අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.4.2.10. චුන්ද සුත්තං

10.4.2.10. චුන්ද කම්මාරපුත්තට වදාළ දෙසුම

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ පාවා නුවර චුන්ද කම්මාර පුත්‍රගේ අඹවනයෙහි වැඩවෙසෙන සේක. එකල්හී චුන්ද කම්මාර පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් චුන්ද කම්මාර පුත්‍ර හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“චුන්දය, ඔබ කවර කෙනෙකුන්ගේ පිරිසිදු බව රුචි කරන්නෙහි ද?”

“ස්වාමීනී, බටහිර ප්‍රදේශවාසී පැන් කෙණ්ඩි ඇති, සෙවෙල් මල් දරණ, ගිනි පුදන, දියෙහි බැස පව් සෝදන බ්‍රාහ්මණයෝ පිරිසිදු බව ගැන කියති. ඔවුන්ගේ ඒ පිරිසිදු බවට මම රුචි වෙමි.”

“චුන්දය, ඒ බටහිර ප්‍රදේශවාසී පැන් කෙණ්ඩි ඇති, සෙවෙල් මල් දරණ, ගිනි පුදන, දියෙහි බැස පව් සෝදන බ්‍රාහ්මණයෝ කොයි අයුරින් පිරිසිදු බව පණවත් ද?”

“ස්වාමීනී, ඒ බටහිර ප්‍රදේශවාසී පැන් කෙණ්ඩි ඇති, සෙවෙල් මල් දරණ, ගිනි පුදන, දියෙහි බැස පව් සෝදන බ්‍රාහ්මණයෝ තම ශ්‍රාවකයන් ව මේ අයුරින් සමාදන් කරවති. ‘එම්බා පුරුෂය, මෙහි එව. පාන්දරින් ම යහනින් නැගිට පොළොව අතින් පිරිමදව. ඉදින් පොළොව අතින් නොපිරිමදින්නේ නම් අමුගොම පිරිමදව. ඉදින් අමු ගොම අතින් නොපිරිමදනේ නම් අලුත් තණ කොළ පිරිමදව. ඉදින් අලුත් තණකොළ අතින් නොපිරිමදින්නේ නම් අග්නිපූජාව කරව. ඉදින් අග්නි පූජා නොකරන්නෙහි නම් ඇඳිලි බැඳ සූර්ය නමස්කාරයෙහි යෙදෙව. ඉදින් ඇඳිලි බැඳ සූර්ය නමස්කාරයෙහි නොයෙදෙන්නෙහි නම් සවස තෙවෙනි කොට දියෙහි බැස පව් සෝදව. ස්වාමීනී, ඒ බටහිර ප්‍රදේශවාසී පැන් කෙණ්ඩි ඇති, සෙවෙල් මල් දරණ, ගිනි පුදන, දියෙහි බැස පව් සෝදන බ්‍රාහ්මණයෝ මේ අයුරින් පිරිසිදු බව පණවත්. ඔවුන්ගේ ඒ පිරිසිදු බව මම රුචි කරමි.”

“චුන්දය, ඒ බටහිර ප්‍රදේශවාසී පැන් කෙණ්ඩි ඇති, සෙවෙල් මල් දරණ, ගිනි පුදන, දියෙහි බැස පව් සෝදන බ්‍රාහ්මණයෝ පිරිසිදු බව අන් අයුරකින් පණවත් නොවැ. ආර්ය විනයෙහි වෙනත් අයුරකින් පිරිසිදු බව පණවන්නේ නොවැ.”

“ස්වාමීනී, ආර්ය විනයෙහි පිරිසිදු බව කෙසේ වන්නේ ද? ස්වාමීනී, ආර්ය විනයෙහි යම් අයුරකින් පිරිසිදු බව වෙයි නම්, ඒ අයුරින් දැනගැනීම පිණිස මා හට භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන සේක් නම් මැනැවි.”

“චුන්දය, එසේ වී නම් අසව. මැනැවින් මෙනෙහි කරව. පවසන්නෙමි.”

