අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.5.1.9. කරජකාය සුත්තං

10.5.1.9. කරජකාය ගැන වදාළ දෙසුම

“මහණෙනි, මම දැන දැන කරන ලද, රැස්කරන ලද කර්මයන්ගේ විපාක නොවිඳ එය නැති වී යන බවක් නොකියමි. ඒ විපාකය වනාහී මේ ජීවිතයේදී හෝ ඊළඟ ජීවිතයේදී හෝ අනාගත සසරෙහි කිනම් අවස්ථාවක හෝ විපාක දෙන්නේ ය. මහණෙනි, මම දැන දැන කරන ලද, රැස්කරන ලද කර්මයන්ගේ විපාක නොවිඳ දුක අවසන් කිරීමක් ගැන නොකියමි.

මහණෙනි, ඒ මේ ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ පහ වූ ලෝභයෙන් යුතුව, පහ වූ ද්වේෂයෙන් යුතුව, නොමුළා සිහි ඇතිව, මනා නුවණින් යුතුව, එළඹසිටි සිහි ඇතිව, මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. දෙවන දිශාව ද එසේ ය. තුන්වෙනි දිශාව ද එසේ ය. සිව්වන දිශාව ද එසේ ය. මෙසේ උඩ යට සරස සෑම තැනක් කෙරෙහි ම, සෑම තැනකට ම එක අයුරින්, සියළු ලොවට විපුල වූ, මහග්ගත වූ, අප්පමාණ වූ, අවෛරී වූ, අව්‍යාපාද වූ, මෛත්‍රී සහගත සිතින් පතුරුවා වසයි.

ඔහු මෙසේ දැනගනියි. ‘කලින් මෙත් සිත දියුණු නොකළ මාගේ මේ සිත පටු වූයේ ය. එනමුදු දැන් වනාහී මෙත් සිත මැනැවින් දියුණු කළ මාගේ මේ සිත ප්‍රමාණ රහිත ය. යම්කිසි කර්මයක් මා විසින් ප්‍රමාණ කොට කරන ලද්දේ ද, එය මේ අප්‍රමාණ මෙත් සිත තුළ ඉතිරි නොවන්නේ ය. එය එහි නොසිටින්නේ ය’ යනුවෙනි.

මහණෙනි, මේ ගැන කුමක් සිතව් ද? ළදරු අවධියේ සිට ඉදින් මේ දරු තෙමේ මෛත්‍රී චිත්ත විමුක්තිය දියුණු කරන්නේ නම්, ඔහු පව්කමක් කරන්නේ ද?” “ස්වාමීනී, එය නොවේ ම ය.”

“පව්කමක් නොකරන කල්හී දුක් විපාක ස්පර්ශ කරන්නේ ද?” “ස්වාමීනී, එය නොවන්නේ ම ය. ස්වාමීනී, පව් නොකරන කල්හී කෙසේ නම් දුක් විපාක ස්පර්ශ කරන්නේ ද?”

“මහණෙනි, මේ මෛත්‍රී චිත්ත විමුක්තිය ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා දියුණු කරගත යුතු ම ය. මහණෙනි, ස්ත්‍රියකගේ වේවා, පුරුෂයෙකුගේ වේවා මේ කය පරලොව ගෙන යා නොහැක්කේ ම ය. මහණෙනි, මේ මනුෂ්‍යයා චිත්තක්ෂණයක පැවැත්මක් ඇත්තෙකි. ඔහු මෙසේ දන්නේ ය. ‘මවිසින් මෙහි කලින් මේ කරජකයෙන් යම් කිසි පාප කර්මයක් කරන ලද්දේ ද, ඒ සියල්ල මෙහි වින්ද යුත්තේ ය. එය අනුව යන්නක් නොවන්නේ ය’ යනුවෙනි. මහණෙනි, මෙසේ දියුණු කරන ලද මෛත්‍රී චිත්ත විමුක්තිය මෙහි නැණවත් භික්ෂුවකට මත්තෙහි අරහත්වය සාක්ෂාත් කරගත නොහැකි වුවහොත් අනාගාමී බව පිණිස පවතින්නේ ය.

කරුණා සහගත සිතින් ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපෙක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. දෙවන දිශාව ද එසේ ය. තුන්වෙනි දිශාව ද එසේ ය. සිව්වන දිශාව ද එසේ ය. මෙසේ උඩ යට සරස සෑම තැනක් කෙරෙහි ම, සෑම තැනකට ම එක අයුරින්, සියළු ලොවට විපුල වූ, මහග්ගත වූ, අප්පමාණ වූ, අවෛරී වූ, අව්‍යාපාද වූ, උපේක්ෂා සහගත සිතින් පතුරුවා වසයි.

ඔහු මෙසේ දැනගනියි. ‘කලින් උපේක්ෂා සිත දියුණු නොකළ මාගේ මේ සිත පටු වූයේ ය. එනමුදු දැන් වනාහී උපේක්ෂා සිත මැනැවින් දියුණු කළ මාගේ මේ සිත ප්‍රමාණ රහිත ය. යම්කිසි කර්මයක් මා විසින් ප්‍රමාණ කොට කරන ලද්දේ ද, එය මේ අප්‍රමාණ උපේක්ෂා සිත තුළ ඉතිරි නොවන්නේ ය. එය එහි නොසිටින්නේ ය’ යනුවෙනි.

මහණෙනි, මේ ගැන කුමක් සිතව් ද? ළදරු අවධියේ සිට ඉදින් මේ දරු තෙමේ උපේක්ෂා චිත්ත විමුක්තිය දියුණු කරන්නේ නම්, ඔහු පව්කමක් කරන්නේ ද?” “ස්වාමීනී, එය නොවේ ම ය.”

“පව්කමක් නොකරන කල්හී දුක් විපාක ස්පර්ශ කරන්නේ ද?” “ස්වාමීනී, එය නොවන්නේ ම ය. ස්වාමීනී, පව් නොකරන කල්හී කෙසේ නම් දුක් විපාක ස්පර්ශ කරන්නේ ද?”

“මහණෙනි, මේ උපේක්ෂා චිත්ත විමුක්තිය ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා දියුණු කරගත යුතු ම ය. මහණෙනි, ස්ත්‍රියකගේ වේවා, පුරුෂයෙකුගේ වේවා මේ කය පරලොව ගෙන යා නොහැක්කේ ම ය. මහණෙනි, මේ මනුෂ්‍යයා චිත්තක්ෂණයක පැවැත්මක් ඇත්තෙකි. ඔහු මෙසේ දන්නේ ය. ‘මවිසින් මෙහි කලින් මේ කරජකයෙන් යම් කිසි පාප කර්මයක් කරන ලද්දේ ද, ඒ සියල්ල මෙහි වින්ද යුත්තේ ය. එය අනුව යන්නක් නොවන්නේ ය’ යනුවෙනි. මහණෙනි, මෙසේ දියුණු කරන ලද උපේක්ෂා චිත්ත විමුක්තිය මෙහි නැණවත් භික්ෂුවකට මත්තෙහි අරහත්වය සාක්ෂාත් කරගත නොහැකි වුවහොත් අනාගාමී බව පිණිස පවතින්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

කරජකාය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-5-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M