මහණෙනි, එකොළොස් අංගයකින් සමන්විත වූ ගවයන් රකින්නා ගව රැළ පරිහරණය කිරීමට ත්, දියුණු කිරීමට ත් අසමර්ථ වෙයි. ඒ එකොළොස් කරුණ කුමක් ද යත්;
මහණෙනි, මෙහිලා ගවයන් රකින තැනැත්තා හැඩරුවින් ගවයන් හඳුනා නොගනියි. ගව සලකුණු හඳුනාගන්නට අදක්ෂ වෙයි. ඉහඳ මැසි බිජු ඉවත් නොකරන්නේ වෙයි. තුවාල ආවරණය නොකරන්නේ වෙයි. කෘමීන් වැළැක්වීමට දුම් නොඅල්ලන්නේ වෙයි. ගවයන් එතෙර කරවන තොට නොදන්නේ වෙයි. ගවයන් පැන් බිව් – නොබිව් බව නොදන්නේ වෙයි. ගවයන් ගෙන යා යුතු මාර්ගය නොදන්නේ වෙයි. ගවයන්ගේ ගොදුරු බිම නොදන්නේ වෙයි. ගව පැටවුන්ට ඉතිරි නොකොට කිරි දොවන්නේ වෙයි. ඒ ගවයන් අතර වෘෂභ වූ, ගව පීතෘ වූ ප්‍රධාන ගවයෝ සිටිත් ද, ඔවුන් අතිරේක පූජාවෙන් නොපුදන්නේ වෙයි.
මහණෙනි, මෙම එකොළොස් අංගයකින් සමන්විත වූ ගවයන් රකින්නා ගව රැළ පරිහරණය කිරීමට ත්, දියුණු කිරීමට ත් අසමර්ථ වෙයි.
මෙසෙයින් ම මහණෙනි, එකොළොස් කරුණෙකින් සමන්විත වූ භික්ෂුව මේ ධර්ම විනයෙහි අභිවෘද්ධියක්, දියුණුවක්, සුවිශේෂී බවක් ලබන්නට අසමර්ථ වෙයි. ඒ කවර එකොළොස් කරුණක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව හැඩරුව හඳුනා නොගනියි. සලකුණු හඳුනාගන්නට අදක්ෂ වෙයි. ඉහඳ මැසි බිජු ඉවත් නොකරන්නේ වෙයි. තුවාල ආවරණය නොකරන්නේ වෙයි. දුම් නොඅල්ලන්නේ වෙයි. එතෙර කරවන තොට නොදන්නේ වෙයි. පැන් බිව් – නොබිව් බව නොදන්නේ වෙයි. යා යුතු මාර්ගය නොදන්නේ වෙයි. ගොදුරු බිම නොදන්නේ වෙයි. ඉතිරි නොකොට කිරි දොවන්නේ වෙයි. භික්ෂූන් අතර යම් ඒ බොහෝ රැය ගෙවන ලද, පැවිදි ව බොහෝ කල් ගත වූ, සංඝ පීතෘ වූ, සංඝ ප්‍රධාන වූ, ස්ථවිර භික්ෂූහු සිටිත් ද ඔවුන් අතිරේක පූජාවෙන් නොපුදන්නේ වෙයි.
1. මහණෙනි, භික්ෂුව හැඩරුව හඳුනා නොගන්නේ කෙසේද? මහණෙනි, මෙහිලා භික්ෂුව යම්කිසි රූපයක් ඇද්ද, ඒ සියළු රූප සතර මහා භූතයන් බව ත්, සතර මහා භූතයන්ගෙන් හටගත් රූපයන් බව ත්, ඇත්ත ඇතිසැටියෙන් නොදන්නේ ය. මහණෙනි, මෙසේ භික්ෂුව රූපයන්ගේ හැඩරුව හඳුනා නොගන්නේ වෙයි.
2. මහණෙනි, භික්ෂුව සළකුණු හඳුනාගන්නට අදක්ෂ වන්නේ කෙසේද? මහණෙනි, මෙහිලා භික්ෂුව ක්‍රියාව සළකුණු කොට ඇති බාලයා ත්, ක්‍රියාව සළකුණු කොට ඇති නුවණැත්තා ත්, ඒ අයුරින් ම හඳුනා නොගන්නේ ය. මහණෙනි, මෙසේ භික්ෂුව සළකුණු හඳුනාගන්නට අදක්ෂ වෙයි.
