එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ නාදික නගරයෙහි ගිඤ්ජකාවසථයෙහි වැඩවසන සේක. එකල්හී ආයුෂ්මත් සන්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සන්ධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“සන්ධයෙනි, ආජානේය අශ්වයෙකු ලෙස සිතිය යුත්තේ ය. බාල වර්ගයේ අශ්වයෙකු ලෙසින් සිතන්නට එපා. බාල වර්ගයේ අශ්වයෙකු සිතන්නේ කෙසේද?
සන්ධයෙනි, අශ්ව ආහාර දමන භාජනය සමීපයෙහි බඳිනා ලද බාල වර්ගයේ අශ්වයා වනාහී ‘යව ඇත්තේ නොවැ. යව ඇත්තේ නොවැ’ යි සිතමින් ඉන්නේ ය. ඒ කවර හෙයින් ද යත්, අශ්ව ආහාර දමන භාජනය සමීපයේ බඳිනා ලද ඒ බාල වර්ගයේ අශ්වයාට මෙසේ නොසිතෙනා හෙයිනි. එනම් ‘කිම? අද අශ්ව දම්ම සාරථී තෙමේ මා ලවා කවර නම් වැඩක් කරවන්නේ ද? මම් අද ඔහුට කුමන වූ අනුග්‍රහයක් දක්වන්නෙම් දැ’යි. එනිසා හේ අශ්ව ආහාර දමන භාජනය සමීපයේ බඳිනා ලද්දේ ‘යව ඇත්තේ නොවැ. යව ඇත්තේ නොවැ’ යි සිතමින් සිටියි.
මේ අයුරින් ම සන්ධයෙනි, මෙහිලා ඇතැම් බාල වර්ගයේ පුරුෂයෙක් අරණ්‍යයට ගියේ වේවා, රුක් සෙවණකට ගියේ වේවා, ජනශූන්‍ය තැනකට ගියේ වේවා කාමරාගයට යටවුණු සිතින්, කාමරාගය විසින් පැහැරගත් සිතින් වාසය කරයි. උපන් කාමරාගයෙන් නිදහස් වන්නේ කෙසේදැයි ඒ වූ සැටියෙන් නොදනියි. ඔහු ඒ කාමරාගය ම සිත තුළ රඳවා ගෙන ධ්‍යාන කරයි. යළි යළි ත් ධ්‍යාන කරයි. එය ම සිතයි. එහි ම බැසගෙන සිතයි.
ද්වේෂයට යටවුණු සිතින් වාසය කරයි ….(පෙ)…. ථීනමිද්ධයට යටවුණු සිතින් වාසය කරයි ….(පෙ)…. උද්ධච්ච කුක්කුච්චයට යටවුණු සිතින් වාසය කරයි ….(පෙ)…. විචිකිච්ඡාවට යටවුණු සිතින්, විචිකිච්ඡාව විසින් පැහැරගත් සිතින් වාසය කරයි. උපන් විචිකිච්ඡාවෙන් නිදහස් වන්නේ කෙසේදැයි ඒ වූ සැටියෙන් නොදනියි. ඔහු ඒ විචිකිච්ඡාව ම සිත තුළ රඳවා ගෙන ධ්‍යාන කරයි. යළි යළි ත් ධ්‍යාන කරයි. එය ම සිතයි. එහි ම බැසගෙන සිතයි.
