අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.5.1.1. පඨම නිරය සුත්තං

10.5.1.1. නිරය ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය ……

මහණෙනි, දස කරුණකින් සමන්විත තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදියි. ඒ කවර කරුණු දසයකින් ද යත්;

1. මහණෙනි, මෙහිලා ඇතැමෙක් සතුන් මරන්නේ වෙයි. හේ රෞද්‍ර ය. ලේ වැකුණු අත් ඇත්තේ ය. වැනසීම්, පැහැර ගැනීම් වලින් යුක්ත වූයේ ය. සියළු ප්‍රාණභූතයන් කෙරෙහි දයා නැත්තේ ය.

2. සොරකම් කරන්නේ වෙයි. ගමෙහි වේවා, වනයෙහි වේවා, අන් අය සතු යම් වස්තු උපකරණ ආදියක් ඇද්ද, ඒ නුදුන් දේ සොර සිතින් පැහැර ගන්නේ වෙයි.

3. වැරදි කාම සේවනයෙන් යුතු වූයේ වෙයි. එනම් මව විසින් රකිනු ලබන, පියා විසින් රකිනු ලබන, මා පියන් විසින් රකිනු ලබන, සොයුරා විසින් රකිනු ලබන, සොයුරිය විසින් රකිනු ලබන, නෑයා විසින් රකිනු ලබන, ග්‍රෝතය විසින් රකිනු ලබන, ගුණධර්ම විසින් රකිනු ලබන, යම් ස්ත්‍රීහු සිටිත් ද, එමෙන් ම ස්වාමියා සහිත වූ, විවාහය පිණිස යටත් පිරිසෙයින් මල් මාලයකින් හෝ අවුරන ලද යම් ස්ත්‍රීහු වෙත් ද, එබඳු වූ ස්ත්‍රීන් කෙරෙහි වරදෙහි බැඳෙන්නේ වෙයි.

4. බොරු කියන්නේ වෙයි. සභාවකට ගියේ වේවා, පිරිසක් මැදට ගියේ වේවා, නෑයන් මැදට ගියේ වේවා, ජන සමූහයක් මැදට ගියේ වේවා, රජය මැදට ගියේ වේවා, ඔහු ඉදිරියට කැඳවා සාක්ෂි විමසන්නේ නම් ‘එම්බා පුරුෂය, මෙහි එව. යමක් දන්නෙහි නම් එය පවසව’යි. එවිට හේ නොදන්නේ ම ‘දනිමි’ යි කියන්නේ ය. දන්නේ ම ‘නොදනිමි’ යි කියන්නේ ය. නුදුටුවේ ම ‘දකිමි’ යි කියන්නේ ය. දුටුවේ ම ‘නොදකිමි’ යි කියන්නේ ය. මෙසේ තමා උදෙසා හෝ අනුන් උදෙසා හෝ කිසියම් ලාභයක් උදෙසා හෝ දැන දැන බොරු කියන්නේ වෙයි.

5. කේළාම් කියන්නෙක් වෙයි. මෙතන සිටින්නවුන් බිඳවීම පිණිස මෙතනින් අසා ගොස් අසවල් තැන කියන්නේ වෙයි. ඔවුන් බිඳවීම පිණිස එතනින් අසා විත් මෙතන කියන්නේ වෙයි. මෙසේ සමඟි වූවන් බිඳින්නේ වෙයි. අසමඟි වූවන්ගේ අසමඟිය වැඩි කරන්නේ වෙයි. පිරිස වෙන් කිරීමෙහි ඇළුණේ වෙයි. පිරිස වෙන් කිරීමෙහි යෙදුණේ වෙයි. පිරිස වෙන් කිරීමෙහි සතුටු වන්නේ වෙයි. එබඳු බස් පවසන්නේ වෙයි.

6. දරුණු වචන කියන්නේ වෙයි. යම් වචනයක් දරුණු වෙයි ද, කර්කශ වෙයි ද, කටුක වෙයි ද, අනුන් කිපෙනසුළු වෙයි ද, ක්‍රෝධය ඇති කරන්නේ වෙයි ද, සිතේ සංසිඳීම නැති කරන්නේ වෙයි ද, එබඳු වූ බස් කියන්නේ වෙයි.

7. නිසරු දේ කියන්නේ වෙයි. කාලානුරූප නොවන දේ කියන්නේ වෙයි. අසත්‍ය කියන්නේ වෙයි. අයහපත් දේ කියන්නේ වෙයි. අධර්මය කියන්නේ වෙයි. හික්මීම නැතිවෙන දේ කියන්නේ වෙයි. මතක තබා ගැනීමට නුසුදුසු දේ කියෙන්නේ වෙයි. මෙසේ නොකල්හී හේතු රහිත ව සීමා රහිත ව අයහපත් වචන කියන්නේ වෙයි.