3. මහණෙනි, භික්ෂුව ඉහඳ මැසි බිජු ඉවත් නොකරන්නේ කෙසේද? මහණෙනි, මෙහිලා භික්ෂුව තමා තුළ හටගත් පංච කාම පිළිබඳ විතර්ක ඉවසයි. අත් නොහරියි. දුරු නොකරයි. නැති නොකරයි. අභාවයට පත් නොකරයි. තමා තුළ හටගත් ද්වේෂය පිළිබඳ විතර්ක ඉවසයි. අත් නොහරියි. දුරු නොකරයි. නැති නොකරයි. අභාවයට පත් නොකරයි. තමා තුළ හටගත් හිංසාකාරී විතර්ක ඉවසයි. අත් නොහරියි. දුරු නොකරයි. නැති නොකරයි. අභාවයට පත් නොකරයි. උපනූපන් පාපී අකුසල් දහම් ඉවසයි. අත් නොහරියි. දුරු නොකරයි. නැති නොකරයි. අභාවයට පත් නොකරයි. මහණෙනි, මෙසේ භික්ෂුව ඉහඳ මැසි බිජු ඉවත් නොකරන්නේ වෙයි.
4. මහණෙනි, භික්ෂුව තුවාල ආවරණය නොකරන්නේ කෙසේද? මහණෙනි, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැක නිමිති ගන්නේ වෙයි. නිමිත්තෙක කොටසක් හෝ ගන්නේ වෙයි. යම් කරුණක් හේතුවෙන් ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවර ව වාසය කිරීමෙන් ඇලීම් ගැටීම් ආදී පාපී අකුසල් දහම් තමා පසුපස හඹා එද්ද, එබඳු වූ ඇස සංවරය පිණිස නොපිළිපදියි. ඇස නම් වූ ඉන්ද්‍රිය නොරකියි. ඇස නම් වූ ඉන්ද්‍රියේ සංවරයට නොපැමිණෙයි. කනෙන් ශබ්ද අසා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රස විඳ ….(පෙ)…. කයෙන් පහස ලබා ….(පෙ)…. මනසින් අරමුණක් දැන නිමිති ගන්නේ වෙයි. නිමිත්තෙක කොටසක් හෝ ගන්නේ වෙයි. යම් කරුණක් හේතුවෙන් මනස නම් වූ ඉන්ද්‍රිය අසංවර ව වාසය කිරීමෙන් ඇලීම් ගැටීම් ආදී පාපී අකුසල් දහම් තමා පසුපස හඹා එද්ද, එබඳු වූ මනස සංවරය නොපිළිපදියි. මනස නම් වූ ඉන්ද්‍රිය නොරකියි. මනස නම් වූ ඉන්ද්‍රියේ සංවරයට නොපැමිණෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව තුවාල ආවරණය නොකරගන්නේ වෙයි.
5. මහණෙනි, භික්ෂුව දුම් නොඅල්ලන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව තමන් ධර්මය අසන ලද්දේ යම් පරිදි ද, පිරිවහන ලද්දේ යම් පරිදි ද, ඒ ධර්මය විස්තර වශයෙන් අන්‍යයන්ට දේශනා නොකරන්නේ වෙයි. මහණෙනි, භික්ෂුව මෙසේ දුම් නොඅල්ලන්නේ වෙයි.
6. මහණෙනි, භික්ෂුව එතෙර කරවන තොට නොදන්නේ කෙසේද? මහණෙනි, මෙහිලා භික්ෂුව යම් මේ භික්ෂූහු බහුශ්‍රැත වෙත් ද, බොහෝ ධර්මය දන්නාහු වෙත් ද, ධර්මධර වෙත් ද, විනයධර වෙත් ද, මාතෘකාධර වෙත් ද, ඒ භික්ෂූන් වෙත කලින් කලට එළැඹ ‘ස්වාමීනී, මෙය කෙසේද? මෙහි අර්ථය කවරෙක් දැ’යි නොවිමසයි. ප්‍රශ්න නොකරයි. මේ හේතුවෙන් ඒ ආයුෂ්මත්හු ඒ භික්ෂුවට විවෘත නොවූ දෑ විවෘත නොකරති. අප්‍රකට දෑ ප්‍රකට නොකරති. සැක සංකා ඇතිවෙන නොයෙක් දහම් කරුණු පිළිබඳ ව සැකය දුරු නොකරති. මහණෙනි, මෙසේ භික්ෂුව එතෙර කරවන තොට නොදන්නේ ය.