ඔහු පඨවි ධාතුව ත් ඇසුරු කොට ධ්‍යාන කරයි. ආපෝ ධාතුව ත් ඇසුරු කොට ධ්‍යාන කරයි. තේජෝ ධාතුව ත් ඇසුරු කොට ධ්‍යාන කරයි. වායෝ ධාතුව ත් ඇසුරු කොට ධ්‍යාන කරයි. ආකාසානඤ්චායතනය ත් ඇසුරු කොට ධ්‍යාන කරයි. විඤ්ඤාණඤ්චායතනය ත් ඇසුරු කොට ධ්‍යාන කරයි. ආකිඤ්චඤ්ඤායතනය ත් ඇසුරු කොට ධ්‍යාන කරයි. නේවසඤ්ඤානාසඤ්ඤා යතනය ත් ඇසුරු කොට ධ්‍යාන කරයි. මෙලොව ත් ඇසුරු කොට ධ්‍යාන කරයි. පරලොව ත් ඇසුරු කොට ධ්‍යාන කරයි. දකින ලද, අසන ලද, ආඝ්‍රාණය කරන ලද, රස විඳින ලද, පහස ලබන ලද, දැනගන්නා ලද, ලබන ලද, සොයන ලද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එය ත් ඇසුරු කොට ධ්‍යාන කරයි. සන්ධයෙනි, බාල වර්ගයේ පුරුෂයා ධ්‍යාන කරන්නේ ඔය අයුරිනි.
සන්ධයෙනි, ආජානේය වර්ගයේ අශ්වයෙකු සිතන්නේ කෙසේද?
සන්ධයෙනි, අශ්ව ආහාර දමන භාජනය සමීපයෙහි බඳිනා ලද ආජානේය වර්ගයේ සොඳුරු අශ්වයා වනාහී ‘යව ඇත්තේ නොවැ. යව ඇත්තේ නොවැ’ යි නොසිතමින් ඉන්නේ ය. ඒ කවර හෙයින් ද යත්, අශ්ව ආහාර දමන භාජනය සමීපයේ බඳිනා ලද ඒ ආජානේය වර්ගයේ අශ්වයාට මෙසේ සිතෙනා හෙයිනි. එනම් ‘කිම? අද අශ්ව දම්ම සාරථී තෙමේ මා ලවා කවර නම් වැඩක් කරවන්නේ ද? මම් අද ඔහුට කුමන වූ අනුග්‍රහයක් දක්වන්නෙම් දැ’යි. එනිසා හේ අශ්ව ආහාර දමන භාජනය සමීපයේ බඳිනා ලද්දේ ‘යව ඇත්තේ නොවැ. යව ඇත්තේ නොවැ’ යි නොසිතමින් සිටියි. සන්ධයෙනි, ආජානීය වර්ගයේ සොඳුරු අශ්වයා ණය යම් සේ ද, බන්ධනය යම් සේ ද, හානිය යම් සේ ද, වරද යම් සේ ද, එසෙයින් කෙවිට ගත් තැනැත්තාගේ දඬුවමකට ලක් වූවෙකු සේ දකියි.
මේ අයුරින් ම සන්ධයෙනි, මෙහිලා ඇතැම් ආජානේය වර්ගයේ පුරුෂයෙක් අරණ්‍යයට ගියේ වේවා, රුක් සෙවණකට ගියේ වේවා, ජනශූන්‍ය තැනකට ගියේ වේවා කාමරාගයට යට නොවුණු සිතින්, කාමරාගය විසින් නොපැහැරගත් සිතින් වාසය කරයි. උපන් කාමරාගයෙන් නිදහස් වන්නේ කෙසේදැයි ඒ වූ සැටියෙන් දනියි.
ද්වේෂයට යට නොවුණු සිතින් වාසය කරයි ….(පෙ)…. ථීනමිද්ධයට යට නොවුණු සිතින් වාසය කරයි ….(පෙ)…. උද්ධච්ච කුක්කුච්චයට යට නොවුණු සිතින් වාසය කරයි ….(පෙ)…. විචිකිච්ඡාවට යට නොවුණු සිතින්, විචිකිච්ඡාව විසින් නොපැහැරගත් සිතින් වාසය කරයි. උපන් විචිකිච්ඡාවෙන් නිදහස් වන්නේ කෙසේදැයි ඒ වූ සැටියෙන් දනියි.
