවේ ය. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට තුන් සිවුරෙන් පිදුවේ ය. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ උදෙසා විහාර පන්සියයක් කෙරෙව්වේ ය.
සාදු! සාදු!! සාදු!!!
අට්ඨකනාගර සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_11-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M