“එසේ ය ස්වාමීනී” යි චුන්ද කම්මාරපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුනි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“චුන්දය, තුන් අයුරකින් කයෙන් අපිරිසිදු භාවය ඇතිවෙයි. සිව් අයුරකින් වචනයෙන් අපිරිසිදු බව ඇතිවෙයි. තුන් අයුරකින් මනසින් අපිරිසිදු බව ඇතිවෙයි.

චුන්දය, කයින් අපිරිසිදු බව ඇතිවෙන තුන් ආකාරය මොනවාද?

1. චුන්දය, මෙහිලා ඇතැමෙක් සතුන් මරන්නේ වෙයි. හේ රෞද්‍ර ය. ලේ වැකුණු අත් ඇත්තේ ය. වැනසීම්, පැහැර ගැනීම් වලින් යුක්ත වූයේ ය. සියළු ප්‍රාණභූතයන් කෙරෙහි දයා නැත්තේ ය.

2. සොරකම් කරන්නේ වෙයි. ගමෙහි වේවා, වනයෙහි වේවා, අන් අය සතු යම් වස්තු උපකරණ ආදියක් ඇද්ද, ඒ නුදුන් දේ සොර සිතින් පැහැර ගන්නේ වෙයි.

3. වැරදි කාම සේවනයෙන් යුතු වූයේ වෙයි. එනම් මව විසින් රකිනු ලබන, පියා විසින් රකිනු ලබන, මා පියන් විසින් රකිනු ලබන, සොයුරා විසින් රකිනු ලබන, සොයුරිය විසින් රකිනු ලබන, නෑයා විසින් රකිනු ලබන, ගුණධර්ම විසින් රකිනු ලබන, යම් ස්ත්‍රීහු සිටිත් ද, එමෙන් ම ස්වාමියා සහිත වූ, විවාහය පිණිස යටත් පිරිසෙන් මල් මාලයකින් හෝ අවුරන ලද යම් ස්ත්‍රීහු වෙත් ද, එබඳු වූ ස්ත්‍රීන් කෙරෙහි වරදෙහි බැඳෙන්නේ වෙයි.

චුන්දය, කයෙන් තුන් අයුරු වූ අපිරිසිදු බව ඇතිවන්නේ ඔය අයුරිනි.

චුන්දය, වචනයෙන් අපිරිසිදු බව ඇතිවෙන සිව් ආකාරය මොනවාද?

4. චුන්දය, මෙහිලා කෙනෙක් බොරු කියයි. සභාවකට ගියේ වේවා, පිරිසක් මැදට ගියේ වේවා, නෑයන් මැදට ගියේ වේවා, ජන සමූහයක් මැදට ගියේ වේවා, රජය මැදට ගියේ වේවා, ඔහු ඉදිරියට කැඳවා සාක්ෂි විමසන්නේ නම් ‘එම්බා පුරුෂය, මෙහි එව. යමක් දන්නෙහි නම් එය පවසව’යි. එවිට හේ නොදන්නේ ම ‘දනිමි’ යි කියන්නේ ය. දන්නේ ම ‘නොදනිමි’ යි කියන්නේ ය. නුදුටුවේ ම ‘දකිමි’ යි කියන්නේ ය. දුටුවේ ම ‘නොදකිමි’ යි කියන්නේ ය. මෙසේ තමා උදෙසා හෝ අනුන් උදෙසා හෝ කිසියම් ලාභයක් උදෙසා හෝ දැන දැන බොරු කියන්නේ වෙයි.

5. කේළාම් කියන්නෙක් වෙයි. මෙතන සිටින්නවුන් බිඳවීම පිණිස මෙතනින් අසා ගොස් අසවල් තැන කියන්නේ වෙයි. ඔවුන් බිඳවීම පිණිස එතනින් අසා විත් මෙතන කියන්නේ වෙයි. මෙසේ සමඟි වූවන් බිඳින්නේ වෙයි. අසමඟි වූවන්ගේ අසමඟිය වැඩි කරන්නේ වෙයි. පිරිස වෙන් කිරීමෙහි ඇළුණේ වෙයි. පිරිස වෙන් කිරීමෙහි යෙදුණේ වෙයි. පිරිස වෙන් කිරීමෙහි සතුටු වන්නේ වෙයි. එබඳු බස් පවසන්නේ වෙයි.