7. මහණෙනි, භික්ෂුව පැන් බිව් – නොබිව් බව නොදන්නේ කෙසේද? මහණෙනි, මෙහිලා භික්ෂුව තථාගතයන් විසින් දෙසන ලද ධර්ම විනය දෙසනු ලබන කල්හී එයින් ලැබෙන යහපත පිළිබඳ ව සතුට නොලබන්නේ ය. ධර්ම ප්‍රීතිය නොලබන්නේ ය. ධර්මය ඇසුරෙන් ලැබෙන ප්‍රමුදිත බව නොලබන්නේ ය. මහණෙනි, මෙසේ භික්ෂුව පැන් බිව් – නොබිව් බව නොදන්නේ ය.
8. මහණෙනි, භික්ෂුව යා යුතු මාර්ගය නොදන්නේ කෙසේද? මහණෙනි, මෙහිලා භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ වූ අයුරින් නොදනියි. මහණෙනි, මෙසේ භික්ෂුව යායුතු මාර්ගය නොදන්නේ වෙයි.
9. මහණෙනි, භික්ෂුව ගොදුරු බිම නොදන්නේ කෙසේද? මහණෙනි, මෙහිලා භික්ෂුව සතර සතිපට්ඨානයන් පිළිබඳ ව ඒ වූ අයුරින් නොදන්නේ ය. මහණෙනි, මෙසේ භික්ෂුව ගොදුරු බිම නොදන්නේ වෙයි.
10. මහණෙනි, භික්ෂුව ඉතිරි නොකොට කිරි දොවන්නේ කෙසේද? මහණෙනි, සැදැහැවත් ගෘහපතීහු භික්ෂූන් හට සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් නිතර පූජා කරත්. මෙහිලා භික්ෂුව ඒවා පිළිගැනීමෙහි පමණ නොදන්නේ ය. මහණෙනි, මෙසේ භික්ෂුව ඉතිරි නොකොට කිරිදොවන්නේ වෙයි.
11. මහණෙනි, භික්ෂුව යම් ඒ භික්ෂූන් අතර බොහෝ රැය ගෙවන ලද, පැවිදි ව බොහෝ කල් ගත වූ, සංඝ පීතෘ වූ, සංඝ ප්‍රධාන වූ, ස්ථවිර භික්ෂූහු සිටිත් ද ඔවුන් අතිරේක පූජාවෙන් නොපුදන්නේ කෙසේද? මහණෙනි, මෙහිලා භික්ෂුව යම් ඒ භික්ෂූන් අතර බොහෝ රැය ගෙවන ලද, පැවිදි ව බොහෝ කල් ගත වූ, සංඝ පීතෘ වූ, සංඝ ප්‍රධාන වූ, ස්ථවිර භික්ෂූහු සිටිත් ද ඒ භික්ෂූන් කෙරෙහි ඉදිරිපිට දී ත්, නැති විට ත් මෛත්‍රී කාය කර්මය පිහිටුවාගෙන නොසිටියි. ඉදිරිපිට දී ත්, නැති විට ත් මෛත්‍රී වචී කර්මය පිහිටුවාගෙන නොසිටියි. ඉදිරිපිට දී ත්, නැති විට ත් මෛත්‍රී මනෝ කර්මය පිහිටුවාගෙන නොසිටියි. මහණෙනි, මෙසේ ඒ භික්ෂුව යම් ඒ භික්ෂූන් අතර බොහෝ රැය ගෙවන ලද, පැවිදි ව බොහෝ කල් ගත වූ, සංඝ පීතෘ වූ, සංඝ ප්‍රධාන වූ, ස්ථවිර භික්ෂූහු සිටිත් ද ඔවුන් අතිරේක පූජාවෙන් නොපුදන්නේ වෙයි.