8. අන්සතු දෙයට ආසා කරයි. අනුන්ගේ ඒ අන්සතු යම් වස්තු උපකරණ ආදියක් ඇද්ද, ඒ කෙරෙහි ගිජු වූයේ වෙයි. ‘අහෝ! සැබැවින් ම ඔවුන් අයත් දෙය මා සතු වේවා’ යි සිතන්නේ වෙයි.

9. ද්වේෂ සිතින් යුතු වූයේ වෙයි. දූෂිත වූ සිතුවිලි ඇත්තේ වෙයි. ‘මේ සත්වයෝ වැනසෙත්වා! සිරගත වෙත්වා! මුළින් ම නැසෙත්වා! විනාශයට පත්වෙත්වා! නොවෙත්වා! යි මෙසේ සිතන්නේ වෙයි.

10. වැරදි දෘෂ්ටියක් ගත්තේ වෙයි. විපරීත දැක්මකින් යුතු වූයේ වෙයි. ‘දෙන ලද්දෙහි විපාක නැත්තේ ය. පුදන ලද්දෙහි විපාක නැත්තේ ය. සේවායෙහි විපාක නැත්තේ ය. හොඳ නරක කර්මයන්ගේ විපාක නැත්තේ ය. මෙලොවක් නැත්තේ ය. පරලොවක් නැත්තේ ය. මවක් නැත්තේ ය. පියෙක් නැත්තේ ය. ඕපපාතික සත්වයෝ නැත්තාහ. ලොවෙහි නිවැරදි මගට පිළිපන්, නිවැරදි මගෙහි ගිය මෙලොව පරලොව පිළිබඳ සිය විශිෂ්ට ඥානයෙන් අත්දැක යමක් පවසත් නම්, එබඳු වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැත්තාහු යැ’යි. මෙබඳු දෙයක් සිතට ගත්තේ වෙයි.

මහණෙනි, මෙම දස කරුණෙන් සමන්විත තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදියි.

මහණෙනි, මෙම දස කරුණෙකින් සමන්විත තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම සුගතියෙහි උපදියි. ඒ කවර කරුණු දසයකින් ද යත්;

1. මහණෙනි, මෙහිලා ඇතැමෙක් සතුන් මැරීම අත්හැර සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. දඬු මුගුරු අත්හැරියේ වෙයි. අවි ආයුධ අත්හැරියේ වෙයි. ලැජ්ජාවෙන් යුතු වෙයි. දයාවෙන් යුතුවෙයි. සියළු සත්ව වර්ගයා කෙරෙහි හිතානුකම්පී ව වාසය කරයි.

2. සොරකම අත්හැර සොරකමින් වැළකුණේ වෙයි. ගමෙහි වේවා, වනයෙහි වේවා, අන් අය සතු යම් වස්තු උපකරණ ආදියක් ඇද්ද, ඒ නුදුන් දේ සොර සිතින් පැහැර නොගන්නේ වෙයි.

3. වැරදි කාමසේවනය අත්හැර වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි. එනම් මව විසින් රකිනු ලබන, පියා විසින් රකිනු ලබන, මා පියන් විසින් රකිනු ලබන, සොයුරා විසින් රකිනු ලබන, සොයුරිය විසින් රකිනු ලබන, ග්‍රෝතය විසින් රකිනු ලබන, නෑයා විසින් රකිනු ලබන, ගුණධර්ම විසින් රකිනු ලබන, යම් ස්ත්‍රීහු සිටිත් ද, එමෙන් ම ස්වාමියා සහිත වූ, විවාහය පිණිස යටත් පිරිසෙයින් මල් මාලයකින් හෝ අවුරන ලද යම් ස්ත්‍රීහු වෙත් ද, එබඳු වූ ස්ත්‍රීන් කෙරෙහි වරදෙහි නොබැඳෙන්නේ වෙයි.

4. බොරු කීම අත්හැර, බොරු කීමෙන් වැළකුණේ වෙයි. සභාවකට ගියේ වේවා, පිරිසක් මැදට ගියේ වේවා, නෑයන් මැදට ගියේ වේවා, ජන සමූහයක් මැදට ගියේ වේවා, රජය මැදට ගියේ වේවා, ඔහු ඉදිරියට කැඳවා සාක්ෂි විමසන්නේ නම් ‘එම්බා පුරුෂය, මෙහි එව. යමක් දන්නෙහි නම් එය පවසව’යි. එවිට හේ නොදන්නේ ම ‘නොදනිමි’ යි කියන්නේ ය. දන්නේ ම ‘දනිමි’ යි කියන්නේ ය. නුදුටුවේ ම ‘නොදකිමි’ යි කියන්නේ ය. දුටුවේ ම ‘දකිමි’ යි කියන්නේ ය. මෙසේ තමා උදෙසා හෝ අනුන් උදෙසා හෝ කිසියම් ලාභයක් උදෙසා හෝ දැන දැන බොරු නොකියන්නේ වෙයි.

