අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.5.1.2. දුතිය නිරය සුත්තං

10.5.1.2. නිරය ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, දස කරුණකින් සමන්විත තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදියි. ඒ කවර කරුණු දසයකින් ද යත්;

මහණෙනි, මෙහිලා ඇතැමෙක් සතුන් මරන්නේ වෙයි. හේ රෞද්‍ර ය. ලේ වැකුණු අත් ඇත්තේ ය. වැනසීම්, පැහැර ගැනීම් වලින් යුක්ත වූයේ ය. සියළු ප්‍රාණභූතයන් කෙරෙහි දයා නැත්තේ ය. සොරකම් කරන්නේ වෙයි. ….(පෙ)…. වැරදි කාම සේවනයෙන් යුතු වූයේ වෙයි. ….(පෙ)…. බොරු කියන්නේ වෙයි. ….(පෙ)…. කේළාම් කියන්නෙක් වෙයි. ….(පෙ)…. දරුණු වචන කියන්නේ වෙයි. ….(පෙ)…. නිසරු දේ කියන්නේ වෙයි. ….(පෙ)…. අන්සතු දෙයට ආසා කරයි. ….(පෙ)…. ද්වේෂ සිතින් යුතු වූයේ වෙයි. ….(පෙ)…. වැරදි දෘෂ්ටියක් ගත්තේ වෙයි. විපරීත දැක්මකින් යුතු වූයේ වෙයි. ‘දෙන ලද්දෙහි විපාක නැත්තේ ය. පුදන ලද්දෙහි විපාක නැත්තේ ය. සේවායෙහි විපාක නැත්තේ ය. හොඳ නරක කර්මයන්ගේ විපාක නැත්තේ ය. මෙලොවක් නැත්තේ ය. පරලොවක් නැත්තේ ය. මවක් නැත්තේ ය. පියෙක් නැත්තේ ය. ඕපපාතික සත්වයෝ නැත්තාහ. ලොවෙහි නිවැරදි මගට පිළිපන්, නිවැරදි මගෙහි ගිය මෙලොව පරලොව පිළිබඳ සිය විශිෂ්ට ඥානයෙන් අත්දැක යමක් පවසත් නම්, එබඳු වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැත්තාහු යැ’යි. මෙබඳු දෙයක් සිතට ගත්තේ වෙයි.

මහණෙනි, මෙම දස කරුණෙන් සමන්විත තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදියි.

මහණෙනි, දස කරුණකින් සමන්විත තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම සුගතියෙහි උපදියි. ඒ කවර කරුණු දසයකින් ද යත්;

මහණෙනි, මෙහිලා ඇතැමෙක් සතුන් මැරීම අත්හැර සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. දඬු මුගුරු අත්හැරියේ වෙයි. අවි ආයුධ අත්හැරියේ වෙයි. ලැජ්ජාවෙන් යුතු වෙයි. දයාවෙන් යුතුවෙයි. සියළු සත්ව වර්ගයා කෙරෙහි හිතානුකම්පී ව වාසය කරයි. ….(පෙ)…. සොරකම අත්හැර සොරකමින් වැළකුණේ වෙයි. ….(පෙ)…. වැරදි කාම සේවනය අත්හැර, වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි. ….(පෙ)…. බොරු කීම අත්හැර, බොරු කීමෙන් වැළකුණේ වෙයි. ….(පෙ)…. කේළාම් කීම අත්හැර, කේළාම් කීමෙන් වැළකුණේ වෙයි. ….(පෙ)…. දරුණු වචන අත්හැර, දරුණු වචනයෙන් වැළකුණේ වෙයි. ….(පෙ)…. නිසරු දේ කීම අත්හැර නිසරු දේ පැවසීමෙන් වැළකුණේ වෙයි. ….(පෙ)…. අන්සතු දෙයට ආසා නොකරයි. ….(පෙ)…. ද්වේෂ නැති සිතින් යුතු වූයේ වෙයි. ….(පෙ)…. නිවැරදි දෘෂ්ටියක් ගත්තේ වෙයි. අවිපරීත දැක්මකින් යුතු වූයේ වෙයි. ‘දෙන ලද්දෙහි විපාක ඇත්තේ ය. පුදන ලද්දෙහි විපාක ඇත්තේ ය. සේවායෙහි විපාක ඇත්තේ ය. හොඳ නරක කර්මයන්ගේ විපාක ඇත්තේ ය. මෙලොවක් ඇත්තේ ය. පරලොවක් ඇත්තේ ය. මවක් ඇත්තේ ය. පියෙක් ඇත්තේ ය. ඕපපාතික සත්වයෝ ඇත්තාහ. ලොවෙහි නිවැරදි මගට පිළිපන්, නිවැරදි මගෙහි ගිය මෙලොව පරලොව පිළිබඳ සිය විශිෂ්ට ඥානයෙන් අත්දැක යමක් පවසත් නම්, එබඳු වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහු යැ’යි. මෙබඳු දෙයක් සිතට ගත්තේ වෙයි.

මහණෙනි, මෙම දස කරුණෙන් සමන්විත තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම සුගතියෙහි උපදියි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය නිරය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-5-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M