ඔහු පඨවි ධාතුවඇසුරු කොට ධ්‍යාන නොකරයි. ආපෝ ධාතුව ඇසුරු කොට ධ්‍යාන නොකරයි. තේජෝ ධාතුව ඇසුරු කොට ධ්‍යාන නොකරයි. වායෝ ධාතුව ඇසුරු කොට ධ්‍යාන නොකරයි. ආකාසානාඤ්චායතනය ඇසුරු කොට ධ්‍යාන නොකරයි. විඤ්ඤාණඤ්චායතනය ඇසුරු කොට ධ්‍යාන නොකරයි. ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කොට ධ්‍යාන නොකරයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඇසුරු කොට ධ්‍යාන නොකරයි. මෙලොව ඇසුරු කොට ධ්‍යාන නොකරයි. පරලොව ඇසුරු කොට ධ්‍යාන නොකරයි. දකින ලද, අසන ලද, ආඝ්‍රාණය කරන ලද, රස විඳින ලද, පහස ලබන ලද, දැනගන්නා ලද, ලබන ලද, සොයන ලද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එය ත් ඇසුරු කොට ධ්‍යාන නොකරයි. එසේ නමුදු හේ ධ්‍යාන කරයි. සන්ධයෙනි, ආජානේය වර්ගයේ ඒ සොඳුරු පුරුෂයා මෙසේ ධ්‍යාන කරන කල්හී සක් දෙවිඳුන් සහිත බ්‍රහ්ම රාජයා සහිත ප්‍රජාපතී සහිත දෙවියෝ දුර ඈත සිට ම නමස්කාර කරති.
‘යම් අරමුණක් ඇසුරු කොට ඔබ ධ්‍යාන කරහු නම් ඒ ඔබගේ අරමුණ අපට දැනගත නොහැකි ය. ආජානේය පුරුෂයාණෙනි, ඔබට නමස්කාර වේවා! පුරුෂෝත්තමයාණෙනි, ඔබට නමස්කාර වේවා!’යි.
මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් සන්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, ඒ සොඳුරු ආජානේය පුරුෂයා කෙසේ නම් ධ්‍යාන කරන්නේ ද? එනම් හේ පඨවි ධාතුව ඇසුරු කොට ධ්‍යාන නොකරයි නම්, ආපෝ ධාතුව ඇසුරු කොට ධ්‍යාන නොකරයි නම්, තේජෝ ධාතුව ඇසුරු කොට ධ්‍යාන නොකරයි නම්, වායෝ ධාතුව ඇසුරු කොට ධ්‍යාන නොකරයි නම්, ආකාසානාඤ්චායතනය ඇසුරු කොට ධ්‍යාන නොකරයි නම්, විඤ්ඤාණඤ්චායතනය ඇසුරු කොට ධ්‍යාන නොකරයි නම්, ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කොට ධ්‍යාන නොකරයි නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඇසුරු කොට ධ්‍යාන නොකරයි නම්, මෙලොව ඇසුරු කොට ධ්‍යාන නොකරයි නම්, පරලොව ඇසුරු කොට ධ්‍යාන නොකරයි නම්, දකින ලද, අසන ලද, ආඝ්‍රාණය කරන ලද, රස විඳින ලද, පහස ලබන ලද, දැනගන්නා ලද, ලබන ලද, සොයන ලද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එය ඇසුරු කොට ධ්‍යාන නොකරයි නම්, එසේ නමුදු හේ ධ්‍යාන කරයි නම්, ස්වාමීනී, ආජානේය වර්ගයේ ඒ සොඳුරු පුරුෂයා කෙසේ ධ්‍යාන කරන කල්හී සක් දෙවිඳුන් සහිත බ්‍රහ්ම රාජයා සහිත ප්‍රජාපතී සහිත දෙවියෝ දුර ඈත සිට ම නමස්කාර කරන්නාහුද?
යම් අරමුණක් ඇසුරු කොට ඔබ ධ්‍යාන කරහු නම් ඒ ඔබගේ අරමුණ අපට දැනගත නොහැකි ය. ආජානේය පුරුෂයාණෙනි, ඔබට නමස්කාර වේවා! පුරුෂෝත්තමයාණෙනි, ඔබට නමස්කාර වේවා’යි.”
