අංගුත්තර නිකාය

ඒකාදසක නිපාතෝ

11.1.10. මෝරනිවාප සුත්තං

11.1.10. මොණරුන්ගේ අභයභූමියේදී වදාළ දෙසුම

එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර මෝර නිවාප නම් පරිබ්‍රාජක ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. “පින්වතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, තුන් ධර්මයෙකින් සමන්විත වූ භික්ෂුව අත්‍යන්තයෙන් ම නිෂ්ඨාවට පැමිණියේ වෙයි. අත්‍යන්තයෙන් ම කෙලෙස් භය රහිත වූයේ වෙයි. අත්‍යන්තයෙන් ම බඹසර ඇත්තේ වෙයි. අත්‍යන්තයෙන් ම නිවන් මගෙහි අවසානයට ගියේ වෙයි. දෙව් මිනිසුන් හට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි. ඒ කවර තුන් ධර්මයකින් ද යත්; හික්මීම අවසන් කරන ලද සීල ස්කන්ධයෙන් ද, හික්මීම අවසන් කරන ලද සමාධි ස්කන්ධයෙන් ද, හික්මීම අවසන් කරන ලද ප්‍රඥා ස්කන්ධයෙන් ද වශයෙනි. මහණෙනි, මෙම තුන් ධර්මයෙන් සමන්විත වූ භික්ෂුව අත්‍යන්තයෙන් ම නිෂ්ඨාවට පැමිණියේ වෙයි. අත්‍යන්තයෙන් ම කෙලෙස් භය රහිත වූයේ වෙයි. අත්‍යන්තයෙන් ම බඹසර ඇත්තේ වෙයි. අත්‍යන්තයෙන් ම නිවන් මගෙහි අවසානයට ගියේ වෙයි. දෙව් මිනිසුන් හට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි.

මහණෙනි, අන්‍ය වූ තුන් ධර්මයෙකින් ද සමන්විත වූ භික්ෂුව අත්‍යන්තයෙන් ම නිෂ්ඨාවට පැමිණියේ වෙයි. අත්‍යන්තයෙන් ම කෙලෙස් භය රහිත වූයේ වෙයි. අත්‍යන්තයෙන් ම බඹසර ඇත්තේ වෙයි. අත්‍යන්තයෙන් ම නිවන් මගෙහි අවසානයට ගියේ වෙයි. දෙව් මිනිසුන් හට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි. ඒ කවර තුන් ධර්මයෙකින් ද යත්; ඉර්ධි ප්‍රාතිහාර්යයෙන් ද, ආදේශනා ප්‍රාතිහාර්යයෙන් ද, අනුශාසනී ප්‍රාතිහාර්යයෙන් ද වශයෙනි. මහණෙනි, මේ තුන් ධර්මයෙන් සමන්විත වූ භික්ෂුව අත්‍යන්තයෙන් ම නිෂ්ඨාවට පැමිණියේ වෙයි. අත්‍යන්තයෙන් ම කෙලෙස් භය රහිත වූයේ වෙයි. අත්‍යන්තයෙන් ම බඹසර ඇත්තේ වෙයි. අත්‍යන්තයෙන් ම නිවන් මගෙහි අවසානයට ගියේ වෙයි. දෙව් මිනිසුන් හට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි.

මහණෙනි, අන්‍ය වූ තුන් ධර්මයෙකින් ද සමන්විත වූ භික්ෂුව අත්‍යන්තයෙන් ම නිෂ්ඨාවට පැමිණියේ වෙයි. අත්‍යන්තයෙන් ම කෙලෙස් භය රහිත වූයේ වෙයි. අත්‍යන්තයෙන් ම බඹසර ඇත්තේ වෙයි. අත්‍යන්තයෙන් ම නිවන් මගෙහි අවසානයට ගියේ වෙයි. දෙව් මිනිසුන් හට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි. ඒ කවර තුන් ධර්මයෙකින් ද යත්; නිවැරදි දෘෂ්ටියෙන් ද, නිවැරදි ඥානයෙන් ද, නිවැරදි විමුක්තියෙන් ද වශයෙනි. මහණෙනි, මේ තුන් ධර්මයෙන් සමන්විත වූ භික්ෂුව අත්‍යන්තයෙන් ම නිෂ්ඨාවට පැමිණියේ වෙයි. අත්‍යන්තයෙන් ම කෙලෙස් භය රහිත වූයේ වෙයි. අත්‍යන්තයෙන් ම බඹසර ඇත්තේ වෙයි. අත්‍යන්තයෙන් ම නිවන් මගෙහි අවසානයට ගියේ වෙයි. දෙව් මිනිසුන් හට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි.

