අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.3.1.8. තිකිච්ඡක සුත්තං

10.3.1.8. වෛද්‍යවරයා ගැන වදාළ දෙසුම

“මහණෙනි, වෛද්‍යවරු විරේක බෙහෙත් දෙති. ඒ පිතෙන් හටගත් ආබාධයන් ද නැසීම පිණිස ය. සෙමෙන් හටගත් ආබාධයන් ද නැසීම පිණිස ය. වාතයෙන් හටගත් ආබාධයන් ද නැසීම පිණිස ය. මහණෙනි, මෙම විරේකය ඇත්තේ ය. මෙය නැතැයි නොකියමි. එනමුදු මහණෙනි, මෙම විරේකය සාර්ථක හෝ වෙයි. අසාර්ථක හෝ වෙයි.

මහණෙනි, මම් ද ආර්ය වූ විරේකයක් ගැන දේශනා කරන්නෙමි. යම් විරේකයක් සාර්ථක ම වන්නේ ද, අසාර්ථක නොවන්නේ ද, යම් විරේකයක් කරවාගෙන ඉපදීම උරුම කරගත් සත්වයෝ ඉපදීමෙන් මිදෙත් ද, ජරාව උරුම කරගත් සත්වයෝ ජරාවෙන් මිදෙත් ද, මරණය උරුම කරගත් සත්වයෝ මරණයෙන් මිදෙත් ද, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් උරුම කරගත් සත්වයෝ ඒ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් වලින් මිදෙත් ද, එම විරේකය ගැන අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.” “එසේය ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම් විරේකයක් සාර්ථක ම වන්නේ ද, අසාර්ථක නොවන්නේ ද, යම් විරේකයක් කරවාගෙන ඉපදීම උරුම කරගත් සත්වයෝ ඉපදීමෙන් මිදෙත් ද, ජරාව උරුම කරගත් සත්වයෝ ජරාවෙන් මිදෙත් ද, මරණය උරුම කරගත් සත්වයෝ මරණයෙන් මිදෙත් ද, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් උරුම කරගත් සත්වයෝ ඒ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් වලින් මිදෙත් ද, එම ආර්ය වූ විරේකය යනු කුමක්ද?

මහණෙනි, නිවැරදි දෘෂ්ටිය ඇත්තහු විසින් වැරදි දෘෂ්ටිය විරේක කරන ලද්දේ වෙයි. වැරදි දෘෂ්ටිය නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු විසින් ඒවා ද විරේක කරන ලද්දේ වෙයි. නිවැරදි දෘෂ්ටිය නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.

මහණෙනි, නිවැරදි සංකල්ප ඇත්තහු විසින් වැරදි සංකල්ප විරේක කරන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි වචන භාවිතය ඇත්තහු විසින් වැරදි වචන භාවිතය විරේක කරන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි කායික ක්‍රියා ඇත්තහු විසින් වැරදි කායික ක්‍රියා විරේක කරන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි ජීවිකාව ඇත්තහු විසින් වැරදි ජීවිකාව විරේක කරන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි උත්සාහය ඇත්තහු විසින් වැරදි උත්සාහය විරේක කරන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි සිහිය ඇත්තහු විසින් වැරදි සිහිය විරේක කරන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි චිත්තේකාග්‍රතාව ඇත්තහු විසින් වැරදි චිත්තේකාග්‍රතාව විරේක කරන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි ඥානය ඇත්තහු විසින් වැරදි ඥානය විරේක කරන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි විමුක්තිය ඇත්තහු විසින් වැරදි විමුක්තිය විරේක කරන ලද්දේ වෙයි. වැරදි විමුක්තිය නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු විසින් ඒවා ද විරේක කරන ලද්දේ වෙයි. නිවැරදි විමුක්තිය නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.

මහණෙනි, යම් විරේකයක් සාර්ථක ම වන්නේ ද, අසාර්ථක නොවන්නේ ද, යම් විරේකයක් කරවාගෙන ඉපදීම උරුම කරගත් සත්වයෝ ඉපදීමෙන් මිදෙත් ද, ජරාව උරුම කරගත් සත්වයෝ ජරාවෙන් මිදෙත් ද, මරණය උරුම කරගත් සත්වයෝ මරණයෙන් මිදෙත් ද, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් උරුම කරගත් සත්වයෝ ඒ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් වලින් මිදෙත් ද, එම ආර්ය වූ විරේකය යනු මෙයයි.”

සාදු! සාදු!! සාදු!!!

තිකිච්ඡක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-3-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M