6. දරුණු වචන කියන්නේ වෙයි. යම් වචනයක් දරුණු වෙයි ද, කර්කශ වෙයි ද, කටුක වෙයි ද, අනුන් කිපෙනසුළු වෙයි ද, ක්‍රෝධය ඇති කරන්නේ වෙයි ද, සිතේ සංසිඳීම නැති කරන්නේ වෙයි ද, එබඳු වූ බස් කියන්නේ වෙයි.

7. නිසරු දේ කියන්නේ වෙයි. කාලානුරූප නොවන දේ කියන්නේ වෙයි. අසත්‍ය කියන්නේ වෙයි. අයහපත් දේ කියන්නේ වෙයි. අධර්මය කියන්නේ වෙයි. හික්මීම නැතිවෙන දේ කියන්නේ වෙයි. මතක තබා ගැනීමට නුසුදුසු දේ කියෙන්නේ වෙයි. මෙසේ නොකල්හී හේතු රහිත ව සීමා රහිත ව අයහපත් වචන කියන්නේ වෙයි.

චුන්දය, මෙසේ සිව් අයුරින් වචනයෙන් අපිරිසිදු වෙයි.

චුන්දය, මනසින් අපිරිසිදු බව ඇතිවෙන තුන් ආකාරය මොනවාද?

8. චුන්දය, මෙහිලා කෙනෙක් අන්සතු දෙයට ආසා කරයි. අනුන්ගේ ඒ අන්සතු යම් වස්තු උපකරණ ආදියක් ඇද්ද, ඒ කෙරෙහි ගිජු වූයේ වෙයි. ‘අහෝ! සැබැවින් ම ඔවුන් අයත් දෙය මා සතු වේවා’ යි සිතන්නේ වෙයි.

9. ද්වේෂ සිතින් යුතු වූයේ වෙයි. දූෂිත වූ සිතුවිලි ඇත්තේ වෙයි. ‘මේ සත්වයෝ වැනසෙත්වා! සිරගත වෙත්වා! මුළින් ම නැසෙත්වා! විනාශයට පත්වෙත්වා! නොවෙත්වා! යි මෙසේ සිතන්නේ වෙයි.

10. වැරදි දෘෂ්ටියක් ගත්තේ වෙයි. විපරීත දැක්මකින් යුතු වූයේ වෙයි. ‘දෙන ලද්දෙහි විපාක නැත්තේ ය. පුදන ලද්දෙහි විපාක නැත්තේ ය. සේවායෙහි විපාක නැත්තේ ය. හොඳ නරක කර්මයන්ගේ විපාක නැත්තේ ය. මෙලොවක් නැත්තේ ය. පරලොවක් නැත්තේ ය. මවක් නැත්තේ ය. පියෙක් නැත්තේ ය. ඕපපාතික සත්වයෝ නැත්තාහ. ලොවෙහි නිවැරදි මගට පිළිපන්, නිවැරදි මගෙහි ගිය මෙලොව පරලොව පිළිබඳ සිය විශිෂ්ට ඥානයෙන් අත්දැක යමක් පවසත් නම්, එබඳු වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැත්තාහු යැ’යි. මෙබඳු දෙයක් සිතට ගත්තේ වෙයි.

චුන්දය, මෙය තුන් අයුරකින් සිතින් අපිරිසිදු වීමයි.

