අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.3.1.7. ධෝවන සුත්තං

10.3.1.7. සේදීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ………..

“මහණෙනි, දකුණු රටෙහි ධෝවන නමින් නැකත් කෙළියෙක් ඇත්තේ ය. එහිදී ආහාර ආදිය ත්, පානය කරන දෑ ත්, කෑ යුතු දේ ත්, බිදිය යුතු දේ ත්, ලෙවිය යුතු දේ ත්, බොන දේ ත්, නැටුනුත්, ගැයුනුත්, වාදනත් ලැබෙන්නේ ය. මහණෙනි, මෙම සේදීම ද ඇතැයි කියමි. මෙය නැතැයි නොකියමි. එනමුදු මහණෙනි, මෙම සේදීම වනාහී පහත් වූ ත්, මෝඩ වූ ත්, පෘථග්ජන පක්ෂයෙහි තිබෙන්නා වූ ත්, අනාර්ය වූ ත්, අනර්ථය පිණිස පවතින්නා වූ ත් දෙයකි. අවබෝධයෙන් එපා වීම පිණිස නොපවතින දෙයකි. නොඇල්ම පිණිස නොපවතින දෙයකි. ඇල්ම නිරුද්ධ වීම පිණිස නොපවතින දෙයකි. කෙලෙස් සංසිඳුවීම පිණිස නොපවතින දෙයකි. විශිෂ්ට ඥානය පිණිස නොපවතින දෙයකි. සත්‍යාවබෝධය පිණිස නොපවතින දෙයකි. නිවන පිණිස නොපවතින දෙයකි.

මහණෙනි, මම් ද ආර්ය වූ සේදීමක් ගැන දේශනා කරන්නෙමි. යම් සේදීමක් ඒකාන්ත කොට අවබෝධයෙන් එපා වීම පිණිස පවතියි ද, නොඇල්ම පිණිස පවතියි ද, ඇල්ම නිරුද්ධ වීම පිණිස පවතියි ද, කෙලෙස් සංසිඳුවීම පිණිස පවතියි ද, විශිෂ්ට ඥානය පිණිස පවතියි ද, සත්‍යාවබෝධය පිණිස පවතියි ද, නිවන පිණිස පවතියි ද, එමෙන් ම යම් සේදීමකට පැමිණ ඉපදීම උරුම කරගත් සත්වයෝ ඉපදීමෙන් මිදෙත් ද, ජරාව උරුම කරගත් සත්වයෝ ජරාවෙන් මිදෙත් ද, මරණය උරුම කරගත් සත්වයෝ මරණයෙන් මිදෙත් ද, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් උරුම කරගත් සත්වයෝ ඒ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් වලින් මිදෙත් ද, එම සේදීම ගැන අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.” “එසේය ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම් සේදීමක් ඒකාන්ත කොට අවබෝධයෙන් එපා වීම පිණිස පවතියි ද, නොඇල්ම පිණිස පවතියි ද, ඇල්ම නිරුද්ධ වීම පිණිස පවතියි ද, කෙලෙස් සංසිඳුවීම පිණිස පවතියි ද, විශිෂ්ට ඥානය පිණිස පවතියි ද, සත්‍යාවබෝධය පිණිස පවතියි ද, නිවන පිණිස පවතියි ද, එමෙන් ම යම් සේදීමකට පැමිණ ඉපදීම උරුම කරගත් සත්වයෝ ඉපදීමෙන් මිදෙත් ද, ජරාව උරුම කරගත් සත්වයෝ ජරාවෙන් මිදෙත් ද, මරණය උරුම කරගත් සත්වයෝ මරණයෙන් මිදෙත් ද, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් උරුම කරගත් සත්වයෝ ඒ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් වලින් මිදෙත් ද, එම ආර්ය වූ සේදීම යනු කුමක්ද?

මහණෙනි, නිවැරදි දෘෂ්ටිය ඇත්තහු විසින් වැරදි දෘෂ්ටිය ඉතිරි නොකොට සෝදන ලද්දේ වෙයි. වැරදි දෘෂ්ටිය නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු විසින් ඒවා ද ඉතිරි නොකොට සෝදන ලද්දේ වෙයි. නිවැරදි දෘෂ්ටිය නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.

මහණෙනි, නිවැරදි සංකල්ප ඇත්තහු විසින් වැරදි සංකල්ප ඉතිරි නොකොට සෝදන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි වචන භාවිතය ඇත්තහු විසින් වැරදි වචන භාවිතය ඉතිරි නොකොට සෝදන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි කායික ක්‍රියා ඇත්තහු විසින් වැරදි කායික ක්‍රියා ඉතිරි නොකොට සෝදන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි ජීවිකාව ඇත්තහු විසින් වැරදි ජීවිකාව ඉතිරි නොකොට සෝදන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි උත්සාහය ඇත්තහු විසින් වැරදි උත්සාහය ඉතිරි නොකොට සෝදන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි සිහිය ඇත්තහු විසින් වැරදි සිහිය ඉතිරි නොකොට සෝදන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි චිත්තේකාග්‍රතාව ඇත්තහු විසින් වැරදි චිත්තේකාග්‍රතාව ඉතිරි නොකොට සෝදන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි ඥානය ඇත්තහු විසින් වැරදි ඥානය ඉතිරි නොකොට සෝදන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි විමුක්තිය ඇත්තහු විසින් වැරදි විමුක්තිය ඉතිරි නොකොට සෝදන ලද්දේ වෙයි. වැරදි විමුක්තිය නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු විසින් ඒවා ද ඉතිරි නොකොට සෝදන ලද්දේ වෙයි. නිවැරදි විමුක්තිය නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.

මහණෙනි, යම් සේදීමක් ඒකාන්ත කොට අවබෝධයෙන් එපා වීම පිණිස පවතියි ද, නොඇල්ම පිණිස පවතියි ද, ඇල්ම නිරුද්ධ වීම පිණිස පවතියි ද, කෙලෙස් සංසිඳුවීම පිණිස පවතියි ද, විශිෂ්ට ඥානය පිණිස පවතියි ද, සත්‍යාවබෝධය පිණිස පවතියි ද, නිවන පිණිස පවතියි ද, එමෙන් ම යම් සේදීමකට පැමිණ ඉපදීම උරුම කරගත් සත්වයෝ ඉපදීමෙන් මිදෙත් ද, ජරාව උරුම කරගත් සත්වයෝ ජරාවෙන් මිදෙත් ද, මරණය උරුම කරගත් සත්වයෝ මරණයෙන් මිදෙත් ද, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් උරුම කරගත් සත්වයෝ ඒ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් වලින් මිදෙත් ද, එම ආර්ය වූ සේදීම යනු මෙයයි.”

සාදු! සාදු!! සාදු!!!

ධෝවන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-3-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M