මහණෙනි, ධර්ම දෙකකින් සමන්විත වූ භික්ෂුව අත්‍යන්තයෙන් ම නිෂ්ඨාවට පැමිණියේ වෙයි. අත්‍යන්තයෙන් ම කෙලෙස් භය රහිත වූයේ වෙයි. අත්‍යන්තයෙන් ම බඹසර ඇත්තේ වෙයි. අත්‍යන්තයෙන් ම නිවන් මගෙහි අවසානයට ගියේ වෙයි. දෙව් මිනිසුන් හට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි. ඒ කවර ධර්ම දෙකකින් ද යත්; විද්‍යාවෙන් ද, චරණයෙන් ද වශයෙනි. මහණෙනි, මේ ධර්ම දෙකෙන් සමන්විත වූ භික්ෂුව අත්‍යන්තයෙන් ම නිෂ්ඨාවට පැමිණියේ වෙයි. අත්‍යන්තයෙන් ම කෙලෙස් භය රහිත වූයේ වෙයි. අත්‍යන්තයෙන් ම බඹසර ඇත්තේ වෙයි. අත්‍යන්තයෙන් ම නිවන් මගෙහි අවසානයට ගියේ වෙයි. දෙව් මිනිසුන් හට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි.

මහණෙනි, සනංකුමාර බ්‍රහ්ම රාජයා විසින් ද, මෙම ගාථාව පවසන ලද්දේ ය.

“යමෙක් උපන් ගෝත්‍ර අනුසාරයෙන් විමසා බලත් නම්, මහජනයා අතර ක්ෂත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨ වෙයි. යමෙක් විiාවෙන් හා චරණයෙන් යුක්ත වූයේ වෙයි ද, ඒ ක්ෂීණාශ්‍රව තෙමේ දෙව් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වෙයි”යි යනුවෙනි.

මහණෙනි, සනංකුමාර බ්‍රහ්මරාජයා විසින් ඒ ගාථා තොමෝ මැනැවින් පවසන ලද්දී ය. නොමැනැවින් නොවේ. සුභාෂිතයක් ම ය. දුර්භාෂිතයක් නොවේ. අර්ථ සහිත වූ දෙයකි. අනර්ථ සහිත වූවක් නොවේ. මවිසින් ද එය අනුමත කරන ලද්දේ ය. මහණෙනි, මම් ද මේ අයුරින් පවසමි.

“යමෙක් උපන් ගෝත්‍ර අනුසාරයෙන් විමසා බලත් නම්, මහජනයා අතර ක්ෂත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨ වෙයි. යමෙක් විiාවෙන් හා චරණයෙන් යුක්ත වූයේ වෙයි ද, ඒ ක්ෂීණාශ්‍රව තෙමේ දෙව් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වෙයි”යි යනුවෙනි.

සාදු! සාදු!! සාදු!!!

මෝරනිවාප සූත්‍රය නිමා විය.

පළමුවෙනි නිස්සය වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

කිමත්ථිය සූත්‍රය ය, චේතනා සූත්‍රය ය, උපනිස සූත්‍ර තුන ය, ව්‍යසන සූත්‍රය ය, සඤ්ඤා සූත්‍රය ය, මනසිකාර සූත්‍රය ය, සන්ධ සූත්‍රය ය සහ මෝරනිවාප සූත්‍රය ය වශයෙන් මෙහි සූත්‍ර දශයෙකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_11-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M