චුන්දය, මේවා දස වැදෑරුම් වූ අකුසල කර්මයන්ගේ මාර්ගයෝ ය. චුන්දය, මේ දස අකුසල කර්ම මාර්ගයෙහි යෙදී සිටින්නහු විසින් හිමිදිරියේ ම යහනින් නැගිට අතින් පොළොව පිරිමැද්දේ නමුත් අපිරිසිදු වූයේ ම වෙයි. ඉදින් අතින් පොළොව නොපිරිමැද්දේ ද, අපිරිසිදු වූයේ ම වෙයි. ඉදින් අතින් අමු ගොම පිරිමැද්දේ නමුත් අපිරිසිදු වූයේ ම වෙයි. ඉදින් අතින් අමු ගොම නොපිරිමැද්දේ නමුත් අපිරිසිදු වූයේ ම වෙයි. ඉදින් අතින් අමු තණකොළ පිරිමැද්දේ නමුත් අපිරිසිදු වූයේ ම වෙයි. ඉදින් අතින් අමු තණකොළ නොපිරිමැද්දේ නමුත් අපිරිසිදු වූයේ ම වෙයි. ඉදින් ගිනි පිදුවේ නමුත් අපිරිසිදු වූයේ ම වෙයි. ඉදින් ගිනි නොපිදුවේ නමුත් අපිරිසිදු වූයේ ම වෙයි. ඇඳිලි බැඳ සූර්ය නමස්කාර කළේ නමුත් අපිරිසිදු වූයේ ම වෙයි. ඉදින් ඇඳිලි බැඳ සූර්ය නමස්කාර නොකළේ නමුත් අපිරිසිදු වූයේ ම වෙයි. සවස තුන්වෙනි කොට දියට බැස්සේ නමුත් අපිරිසිදු වූයේ ම වෙයි. ඉදින් සවස තුන්වෙනි කොට දියට නොබැස්සේ නමුත් අපිරිසිදු වූයේ ම වෙයි. එයට හේතුව කුමක්ද?

චුන්දය, මේ දස අකුසල කර්ම මාර්ගයෝ අපිරිසිදු වූවාහු ම වෙති. අන්‍යයන් ව ද අපිරිසිදු කරති. චුන්දය, මෙම දස අකුසල කර්ම මාර්ගයෙහි ගමන් කිරීම හේතුවෙන් නිරය පැණවෙයි. තිරිසන් යෝනිය පැණවෙයි. ප්‍රේත විෂය පැණවෙයි. එබඳු යම්කිසි අන්‍ය වූ දුගතීන් ඇද්ද, ඒවා ද පැණවෙයි.

චුන්දය, තුන් අයුරකින් කයෙන් පිරිසිදු භාවය ඇතිවෙයි. සිව් අයුරකින් වචනයෙන් පිරිසිදු බව ඇතිවෙයි. තුන් අයුරකින් මනසින් පිරිසිදු බව ඇතිවෙයි.

චුන්දය, කයින් පිරිසිදු බව ඇතිවෙන තුන් ආකාරය මොනවාද?

1. චුන්දය, මෙහිලා ඇතැමෙක් සතුන් මැරීම අත්හැර සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. දඬු මුගුරු අත්හැරියේ වෙයි. අවි ආයුධ අත්හැරියේ වෙයි. ලැජ්ජාවෙන් යුතු වෙයි. දයාවෙන් යුතුවෙයි. සියළු සත්ව වර්ගයා කෙරෙහි හිතානුකම්පී ව වාසය කරයි.

2. සොරකම අත්හැර සොරකමින් වැළකුණේ වෙයි. ගමෙහි වේවා, වනයෙහි වේවා, අන් අය සතු යම් වස්තු උපකරණ ආදියක් ඇද්ද, ඒ නුදුන් දේ සොර සිතින් පැහැර නොගන්නේ වෙයි.

3. වැරදි කාම සේවනය අත්හැර, වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි. එනම් මව විසින් රකිනු ලබන, පියා විසින් රකිනු ලබන, මා පියන් විසින් රකිනු ලබන, සොයුරා විසින් රකිනු ලබන, සොයුරිය විසින් රකිනු ලබන, නෑයා විසින් රකිනු ලබන, ගුණධර්ම විසින් රකිනු ලබන, යම් ස්ත්‍රීහු සිටිත් ද, එමෙන් ම ස්වාමියා සහිත වූ, විවාහය පිණිස යටත් පිරිසෙන් මල් මාලයකින් හෝ අවුරන ලද යම් ස්ත්‍රීහු වෙත් ද, එබඳු වූ ස්ත්‍රීන් කෙරෙහි වරදෙහි නොබැඳෙන්නේ වෙයි.

චුන්දය, කයෙන් තුන් අයුරකින් පිරිසිදු බව ඇතිවන්නේ ඔය අයුරිනි.