මේ අයුරින් මහණෙනි, මෙම එකොළොස් කරුණකින් සමන්විත වූ භික්ෂුව මේ ධර්ම විනයෙහි අභිවෘද්ධියක්, දියුණුවක්, සුවිශේෂී බවක් ලබන්නට අසමර්ථ වෙයි.
මහණෙනි, එකොළොස් අංගයකින් සමන්විත වූ ගවයන් රකින්නා ගව රැළ පරිහරණය කිරීමට ත්, දියුණු කිරීමට ත් සමර්ථ වෙයි. ඒ එකොළොස් කරුණ කුමක් ද යත්;
මහණෙනි, මෙහිලා ගවයන් රකින තැනැත්තා හැඩරුවින් ගවයන් හඳුනා ගනියි. ගව සලකුණු හඳුනාගන්නට දක්ෂ වෙයි. ඉහඳ මැසි බිජු ඉවත් කරන්නේ වෙයි. තුවාල ආවරණය කරන්නේ වෙයි. කෘමීන් වැළැක්වීමට දුම් අල්ලන්නේ වෙයි. ගවයන් එතෙර කරවන තොට දන්නේ වෙයි. ගවයන් පැන් බිව් – නොබිව් බව දන්නේ වෙයි. ගවයන් ගෙන යා යුතු මාර්ගය දන්නේ වෙයි. ගවයන්ගේ ගොදුරු බිම දන්නේ වෙයි. ගව පැටවුන්ට ඉතිරි කොට කිරි දොවන්නේ වෙයි. ඒ ගවයන් අතර වෘෂභ වූ, ගව පීතෘ වූ ප්‍රධාන ගවයෝ සිටිත් ද, ඔවුන් අතිරේක පූජාවෙන් පුදන්නේ වෙයි.
මහණෙනි, මෙම එකොළොස් අංගයකින් සමන්විත වූ ගවයන් රකින්නා ගව රැළ පරිහරණය කිරීමට ත්, දියුණු කිරීමට ත් සමර්ථ වෙයි.
මෙසෙයින් ම මහණෙනි, එකොළොස් කරුණෙකින් සමන්විත වූ භික්ෂුව මේ ධර්ම විනයෙහි අභිවෘද්ධියක්, දියුණුවක්, සුවිශේෂී බවක් ලබන්නට සමර්ථ වෙයි. ඒ කවර එකොළොස් කරුණක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව හැඩරුව හඳුනා ගනියි. සලකුණු හඳුනාගන්නට දක්ෂ වෙයි. ඉහඳ මැසි බිජු ඉවත් කරන්නේ වෙයි. තුවාල ආවරණය කරන්නේ වෙයි. දුම් අල්ලන්නේ වෙයි. එතෙර කරවන තොට දන්නේ වෙයි. පැන් බිව් – නොබිව් බව දන්නේ වෙයි. යා යුතු මාර්ගය දන්නේ වෙයි. ගොදුරු බිම දන්නේ වෙයි. ඉතිරි කොට කිරි දොවන්නේ වෙයි. භික්ෂූන් අතර යම් ඒ බොහෝ රැය ගෙවන ලද, පැවිදි ව බොහෝ කල් ගත වූ, සංඝ පීතෘ වූ, සංඝ ප්‍රධාන වූ, ස්ථවිර භික්ෂූහු සිටිත් ද ඔවුන් අතිරේක පූජාවෙන් පුදන්නේ වෙයි.
1. මහණෙනි, භික්ෂුව හැඩරුව හඳුනා ගන්නේ කෙසේද? මහණෙනි, මෙහිලා භික්ෂුව යම්කිසි රූපයක් ඇද්ද, ඒ සියළු රූප සතර මහා භූතයන් බව ත්, සතර මහා භූතයන්ගෙන් හටගත් රූපයන් බව ත්, ඇත්ත ඇතිසැටියෙන් දන්නේ ය. මහණෙනි, මෙසේ භික්ෂුව රූපයන්ගේ හැඩරුව හඳුනා ගන්නේ වෙයි.
2. මහණෙනි, භික්ෂුව සළකුණු හඳුනාගන්නට දක්ෂ වන්නේ කෙසේද? මහණෙනි, මෙහිලා භික්ෂුව ක්‍රියාව සළකුණු කොට ඇති බාලයා ත්, ක්‍රියා සළකුණු කොට ඇති නුවණැත්තා ත්, ඒ අයුරින් ම හඳුනා ගන්නේ ය. මහණෙනි, මෙසේ භික්ෂුව සළකුණු හඳුනාගන්නට දක්ෂ වෙයි.