“සන්ධයෙනි, මෙහිලා ආජානේය වූ සොඳුරු පුරුෂයා හට පඨවි ධාතුව පිළිබඳ ව පඨවී සංඥාව ප්‍රකට වෙයි. ආපෝ ධාතුව පිළිබඳව ආපෝ සංඥාව ප්‍රකට වෙයි. තේජෝ ධාතුව පිළිබඳ ව තේජෝ සංඥාව ප්‍රකට වෙයි. වායෝ ධාතුව පිළිබඳ ව වායෝ සංඥාව ප්‍රකට වෙයි. ආකාසානඤ්චායතනය පිළිබඳ ව ආකාසානඤ්චායතන සංඥාව ප්‍රකට වෙයි. විඤ්ඤාණඤ්චායතනය පිළිබඳ ව විඤ්ඤාණඤ්චායතන සංඥාව ප්‍රකට වෙයි. ආකිඤ්චඤ්ඤායතනය පිළිබඳ ව ආකිඤ්චඤ්ඤායතන සංඥාව ප්‍රකට වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනය පිළිබඳ ව නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ප්‍රකට වෙයි. මෙලොව පිළිබඳ ව මෙලොව සංඥාව ප්‍රකට වෙයි. පරලොව පිළිබඳ ව පරලොව සංඥාව ප්‍රකට වෙයි. දකින ලද, අසන ලද, ආඝ්‍රාණය කරන ලද, රස විඳින ලද, පහස ලබන ලද, දැනගන්නා ලද, ලබන ලද, සොයන ලද, මනසින් විමසන ලද යමක් ඇද්ද, ඒ පිළිබඳ ව ද සංඥාව ප්‍රකට වෙයි.
එසේ නමුදු සන්ධයෙනි, ඒ සොඳුරු වූ ආජානේය පුරුෂයා මේ අයුරින් ධ්‍යාන කරන්නේ වෙයි. එනම් හේ පඨවි ධාතුව ඇසුරු කොට ධ්‍යාන නොකරයි. ආපෝ ධාතුව ඇසුරු කොට ධ්‍යාන නොකරයි. තේජෝ ධාතුව ඇසුරු කොට ධ්‍යාන නොකරයි. වායෝ ධාතුව ඇසුරු කොට ධ්‍යාන නොකරයි. ආකාසානාඤ්චායතනය ඇසුරු කොට ධ්‍යාන නොකරයි. විඤ්ඤාණඤ්චායතනය ඇසුරු කොට ධ්‍යාන නොකරයි. ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කොට ධ්‍යාන නොකරයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඇසුරු කොට ධ්‍යාන නොකරයි. මෙලොව ඇසුරු කොට ධ්‍යාන නොකරයි. පරලොව ඇසුරු කොට ධ්‍යාන නොකරයි. දකින ලද, අසන ලද, ආඝ්‍රාණය කරන ලද, රස විඳින ලද, පහස ලබන ලද, දැනගන්නා ලද, ලබන ලද, සොයන ලද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එය ඇසුරු කොට ධ්‍යාන නොකරයි. එසේ නමුදු හේ ධ්‍යාන කරයි. සන්ධයෙනි, ආජානේය වර්ගයේ ඒ සොඳුරු පුරුෂයා මෙසේ ධ්‍යාන කරන කල්හී සක් දෙවිඳුන් සහිත බ්‍රහ්ම රාජයා සහිත ප්‍රජාපතී සහිත දෙවියෝ දුර ඈත සිට ම නමස්කාර කරති.
යම් අරමුණක් ඇසුරු කොට ඔබ ධ්‍යාන කරහු නම් ඒ ඔබගේ අරමුණ අපට දැනගත නොහැකි ය. ආජානේය පුරුෂයාණෙනි, ඔබට නමස්කාර වේවා! පුරුෂෝත්තමයාණෙනි, ඔබට නමස්කාර වේවා!’ යනුවෙනි.
සාදු! සාදු!! සාදු!!!
සන්ධ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_11-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M