අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.3.1.4. බීජ සුත්තං

10.3.1.4. පැළවෙන දේ ගැන වදාළ දෙසුම

“මහණෙනි, වැරදි දෘෂ්ටිය ඇති, වැරදි සංකල්ප ඇති, වැරදි වචන භාවිතය ඇති, වැරදි කායික ක්‍රියා ඇති, වැරදි ජීවිකාව ඇති, වැරදි උත්සාහය ඇති, වැරදි සිහිය ඇති, වැරදි සමාධිය ඇති, වැරදි ඥානය ඇති, වැරදි විමුක්තිය ඇති පුද්ගලයා විසින් ඔහු ගත් දෘෂ්ටිය අනුව යම් මැ කායික ක්‍රියාවක් කරනු ලබයි ද, පවත්වනු ලබයි ද, ඔහු ගත් දෘෂ්ටිය අනුව යම් මැ වචන භාවිතයක් කරනු ලබයි ද, පවත්වනු ලබයි ද, ඔහු ගත් දෘෂ්ටිය අනුව යම් මැ මානසික ක්‍රියාවක් කරනු ලබයි ද, පවත්වනු ලබයි ද, යම් චේතනාවක්, යම් ප්‍රාර්ථනාවක් යම් අධිෂ්ඨානයක්, යම් සංස්කාරයක් පවත්වනු ලබයි ද, ඒ සෑම දෙයක් ම අනිෂ්ට වූ, අකාන්ත වූ, අමනාප වූ, අයහපත වූ, දුක් පිණිස ම පවතින්නේ ය. එයට හේතුව කුමක් ද? මහණෙනි, දෘෂ්ටිය පවිටු වූ නිසා ය.

මහණෙනි, එය මෙබඳු දෙයකි. යම් සේ කොහොඹ බීජයක් හෝ තිත්ත වැටකොළු බීජයක් හෝ තිත්ත ලබු බීජයක් හෝ තෙත් පොළොවෙහි රෝපණය කළ විට යම් මැ පොළෝ රසයක් ඇද්ද එය ද උරාගනියි. යම් මැ තෙත් බවෙක් ඇද්ද එය ද උරාගනියි. ඒ සියල්ල තිත්ත බව පිණිස, කටුක බව පිණිස, අමිහිරි බව පිණිස ම පවතින්නේ ය. මක්නිසාද යත්, මහණෙනි, එම බීජය පවිටු නිසා ය.

මහණෙනි, එසෙයින් ම වැරදි දෘෂ්ටිය ඇති, වැරදි සංකල්ප ඇති, වැරදි වචන භාවිතය ඇති, වැරදි කායික ක්‍රියා ඇති, වැරදි ජීවිකාව ඇති, වැරදි උත්සාහය ඇති, වැරදි සිහිය ඇති, වැරදි සමාධිය ඇති, වැරදි ඥානය ඇති, වැරදි විමුක්තිය ඇති පුද්ගලයා විසින් ඔහු ගත් දෘෂ්ටිය අනුව යම් මැ කායික ක්‍රියාවක් කරනු ලබයි ද, පවත්වනු ලබයි ද, ඔහු ගත් දෘෂ්ටිය අනුව යම් ම වචන භාවිතයක් කරනු ලබයි ද, පවත්වනු ලබයි ද, ඔහු ගත් දෘෂ්ටිය අනුව යම් මැ මානසික ක්‍රියාවක් කරනු ලබයි ද, පවත්වනු ලබයි ද, යම් චේතනාවක්, යම් ප්‍රාර්ථනාවක් යම් අධිෂ්ඨානයක්, යම් සංස්කාරයක් පවත්වනු ලබයි ද, ඒ සෑම දෙයක් ම අනිෂ්ට වූ, අකාන්ත වූ, අමනාප වූ, අයහපත වූ, දුක් පිණිස ම පවතින්නේ ය. එයට හේතුව කුමක් ද? මහණෙනි, දෘෂ්ටිය පවිටු වූ නිසා ය.