3. මහණෙනි, භික්ෂුව ඉහඳ මැසි බිජු ඉවත් කරන්නේ කෙසේද? මහණෙනි, මෙහිලා භික්ෂුව තමා තුළ හටගත් පංච කාම පිළිබඳ විතර්ක නොඉවසයි. අත් හරියි. දුරු කරයි. නැති කරයි. අභාවයට පත් කරයි. තමා තුළ හටගත් ද්වේෂය පිළිබඳ විතර්ක නොඉවසයි. අත් හරියි. දුරු කරයි. නැති කරයි. අභාවයට පත් කරයි. තමා තුළ හටගත් හිංසාකාරී විතර්ක නොඉවසයි. අත් හරියි. දුරු කරයි. නැති කරයි. අභාවයට පත් කරයි. උපනූපන් පාපී අකුසල් දහම් නොඉවසයි. අත් හරියි. දුරු කරයි. නැති කරයි. අභාවයට පත් කරයි. මහණෙනි, මෙසේ භික්ෂුව ඉහඳ මැසි බිජු ඉවත් කරන්නේ වෙයි.
4. මහණෙනි, භික්ෂුව තුවාල ආවරණය කරන්නේ කෙසේද? මහණෙනි, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැක නිමිති නොගන්නේ වෙයි. නිමිත්තෙක කොටසක් හෝ නොගන්නේ වෙයි. යම් කරුණක් හේතුවෙන් ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවර ව වාසය කිරීමෙන් ඇලීම් ගැටීම් ආදී පාපී අකුසල් දහම් තමා පසුපස හඹා එද්ද, එබඳු වූ ඇස සංවරය පිණිස පිළිපදියි. ඇස නම් වූ ඉන්ද්‍රිය රකියි. ඇස නම් වූ ඉන්ද්‍රියේ සංවරයට පැමිණෙයි. කනෙන් ශබ්ද අසා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රස විඳ ….(පෙ)…. කයෙන් පහස ලබා ….(පෙ)…. මනසින් අරමුණක් දැන නිමිති නොගන්නේ වෙයි. නිමිත්තෙක කොටසක් හෝ නොගන්නේ වෙයි. යම් කරුණක් හේතුවෙන් මනස නම් වූ ඉන්ද්‍රිය අසංවර ව වාසය කිරීමෙන් ඇලීම් ගැටීම් ආදී පාපී අකුසල් දහම් තමා පසුපස හඹා එද්ද, එබඳු වූ මනස සංවරය පිණිස පිළිපදියි. මනස නම් වූ ඉන්ද්‍රිය රකියි. මනස නම් වූ ඉන්ද්‍රියේ සංවරයට පැමිණෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව තුවාල ආවරණය කරගන්නේ වෙයි.
5. මහණෙනි, භික්ෂුව දුම් අල්ලන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව තමන් ධර්මය අසන ලද්දේ යම් පරිදි ද, පිරිවහන ලද්දේ යම් පරිදි ද, ධර්මය විස්තර වශයෙන් අන්‍යයන්ට දේශනා කරන්නේ වෙයි. මහණෙනි, භික්ෂුව මෙසේ දුම් අල්ලන්නේ වෙයි.
6. මහණෙනි, භික්ෂුව එතෙර කරවන තොට දන්නේ කෙසේද? මහණෙනි, මෙහිලා භික්ෂුව යම් මේ භික්ෂූහු බහුශ්‍රැත වෙත් ද, බොහෝ ධර්මය දන්නාහු වෙත් ද, ධර්මධර වෙත් ද, විනයධර වෙත් ද, මාතෘකාධර වෙත් ද, ඒ භික්ෂූන් වෙත කලින් කලට එළැඹ ‘ස්වාමීනී, මෙය කෙසේද? මෙහි අර්ථය කවරෙක් දැ’යි විමසයි. ප්‍රශ්න කරයි. මේ හේතුවෙන් ඒ ආයුෂ්මත්හු ඒ භික්ෂුවට විවෘත නොවූ දෑ විවෘත කරති. අප්‍රකට දෑ ප්‍රකට කරති. සැක සංකා ඇතිවෙන නොයෙක් දහම් කරුණු පිළිබඳ ව සැකය දුරු කරති. මහණෙනි, මෙසේ භික්ෂුව එතෙර කරවන තොට දන්නේ ය.
