අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.5.1.10. අධම්මචරිය සුත්තං

10.5.1.10. අධර්මචරියාව ගැන වදාළ දෙසුම

එකල්හී එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු විය යුතු පිළිසඳර කථාව නිමවා එකත්පස්ව හිඳගත්තේ ය. එකත්පස්ව හුන් ඒ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“භවත් ගෞතමයෙනි, යම් කරුණෙකින් මෙහි ඇතැම් සත්වයෝ කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නිරයෙහි උපදින්නාහු නම් එයට හේතුව කුමක්ද? එයට ප්‍රත්‍යය කුමක්ද?”

“බ්‍රාහ්මණය, අධර්මචරියාව විෂමචරියාව හේතුවෙන් මෙසේ මෙහි ඇතැම් සත්වයෝ කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නිරයෙහි උපදින්නාහු ය.”

“භවත් ගෞතමයෙනි, යම් කරුණෙකින් මෙහි මෙසේ ඇතැම් සත්වයෝ කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ ස්වර්ග ලෝකයෙහි උපදින්නාහු නම් එයට හේතුව කුමක්ද? එයට ප්‍රත්‍යය කුමක්ද?”

“බ්‍රාහ්මණය, ධර්මචරියාව සමචරියාව හේතුවෙන් මෙහි ඇතැම් සත්වයෝ කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ ස්වර්ග ලෝකයෙහි උපදින්නාහු ය.”

“භවත් ගෞතමයන් වහන්සේ විසින් සැකෙවින් දෙසූ මේ ධර්මයෙහි අර්ථ විස්තර වශයෙන් මම නොදනිමි. යම් අයුරකින් මම් භවත් ගෞතමයන් විසින් සැකෙවින් දෙසූ මෙම ධර්මයෙහි විස්තරාර්ථ දැනගන්නෙම් නම් ඒ අයුරින් භවත් ගෞතමයන් වහන්සේ මට ධර්මය දේශනා කරන සේක්වා!”

“එසේ වී නම් බ්‍රාහ්මණය, අසව. මැනැවින් මෙනෙහි කරව. පවසන්නෙමි.”

“එසේය, භවත්නි”යි ඒ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“බ්‍රාහ්මණය, කය මුල්කොට තුන් අයුරකින් අධර්මචරියාව, විෂමචරියාව වෙයි. වචනය මුල්කොට සිව් අයුරකින් අධර්මචරියාව, විෂමචරියාව වෙයි. මනස මුල්කොට තුන් අයුරකින් අධර්මචරියාව, විෂමචරියාව වෙයි.

බ්‍රාහ්මණය, කය මුල්කොට අධර්මචරියාව, විෂමචරියාව තුන් අයුරකින් වන්නේ කෙසේද? ….(පෙ)…. බ්‍රාහ්මණය, කය මුල්කොට අධර්මචරියාව, විෂමචරියාව තුන් අයුරකින් වන්නේ ඔය අයුරිනි.

බ්‍රාහ්මණය, වචනය මුල්කොට අධර්මචරියාව, විෂමචරියාව සිව් අයුරකින් වන්නේ කෙසේද? ….(පෙ)…. බ්‍රාහ්මණය, වචනය මුල්කොට අධර්මචරියාව, විෂමචරියාව සිව් අයුරකින් වන්නේ ඔය අයුරිනි.

බ්‍රාහ්මණය, මනස මුල්කොට අධර්මචරියාව, විෂමචරියාව තුන් අයුරකින් වන්නේ කෙසේද? ….(පෙ)…. බ්‍රාහ්මණය, මනස මුල්කොට අධර්මචරියාව, විෂමචරියාව තුන් අයුරකින් වන්නේ ඔය අයුරිනි.

බ්‍රාහ්මණය, මේ අයුරින් අධර්මචරියාව, විෂමචරියාව හේතුවෙන් මෙසේ මෙහි ඇතැම් සත්වයෝ කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නිරයෙහි උපදින්නාහු ය.

බ්‍රාහ්මණය, කය මුල්කොට තුන් අයුරකින් ධර්මචරියාව, සමචරියාව වෙයි. වචනය මුල්කොට සිව් අයුරකින් ධර්මචරියාව, සමචරියාව වෙයි. මනස මුල්කොට තුන් අයුරකින් ධර්මචරියාව, සමචරියාව වෙයි.

බ්‍රාහ්මණය, කය මුල්කොට ධර්මචරියාව, සමචරියාව තුන් අයුරකින් වන්නේ කෙසේද? ….(පෙ)…. බ්‍රාහ්මණය, කය මුල්කොට ධර්මචරියාව, සමචරියාව තුන් අයුරකින් වන්නේ ඔය අයුරිනි.

බ්‍රාහ්මණය, වචනය මුල්කොට ධර්මචරියාව, සමචරියාව සිව් අයුරකින් වන්නේ කෙසේද? ….(පෙ)…. බ්‍රාහ්මණය, වචනය මුල්කොට ධර්මචරියාව, සමචරියාව සිව් අයුරකින් වන්නේ ඔය අයුරිනි.

බ්‍රාහ්මණය, මනස මුල්කොට ධර්මචරියාව, සමචරියාව තුන් අයුරකින් වන්නේ කෙසේද? ….(පෙ)…. බ්‍රාහ්මණය, මනස මුල්කොට ධර්මචරියාව, සමචරියාව තුන් අයුරකින් වන්නේ ඔය අයුරිනි.

බ්‍රාහ්මණය, මේ අයුරින් ධර්මචරියාව, සමචරියාව හේතුවෙන් මෙසේ මෙහි ඇතැම් සත්වයෝ කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ ස්වර්ග ලෝකයෙහි උපදින්නාහු ය.”

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය ….(පෙ)…. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

අධම්මචරිය සූත්‍රය නිමා විය.

පළමුවෙනි කරජකාය වර්ගය අවසන් විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-5-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M