5. කේළාම් කීම අත්හැර, කේළාම් කීමෙන් වැළකුණේ වෙයි. මෙතන සිටින්නවුන් බිඳවීම පිණිස මෙතනින් අසා ගොස් අසවල් තැන නොකියන්නේ වෙයි. ඔවුන් බිඳවීම පිණිස එතනින් අසා විත් මෙතන නොකියන්නේ වෙයි. මෙසේ බිඳුණු අය සමගි කරන්නේ වෙයි. සමඟි වූවන්ගේ සමඟිය වැඩි කරන්නේ වෙයි. පිරිස සමඟි කිරීමෙහි ඇළුණේ වෙයි. පිරිස සමඟි කිරීමෙහි යෙදුණේ වෙයි. පිරිස සමඟි කිරීමෙහි සතුටු වන්නේ වෙයි. එබඳු බස් පවසන්නේ වෙයි.

6. දරුණු වචන අත්හැර, දරුණු වචනයෙන් වැළකුණේ වෙයි. යම් වචනයක් දොස් රහිත වේ ද, ශ්‍රවණයට සැප එළවයි ද, දයාව ඇති කරවයි ද, හෘදයාංගම වෙයි ද, වැදගත් වෙයි ද, බොහෝ ජනයා කැමති වෙයි ද, බොහෝ ජනයා මනාප වෙයි ද, එබඳු වූ බස් කියන්නේ වෙයි.

7. නිසරු දේ කීම අත්හැර නිසරු දේ පැවසීමෙන් වැළකුණේ වෙයි. කාලානුරූප වන දේ කියන්නේ වෙයි. සත්‍ය කියන්නේ වෙයි. යහපත් දේ කියන්නේ වෙයි. ධර්මය කියන්නේ වෙයි. හික්මීම ඇතිවෙන දේ කියන්නේ වෙයි. මතක තබා ගැනීමට සුදුසු දේ කියෙන්නේ වෙයි. මෙසේ සුදුසු කල්හී හේතු සහිත ව සීමා සහිත ව යහපත් වචන කියන්නේ වෙයි.

8. අන්සතු දෙයට ආසා නොකරයි. අනුන්ගේ ඒ අන්සතු යම් වස්තු උපකරණ ආදියක් ඇද්ද, ඒ කෙරෙහි ගිජු නොවූයේ වෙයි. ‘අහෝ! සැබැවින් ම ඔවුන් අයත් දෙය මා සතු වේවා’ යි නොසිතන්නේ වෙයි.

9. ද්වේෂ නැති සිතින් යුතු වූයේ වෙයි. දූෂිත වූ සිතුවිලි නැත්තේ වෙයි. ‘මේ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහ නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුවසේ ජීවත් වෙත්වා!’ යි මෙසේ සිතන්නේ වෙයි.

10. නිවැරදි දෘෂ්ටියක් ගත්තේ වෙයි. අවිපරීත දැක්මකින් යුතු වූයේ වෙයි. ‘දෙන ලද්දෙහි විපාක ඇත්තේ ය. පුදන ලද්දෙහි විපාක ඇත්තේ ය. සේවායෙහි විපාක ඇත්තේ ය. හොඳ නරක කර්මයන්ගේ විපාක ඇත්තේ ය. මෙලොවක් ඇත්තේ ය. පරලොවක් ඇත්තේ ය. මවක් ඇත්තේ ය. පියෙක් ඇත්තේ ය. ඕපපාතික සත්වයෝ ඇත්තාහ. ලොවෙහි නිවැරදි මගට පිළිපන්, නිවැරදි මගෙහි ගිය මෙලොව පරලොව පිළිබඳ සිය විශිෂ්ට ඥානයෙන් අත්දැක යමක් පවසත් නම්, එබඳු වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහු යැ’යි. මෙබඳු දෙයක් සිතට ගත්තේ වෙයි.

මහණෙනි, මෙම දස කරුණෙන් සමන්විත තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම සුගතියෙහි උපදියි.

සාදු! සාදු!! සාදු!!!

පඨම නිරය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-5-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M