7. මහණෙනි, භික්ෂුව පැන් බිව් – නොබිව් බව දන්නේ කෙසේද? මහණෙනි, මෙහිලා භික්ෂුව තථාගතයන් විසින් දෙසන ලද ධර්ම විනය දෙසනු ලබන කල්හී එයින් ලැබෙන යහපත පිළිබඳ ව සතුට ලබන්නේ ය. ධර්ම ප්‍රීතිය ලබන්නේ ය. ධර්මය ඇසුරෙන් ලැබෙන ප්‍රමුදිත බව ලබන්නේ ය. මහණෙනි, මෙසේ භික්ෂුව පැන් බිව් – නොබිව් බව දන්නේ ය.
8. මහණෙනි, භික්ෂුව යා යුතු මාර්ගය දන්නේ කෙසේද? මහණෙනි, මෙහිලා භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ වූ අයුරින් දනියි. මහණෙනි, මෙසේ භික්ෂුව යායුතු මාර්ගය දන්නේ වෙයි.
9. මහණෙනි, භික්ෂුව ගොදුරු බිම දන්නේ කෙසේද? මහණෙනි, මෙහිලා භික්ෂුව සතර සතිපට්ඨානයන් පිළිබඳ ව ඒ වූ අයුරින් දන්නේ ය. මහණෙනි, මෙසේ භික්ෂුව ගොදුරු බිම දන්නේ වෙයි.
10. මහණෙනි, භික්ෂුව ඉතිරි කොට කිරි දොවන්නේ කෙසේද? මහණෙනි, සැදැහැවත් ගෘහපතීහු භික්ෂූන් හට සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් නිතර පූජා කරත්. මෙහිලා භික්ෂුව ඒවා පිළිගැනීමෙහි පමණ දන්නේ ය. මහණෙනි, මෙසේ භික්ෂුව ඉතිරි කොට කිරිදොවන්නේ වෙයි.
11. මහණෙනි, භික්ෂුව යම් ඒ භික්ෂූන් අතර බොහෝ රැය ගෙවන ලද, පැවිදි ව බොහෝ කල් ගත වූ, සංඝ පීතෘ වූ, සංඝ ප්‍රධාන වූ, ස්ථවිර භික්ෂූහු සිටිත් ද ඔවුන් අතිරේක පූජාවෙන් පුදන්නේ කෙසේද? මහණෙනි, මෙහිලා භික්ෂුව යම් ඒ භික්ෂූන් අතර බොහෝ රැය ගෙවන ලද, පැවිදි ව බොහෝ කල් ගත වූ, සංඝ පීතෘ වූ, සංඝ ප්‍රධාන වූ, ස්ථවිර භික්ෂූහු සිටිත් ද ඒ භික්ෂූන් කෙරෙහි ඉදිරිපිට දී ත්, නැති විට ත් මෛත්‍රී කාය කර්මය පිහිටුවාගෙන සිටියි. ඉදිරිපිට දී ත්, නැති විට ත් මෛත්‍රී වචී කර්මය පිහිටුවාගෙන සිටියි. ඉදිරිපිට දී ත්, නැති විට ත් මෛත්‍රී මනෝ කර්මය පිහිටුවාගෙන සිටියි. මහණෙනි, මෙසේ ඒ භික්ෂුව යම් ඒ භික්ෂූන් අතර බොහෝ රැය ගෙවන ලද, පැවිදි ව බොහෝ කල් ගත වූ, සංඝ පීතෘ වූ, සංඝ ප්‍රධාන වූ, ස්ථවිර භික්ෂූහු සිටිත් ද ඔවුන් අතිරේක පූජාවෙන් පුදන්නේ වෙයි.
මේ අයුරින් මහණෙනි, මෙම එකොළොස් කරුණකින් සමන්විත වූ භික්ෂුව මේ ධර්ම විනයෙහි අභිවෘද්ධියක්, දියුණුවක්, සුවිශේෂී බවක් ලබන්නට සමර්ථ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
ගෝපාලක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_11-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M