මහණෙනි, නිවැරදි දෘෂ්ටිය ඇති, නිවැරදි සංකල්ප ඇති, නිවැරදි වචන භාවිතය ඇති, නිවැරදි කායික ක්‍රියා ඇති, නිවැරදි ජීවිකාව ඇති, නිවැරදි උත්සාහය ඇති, නිවැරදි සිහිය ඇති, නිවැරදි සමාධිය ඇති, නිවැරදි ඥානය ඇති, නිවැරදි විමුක්තිය ඇති පුද්ගලයා විසින් ඔහු ගත් දෘෂ්ටිය අනුව යම් මැ කායික ක්‍රියාවක් කරනු ලබයි ද, පවත්වනු ලබයි ද, ඔහු ගත් දෘෂ්ටිය අනුව යම් මැ වචන භාවිතයක් කරනු ලබයි ද, පවත්වනු ලබයි ද, ඔහු ගත් දෘෂ්ටිය අනුව යම් මැ මානසික ක්‍රියාවක් කරනු ලබයි ද, පවත්වනු ලබයි ද, යම් චේතනාවක්, යම් ප්‍රාර්ථනාවක් යම් අධිෂ්ඨානයක්, යම් සංස්කාරයක් පවත්වනු ලබයි ද, ඒ සෑම දෙයක් ම සිතට ප්‍රිය වූ, කාන්ත වූ, මනාප වූ, යහපත වූ, සැප පිණිස ම පවතින්නේ ය. එයට හේතුව කුමක් ද? මහණෙනි, දෘෂ්ටිය සොඳුරු වූ නිසා ය.

මහණෙනි, එය මෙබඳු දෙයකි. යම් සේ පැළවෙන උක් ගසක් හෝ හැල් බීජයක් හෝ මිදි බීජයක් හෝ තෙත් පොළොවෙහි රෝපණය කළ විට යම් මැ පොළෝ රසයක් ඇද්ද එය ද උරාගනියි. යම් මැ තෙත් බවෙක් ඇද්ද එය ද උරාගනියි. ඒ සියල්ල මිහිරි බව පිණිස, මධුර බව පිණිස, ඉතා රසවත් බව පිණිස ම පවතින්නේ ය. මක්නිසාද යත්, මහණෙනි, එම බීජය සොඳුරු නිසා ය.

මහණෙනි, එසෙයින් ම නිවැරදි දෘෂ්ටිය ඇති, නිවැරදි සංකල්ප ඇති, නිවැරදි වචන භාවිතය ඇති, නිවැරදි කායික ක්‍රියා ඇති, නිවැරදි ජීවිකාව ඇති, නිවැරදි උත්සාහය ඇති, නිවැරදි සිහිය ඇති, නිවැරදි සමාධිය ඇති, නිවැරදි ඥානය ඇති, නිවැරදි විමුක්තිය ඇති පුද්ගලයා විසින් ඔහු ගත් දෘෂ්ටිය අනුව යම් මැ කායික ක්‍රියාවක් කරනු ලබයි ද, පවත්වනු ලබයි ද, ඔහු ගත් දෘෂ්ටිය අනුව යම් මැ වචන භාවිතයක් කරනු ලබයි ද, පවත්වනු ලබයි ද, ඔහු ගත් දෘෂ්ටිය අනුව යම් මැ මානසික ක්‍රියාවක් කරනු ලබයි ද, පවත්වනු ලබයි ද, යම් චේතනාවක්, යම් ප්‍රාර්ථනාවක් යම් අධිෂ්ඨානයක්, යම් සංස්කාරයක් පවත්වනු ලබයි ද, ඒ සෑම දෙයක් ම සිතට ප්‍රිය වූ, කාන්ත වූ, මනාප වූ, යහපත වූ, සැප පිණිස ම පවතින්නේ ය. එයට හේතුව කුමක් ද? මහණෙනි, දෘෂ්ටිය සොඳුරු වූ නිසා ය.

සාදු! සාදු!! සාදු!!!

බීජ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-3-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M