චුන්දය, වචනයෙන් පිරිසිදු බව ඇතිවෙන සිව් ආකාරය මොනවාද?

4. චුන්දය, මෙහිලා කෙනෙක් බොරු කීම අත්හැර, බොරු කීමෙන් වැළකුණේ වෙයි. සභාවකට ගියේ වේවා, පිරිසක් මැදට ගියේ වේවා, නෑයන් මැදට ගියේ වේවා, ජන සමූහයක් මැදට ගියේ වේවා, රජය මැදට ගියේ වේවා, ඔහු ඉදිරියට කැඳවා සාක්ෂි විමසන්නේ නම් ‘එම්බා පුරුෂය, මෙහි එව. යමක් දන්නෙහි නම් එය පවසව’යි. එවිට හේ නොදන්නේ ම ‘නොදනිමි’ යි කියන්නේ ය. දන්නේ ම ‘දනිමි’ යි කියන්නේ ය. නුදුටුවේ ම ‘නොදකිමි’ යි කියන්නේ ය. දුටුවේ ම ‘දකිමි’ යි කියන්නේ ය. මෙසේ තමා උදෙසා හෝ අනුන් උදෙසා හෝ කිසියම් ලාභයක් උදෙසා හෝ දැන දැන බොරු නොකියන්නේ වෙයි.

5. කේළාම් කීම අත්හැර, කේළාම් කීමෙන් වැළකුණේ වෙයි. මෙතන සිටින්නවුන් බිඳවීම පිණිස මෙතනින් අසා ගොස් අසවල් තැන නොකියන්නේ වෙයි. ඔවුන් බිඳවීම පිණිස එතනින් අසා විත් මෙතන නොකියන්නේ වෙයි. මෙසේ බිඳුණු අය සමගි කරන්නේ වෙයි. සමඟි වූවන්ගේ සමඟිය වැඩි කරන්නේ වෙයි. පිරිස සමඟි කිරීමෙහි ඇළුණේ වෙයි. පිරිස සමඟි කිරීමෙහි යෙදුණේ වෙයි. පිරිස සමඟි කිරීමෙහි සතුටු වන්නේ වෙයි. එබඳු බස් පවසන්නේ වෙයි.

6. දරුණු වචන අත්හැර, දරුණු වචනයෙන් වැළකුණේ වෙයි. යම් වචනයක් දොස් රහිත වේ ද, ශ්‍රවණයට සැප එළවයි ද, දයාව ඇති කරවයි ද, හෘදයාංගම වෙයි ද, වැදගත් වෙයි ද, බොහෝ ජනයා කැමති වෙයි ද, බොහෝ ජනයා මනාප වෙයි ද, එබඳු වූ බස් කියන්නේ වෙයි.

7. නිසරු දේ කීම අත්හැර නිසරු දේ පැවසීමෙන් වැළකුණේ වෙයි. කාලානුරූප වන දේ කියන්නේ වෙයි. සත්‍ය කියන්නේ වෙයි. යහපත් දේ කියන්නේ වෙයි. ධර්මය කියන්නේ වෙයි. හික්මීම ඇතිවෙන දේ කියන්නේ වෙයි. මතක තබා ගැනීමට සුදුසු දේ කියෙන්නේ වෙයි. මෙසේ සුදුසු කල්හී හේතු සහිත ව සීමා සහිත ව යහපත් වචන කියන්නේ වෙයි.

චුන්දය, මේ සිව් අයුරින් වචනයෙන් පිරිසිදු වෙයි.

චුන්දය, මනසින් පිරිසිදු බව ඇතිවෙන තුන් ආකාරය මොනවාද?

8. චුන්දය, මෙහිලා කෙනෙක් අන්සතු දෙයට ආසා නොකරයි. අනුන්ගේ ඒ අන්සතු යම් වස්තු උපකරණ ආදියක් ඇද්ද, ඒ කෙරෙහි ගිජු නොවූයේ වෙයි. ‘අහෝ! සැබැවින් ම ඔවුන් අයත් දෙය මා සතු වේවා’ යි නොසිතන්නේ වෙයි.

