අංගුත්තර නිකාය

ඒකාදසක නිපාතෝ

11.1.8. මනසිකාර සුත්තං

11.1.8. මෙනෙහි කිරීම ගැන වදාළ දෙසුම

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක වැඩවෙසෙන සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට එකත්පස්ව හිඳගත් සේක. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, භික්ෂුවකට මෙබඳු වූ සමාධියක් ලැබිය හැකිද? යම් සේ ඇස මෙනෙහි නොකරයි ද, රූපය මෙනෙහි නොකරයි ද, කන මෙනෙහි නොකරයි ද, ශබ්දය මෙනෙහි නොකරයි ද, නාසය මෙනෙහි නොකරයි ද, ගඳසුවඳ මෙනෙහි නොකරයි ද, දිව මෙනෙහි නොකරයි ද, රසය මෙනෙහි නොකරයි ද, කය මෙනෙහි නොකරයි ද, පහස මෙනෙහි නොකරයි ද, පඨවි ධාතුව මෙනෙහි නොකරයි ද, ආපෝ ධාතුව මෙනෙහි නොකරයි ද, තේජෝ ධාතුව මෙනෙහි නොකරයි ද, වායෝ ධාතුව මෙනෙහි නොකරයි ද, ආකාසානඤ්චායතනය මෙනෙහි නොකරයි ද, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නොකරයි ද, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නොකරයි ද, නේවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නොකරයි ද, මේ ලෝකය මෙනෙහි නොකරයි ද, පරලොව මෙනෙහි නොකරයි ද, යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්‍රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එය ද ඔහු මෙනෙහි නොකරයි ද, එසේ නමුත් මෙනෙහි කිරීමෙකින් යුක්ත වැ සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැකිද?”

“ආනන්දයෙනි, භික්ෂුවකට මෙබඳු වූ සමාධියක් ලැබිය හැක්කේ ය. යම් සේ ඇස මෙනෙහි නොකරයි නම්, රූපය මෙනෙහි නොකරයි නම්, කන මෙනෙහි නොකරයි නම්, ශබ්දය මෙනෙහි නොකරයි නම්, නාසය මෙනෙහි නොකරයි නම්, ගඳසුවඳ මෙනෙහි නොකරයි නම්, දිව මෙනෙහි නොකරයි නම්, රසය මෙනෙහි නොකරයි නම්, කය මෙනෙහි නොකරයි නම්, පහස මෙනෙහි නොකරයි නම්, පඨවි ධාතුව මෙනෙහි නොකරයි නම්, ආපෝ ධාතුව මෙනෙහි නොකරයි නම්, තේජෝ ධාතුව මෙනෙහි නොකරයි නම්, වායෝ ධාතුව මෙනෙහි නොකරයි නම්, ආකාසානඤ්චායතනය මෙනෙහි නොකරයි නම්, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නොකරයි නම්, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නොකරයි නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නොකරයි නම්, මේ ලෝකය මෙනෙහි නොකරයි නම්, පරලොව මෙනෙහි නොකරයි නම්, යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්‍රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එය ද ඔහු මෙනෙහි නොකරයි නම් එසේ නමුත් මෙනෙහි කිරීමෙකින් යුක්ත වැ සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැක්කේ ය.”

“ස්වාමීනී, කෙසේ නම් භික්ෂුවකට මෙබඳු වූ සමාධියක් ලැබිය හැක්කේ ද? එනම් යම් සේ ඇස මෙනෙහි නොකරයි නම්, ….(පෙ)…. යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්‍රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එය ද ඔහු මෙනෙහි නොකරයි නම් එසේ නමුත් මෙනෙහි කිරීමෙකින් යුක්ත වැ සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැක්කේ කෙසේද?”

“ආනන්දයෙනි, මෙහිලා භික්ෂුව මෙසේ මෙනෙහි කරයි. ‘මෙම සමාධිය ශාන්ත වූ දෙයකි. මෙම සමාධිය ඉතා ප්‍රණීත දෙයකි. එනම්, සකස් වූ සියළු දෙයෙහි සංසිඳී ගිය බවෙක් ඇද්ද, යළි උපතකට හේතු වන සියල්ල දුරැලූ බවෙක් ඇද්ද, තෘෂ්ණාවෙහි නැසී ගිය බවෙක් ඇද්ද, නොඇල්මට පත් වූ බවෙක් ඇද්ද, භවය නිරුද්ධ වූ බවෙක් ඇද්ද, නිර්වාණයක් ඇද්ද, එයයි.’

ආනන්දයෙනි, භික්ෂුවකට මෙබඳු වූ සමාධියක් ලැබිය හැක්කේ ය. යම් සේ ඇස මෙනෙහි නොකරයි නම්, රූපය මෙනෙහි නොකරයි නම්, කන මෙනෙහි නොකරයි නම්, ශබ්දය මෙනෙහි නොකරයි නම්, නාසය මෙනෙහි නොකරයි නම්, ගඳසුවඳ මෙනෙහි නොකරයි නම්, දිව මෙනෙහි නොකරයි නම්, රසය මෙනෙහි නොකරයි නම්, කය මෙනෙහි නොකරයි නම්, පහස මෙනෙහි නොකරයි නම්, පඨවි ධාතුව මෙනෙහි නොකරයි නම්, ආපෝ ධාතුව මෙනෙහි නොකරයි නම්, තේජෝ ධාතුව මෙනෙහි නොකරයි නම්, වායෝ ධාතුව මෙනෙහි නොකරයි නම්, ආකාසානඤ්චායතනය මෙනෙහි නොකරයි නම්, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නොකරයි නම්, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නොකරයි නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නොකරයි නම්, මේ ලෝකය මෙනෙහි නොකරයි නම්, පරලොව මෙනෙහි නොකරයි නම්, යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්‍රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එය ද ඔහු මෙනෙහි නොකරයි නම් එසේ නමුත් මෙනෙහි කිරීමෙකින් යුක්ත වැ සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැක්කේ මේ අයුරින් ය.”

සාදු! සාදු!! සාදු!!!

මනසිකාර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_11-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M