අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.5.1.8. දුතිය සංචේතනික සුත්තං

10.5.1.8. දැන දැන කරන කර්මය ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, මම දැන දැන කරන ලද, රැස්කරන ලද කර්මයන්ගේ විපාක නොවිඳ එය නැති වී යන බවක් නොකියමි. ඒ විපාකය වනාහී මේ ජීවිතයේදී හෝ ඊළඟ ජීවිතයේදී හෝ අනාගත සසරෙහි කිනම් අවස්ථාවක හෝ විපාක දෙන්නේ ය. මහණෙනි, මම දැන දැන කරන ලද, රැස්කරන ලද කර්මයන්ගේ විපාක නොවිඳ දුක අවසන් කිරීමක් ගැන නොකියමි.

මහණෙනි, එහිලා අකුසල් චේතනා පහළ කොට දුක් උපදවන, දුක් විපාක දෙන, තුන් ආකාර වූ කායික ක්‍රියා දෝෂයක් ඇත්තේ ය. අකුසල් චේතනා පහළ කොට දුක් උපදවන, දුක් විපාක දෙන, සිව් ආකාර වූ වාචසික ක්‍රියා දෝෂයක් ඇත්තේ ය. අකුසල් චේතනා පහළ කොට දුක් උපදවන, දුක් විපාක දෙන, තුන් ආකාර වූ මානසික ක්‍රියා දෝෂයක් ඇත්තේ ය.

මහණෙනි, අකුසල් චේතනා පහළ කොට දුක් උපදවන, දුක් විපාක දෙන, තුන් ආකාර කායික ක්‍රියා දෝෂය ඇති වන්නේ කෙසේද? ….(පෙ)…. මහණෙනි, අකුසල් චේතනා පහළ කොට දුක් උපදවන, දුක් විපාක දෙන, තුන් ආකාර කායික ක්‍රියා දෝෂය ඇති වන්නේ මේ අයුරිනි.

මහණෙනි, අකුසල් චේතනා පහළ කොට දුක් උපදවන, දුක් විපාක දෙන, සිව් ආකාර වාචසික ක්‍රියා දෝෂය ඇති වන්නේ කෙසේද? ….(පෙ)…. මහණෙනි, අකුසල් චේතනා පහළ කොට දුක් උපදවන, දුක් විපාක දෙන, සිව් ආකාර වූ වාචසික ක්‍රියා දෝෂය ඇති වන්නේ මේ අයුරිනි.

මහණෙනි, අකුසල් චේතනා පහළ කොට දුක් උපදවන, දුක් විපාක දෙන, තුන් ආකාර වූ මානසික ක්‍රියා දෝෂය ඇති වන්නේ කෙසේද? ….(පෙ)…. මහණෙනි, අකුසල් චේතනා පහළ කොට දුක් උපදවන, දුක් විපාක දෙන, තුන් ආකාර වූ මානසික ක්‍රියා දෝෂය ඇති වන්නේ මේ අයුරිනි.

මහණෙනි, තුන් ආකාරයෙන් යුතු කායික ක්‍රියා දෝෂයන් ලබාදෙන අකුසල් චේතනා හේතුවෙන් සත්වයෝ කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපදින්නාහ. මහණෙනි, සිව් ආකාරයෙන් යුතු වාචසික ක්‍රියා ….(පෙ)…. මහණෙනි, තුන් ආකාරයෙන් යුතු මානසික ක්‍රියා දෝෂයන් ලබාදෙන අකුසල් චේතනා හේතුවෙන් සත්වයෝ කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපදින්නාහ.

මහණෙනි, මම දැන දැන කරන ලද, රැස්කරන ලද කර්මයන්ගේ විපාක නොවිඳ එය නැති වී යන බවක් නොකියමි. ඒ විපාකය වනාහී මේ ජීවිතයේදී හෝ ඊළඟ ජීවිතයේදී හෝ අනාගත සසරෙහි කිනම් අවස්ථාවක හෝ විපාක දෙන්නේ ය. මහණෙනි, මම දැන දැන කරන ලද, රැස්කරන ලද කර්මයන්ගේ විපාක නොවිඳ එහි විපාක දුක අවසන් කිරීමක් ගැන නොකියමි.

මහණෙනි, එහිලා කුසල් චේතනා පහළ කොට සැප උපදවන, සැප විපාක දෙන, තුන් ආකාර කායික ක්‍රියා සම්පතක් ඇත්තේ ය. කුසල් චේතනා පහළ කොට සැප උපදවන, සැප විපාක දෙන, සිව් ආකාර වාචසික ක්‍රියා සම්පතක් ඇත්තේ ය. කුසල් චේතනා පහළ කොට සැප උපදවන, සැප විපාක දෙන, තුන් ආකාර මානසික ක්‍රියා සම්පතක් ඇත්තේ ය.

මහණෙනි, කුසල් චේතනා පහළ කොට සැප උපදවන, සැප විපාක දෙන, තුන් ආකාර කායික ක්‍රියා සම්පතක් ඇත්තේ කෙසේද? ….(පෙ)…. මහණෙනි, කුසල් චේතනා පහළ කොට සැප උපදවන, සැප විපාක දෙන, තුන් ආකාර කායික ක්‍රියා සම්පතක් ඇත්තේ මේ අයුරිනි.

මහණෙනි, කුසල් චේතනා පහළ කොට සැප උපදවන, සැප විපාක දෙන, සිව් ආකාර වාචසික ක්‍රියා සම්පතක් ඇත්තේ කෙසේද? ….(පෙ)…. මහණෙනි, කුසල් චේතනා පහළ කොට සැප උපදවන, සැප විපාක දෙන, සිව් ආකාර වාචසික ක්‍රියා සම්පතක් ඇත්තේ මේ අයුරිනි.

මහණෙනි, කුසල් චේතනා පහළ කොට සැප උපදවන, සැප විපාක දෙන, තුන් ආකාර මානසික ක්‍රියා සම්පතක් ඇත්තේ කෙසේද? ….(පෙ)…. මහණෙනි, කුසල් චේතනා පහළ කොට සැප උපදවන, සැප විපාක දෙන, තුන් ආකාර මානසික ක්‍රියා සම්පතක් ඇත්තේ මේ අයුරිනි.

මහණෙනි, තුන් ආකාරයෙන් යුතු කායික ක්‍රියා සම්පත්තිය ලබා දෙන කුසල් චේතනා හේතුවෙන් සත්වයෝ මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගයෙහි උපදින්නාහ. මහණෙනි, සිව් ආකාරයෙන් යුතු වාචසික ක්‍රියා ….(පෙ)…. තුන් ආකාරයෙන් යුතු මානසික ක්‍රියා සම්පත්තිය ලබා දෙන කුසල් චේතනා හේතුවෙන් සත්වයෝ මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගයෙහි උපදින්නාහ.

මහණෙනි, මම දැන දැන කරන ලද, රැස්කරන ලද කර්මයන්ගේ විපාක නොවිඳ එය නැති වී යන බවක් නොකියමි. ඒ විපාකය වනාහී මේ ජීවිතයේදී හෝ ඊළඟ ජීවිතයේදී හෝ අනාගත සසරෙහි කිනම් අවස්ථාවක හෝ විපාක දෙන්නේ ය. මහණෙනි, මම දැන දැන කරන ලද, රැස්කරන ලද කර්මයන්ගේ විපාක නොවිඳ දුක අවසන් කිරීමක් ගැන නොකියමි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය සඤ්චේතනික සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-5-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M