අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.3.1.11. අසේඛ සුත්තං

10.3.1.11. අසේඛ භික්ෂුව ගැන වදාළ දෙසුම

එකල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස්ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, ‘අසේඛ, අසේඛ’ යැයි කියනු ලැබේ. ස්වාමීනී, භික්ෂුවක් අසේඛ වන්නේ කිනම් කරුණු මත ද?”

“භික්ෂුව, මෙහිලා භික්ෂුවක් හික්මීම අවසන් කරන ලද නිවැරදි දෘෂ්ටියෙන් යුක්ත වෙයි ද, හික්මීම අවසන් කරන ලද නිවැරදි සංකල්පයෙන් යුක්ත වෙයි ද, හික්මීම අවසන් කරන ලද නිවැරදි වචන භාවිතයෙන් යුක්ත වෙයි ද, හික්මීම අවසන් කරන ලද නිවැරදි කායික ක්‍රියායෙන් යුක්ත වෙයි ද, හික්මීම අවසන් කරන ලද නිවැරදි ජීවිකාවෙන් යුක්ත වෙයි ද, හික්මීම අවසන් කරන ලද නිවැරදි වීර්යයෙන් යුක්ත වෙයි ද, හික්මීම අවසන් කරන ලද නිවැරදි සිහියෙන් යුක්ත වෙයි ද, හික්මීම අවසන් කරන ලද නිවැරදි චිත්තේකාග්‍රතාවයෙන් යුක්ත වෙයි ද, හික්මීම අවසන් කරන ලද නිවැරදි ඥානයෙන් යුක්ත වෙයි ද, හික්මීම අවසන් කරන ලද නිවැරදි විමුක්තියෙන් යුක්ත වෙයි ද, භික්ෂුව, මේ අයුරින් ය භික්ෂුවක් අසේඛ වන්නේ.”

සාදු! සාදු!! සාදු!!!

අසේඛ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-3-1-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M