9. ද්වේෂ නැති සිතින් යුතු වූයේ වෙයි. දූෂිත වූ සිතුවිලි නැත්තේ වෙයි. ‘මේ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහ නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුවසේ ජීවත් වෙත්වා!’ යි මෙසේ සිතන්නේ වෙයි.

10. නිවැරදි දෘෂ්ටියක් ගත්තේ වෙයි. අවිපරීත දැක්මකින් යුතු වූයේ වෙයි. ‘දෙන ලද්දෙහි විපාක ඇත්තේ ය. පුදන ලද්දෙහි විපාක ඇත්තේ ය. සේවායෙහි විපාක ඇත්තේ ය. හොඳ නරක කර්මයන්ගේ විපාක ඇත්තේ ය. මෙලොවක් ඇත්තේ ය. පරලොවක් ඇත්තේ ය. මවක් ඇත්තේ ය. පියෙක් ඇත්තේ ය. ඕපපාතික සත්වයෝ ඇත්තාහ. ලොවෙහි නිවැරදි මගට පිළිපන්, නිවැරදි මගෙහි ගිය මෙලොව පරලොව පිළිබඳ සිය විශිෂ්ට ඥානයෙන් අත්දැක යමක් පවසත් නම්, එබඳු වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහු යැ’යි. මෙබඳු දෙයක් සිතට ගත්තේ වෙයි.

චුන්දය, මෙය තුන් අයුරකින් සිතින් පිරිසිදු වීමයි.

චුන්දය, මේවා දස වැදෑරුම් වූ කුසල කර්මයන්ගේ මාර්ගයෝ ය. චුන්දය, මේ දස කුසල කර්ම මාර්ගයෙහි යෙදී සිටින්නහු විසින් හිමිදිරියේ ම යහනින් නැගිට අතින් පොළොව පිරිමැද්දේ නමුත් පිරිසිදු වූයේ ම වෙයි. ඉදින් අතින් පොළොව නොපිරිමැද්දේ ද, පිරිසිදු වූයේ ම වෙයි. ඉදින් අතින් අමු ගොම පිරිමැද්දේ නමුත් පිරිසිදු වූයේ ම වෙයි. ඉදින් අතින් අමු ගොම නොපිරිමැද්දේ නමුත් පිරිසිදු වූයේ ම වෙයි. ඉදින් අතින් අමු තණකොළ පිරිමැද්දේ නමුත් පිරිසිදු වූයේ ම වෙයි. ඉදින් අතින් අමු තණකොළ නොපිරිමැද්දේ නමුත් පිරිසිදු වූයේ ම වෙයි. ඉදින් ගිනි පිදුවේ නමුත් පිරිසිදු වූයේ ම වෙයි. ඉදින් ගිනි නොපිදුවේ නමුත් පිරිසිදු වූයේ ම වෙයි. ඇඳිලි බැඳ සූර්ය නමස්කාර කළේ නමුත් පිරිසිදු වූයේ ම වෙයි. ඉදින් ඇඳිලි බැඳ සූර්ය නමස්කාර නොකළේ නමුත් පිරිසිදු වූයේ ම වෙයි. සවස තුන්වෙනි කොට දියට බැස්සේ නමුත් පිරිසිදු වූයේ ම වෙයි. ඉදින් සවස තුන්වෙනි කොට දියට නොබැස්සේ නමුත් පිරිසිදු වූයේ ම වෙයි. එයට හේතුව කුමක්ද?

චුන්දය, මේ දස කුසල කර්ම මාර්ගයෝ පිරිසිදු වූවාහු ම වෙති. අන්‍යයන් ව ද පිරිසිදු කරති. චුන්දය, මෙම දස කුසල කර්ම මාර්ගයෙහි ගමන් කිරීම හේතුවෙන් දෙවියෝ පැණවෙති. මිනිස්සු පැණවෙති. එබඳු වූ යම්කිසි අන්‍ය වූ සුගතීහු ඇත්නම් ඒවා ද පැණවෙති.”

මෙසේ වදාළ කල්හී චුන්ද කම්මාර පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, ඉතා මනහර ය ….(පෙ)…. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අද පටන් මා දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

චුන්ද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-4-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M