අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.2.5.9. උපාලි සුත්තං

10.2.5.9. උපාලි තෙරුන්ට වදාළ දෙසුම

එකල්හී ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස්ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.

“ස්වාමීනී, මම් ආරණ්‍ය, වනාන්තර ආදී ඈත ගැඹුරු වනයෙහි ඇති සේනාසනයක වාසය කරන්නට කැමති වෙමි.”

“උපාලි, ආරණ්‍ය, වනාන්තර ආදී ඈත ගැඹුරු වනයෙහි ඇති සෙනසුනෙහි සිත ඇලවීම දුෂ්කර ය. හුදෙකලා විවේකය ද දුෂ්කර ය. එහි සිත් අලවා වාසය කිරීම ද දුෂ්කර ය. සමාධිය නොලැබ වනයෙහි සිටින භික්ෂුවගේ සිත එකඟ වෙත් ම ඒ වනය විසින් එය පැහැර ගනී යැයි හැඟේ. උපාලි, යමෙක් මෙසේ කියයි නම්, ‘මම සමාධිය නොලබන්නෙම් ආරණ්‍ය, වනාන්තර ආදී ඈත ගැඹුරු වනයෙහි සෙනසුනක වාසය කරමි’ යි. ඔහු මෙය කැමති විය යුත්තේ ය. එනම්, ගිලෙන්නේ ය හෝ ඉල්පෙන්නේ ය හෝ යන කරුණයි.

උපාලි, එය මෙබඳු දෙයකි. යම් සේ මහා දිය විලක් ඇද්ද, එකල සත් රියන් වේවා, අට රියන් වේවා මහා හස්තිරාජයෙක් එතනට එයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම් මේ දිය විලට බැස කන් සෝදන ක්‍රීඩාවෙනුත් ක්‍රීඩා කරන්නෙම් නම්, පිට සෝදන ක්‍රීඩාවෙනුත් ක්‍රීඩා කරන්නෙම් නම් අගනේ ය. කන් සෝදන ක්‍රීඩාවෙනුත් ක්‍රීඩා කොට, පිට සෝදන ක්‍රීඩාවෙනුත් ක්‍රීඩා කොට, ස්නානය ද කොට, පැන් පානය ද කොට ගොඩට නැගී කැමති තැනක යන්නේ නම් අගනේ ය’ යි. ඉක්බිති හේ ඒ දිය විලට බැස කන් සෝදන ක්‍රීඩාවෙන් ක්‍රීඩා කරන්නේ ය. පිට සෝදන ක්‍රීඩාවෙන් ක්‍රීඩා කරන්නේ ය. කන් සෝදන ක්‍රීඩාවෙනුත් ක්‍රීඩා කොට, පිට සෝදන ක්‍රීඩාවෙනුත් ක්‍රීඩා කොට, ස්නානය ද කොට, පැන් පානය ද කොට ගොඩට නැගී කැමති තැනක යන්නේ ය. එයට හේතුව කුමක්ද? උපාලි, ඔහු විශාල සතෙකි. ඒ ගැඹුරු දියෙහි ප්‍රතිෂ්ඨාවක් ඇත්තේ ය.

ඉක්බිති හාවෙක් හෝ බළලෙක් හෝ එන්නේ ය. ඔහුට ද මෙසේ සිතෙයි. ‘මම කවුද? හස්තිරාජයා කවුද? මම ද මේ දිය විලට බැස කන් සෝදන ක්‍රීඩාවෙනුත් ක්‍රීඩා කරන්නෙම් නම්, පිට සෝදන ක්‍රීඩාවෙනුත් ක්‍රීඩා කරන්නෙම් නම් අගනේ ය. කන් සෝදන ක්‍රීඩාවෙනුත් ක්‍රීඩා කොට, පිට සෝදන ක්‍රීඩාවෙනුත් ක්‍රීඩා කොට, ස්නානය ද කොට, පැන් පානය ද කොට ගොඩට නැගී කැමති තැනක යන්නේ නම් අගනේ ය’ යි. ඉක්බිති හේ නුවණින් නොවිමසා ඒ මහා දිය විලට සැහැසි ලෙස පනින්නේ ය. ගිලෙන්නේ ය හෝ ඉල්පෙන්නේ ය හෝ යන කරුණ ඔහු කැමති විය යුත්තේ ය. එයට හේතුව කුමක්ද? උපාලි, ඒ සැහැල්ලු වූ ශරීරය ගැඹුරෙහි පිහිටක් නොලබයි.

එසෙයින් ම උපාලි, යමෙක් මෙසේ පවසයි නම්, ‘මම සමාධිය නොලබන්නෙම් ආරණ්‍ය, වනාන්තර ආදී ඈත ගැඹුරු වනයෙහි සෙනසුනක වාසය කරමි’ යි. ඔහු මෙය කැමති විය යුත්තේ ය. එනම්, ගිලෙන්නේ ය හෝ ඉල්පෙන්නේ ය හෝ යන කරුණයි.

උපාලි, එය මෙබඳු දෙයකි. සිඟිති බොළඳ ළදරුවෙක් උඩුඅතට සයනය කරන්නේ, ස්වකීය මළමූත්‍රායෙන් ක්‍රීඩා කරයි නම්, උපාලි, ඒ ගැන කුමක් සිතහි ද? එය හැම අතින් ම පිරිපුන් බාල ක්‍රීඩායෙක් නොවෙයි ද?” “එසේ ය, ස්වාමීනී.”

“උපාලි, ඒ දරු තෙම පසු කාලයක සිරුර වැඩී ඉන්ද්‍රියයන් මෝරා යෑමෙන් කුඩා දරුවන්ගේ යම් මේ කෙළිබඩු වෙත් ද, එනම්; කුඩා කෙළි නගුල්, කෙළි දඬු, පිනුම් ගැසීම්, හුළං පෙති, කොළ නැලි, කුඩා ක්‍රීඩා රථ, කුඩා දුනු ඊතල ආදියෙන් ක්‍රීඩා කරයි. උපාලි, මේ ගැන කුමක් සිතහි ද? මේ ක්‍රීඩාවන් පළමු ක්‍රීඩාවට වඩා සිත්කළු හා ප්‍රණීත නොවෙයි ද?” එසේ ය, ස්වාමීනී.”

“උපාලි, ඒ දරු තෙම තවත් පසු කාලයක තවදුරටත් සිරුර වැඩී ඉන්ද්‍රියයන් මෝරා යාමෙන් පංච කාම ගුණයෙන් සතුටු වෙමින් එය පිරිවරා වාසය කරයි. එනම්, සිතට ප්‍රිය වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කැමැත්ත ඇති වෙන, කෙලෙස් ඇතිවෙන ඇසින් දක්නා රූපයන්ගෙන් සතුටු වෙයි. කනෙන් අසනා ශබ්දයන්ගෙන් සතුටු වෙයි. නාසයට දැනෙන ගඳසුවඳින් සතුටු වෙයි. දිවට දැනෙන රසයෙන් සතුටු වෙයි. සිතට ප්‍රිය වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කැමැත්ත ඇති වෙන, කෙලෙස් ඇතිවෙන කයට දැනෙනා පහසින් සතුටු වෙයි. උපාලි, මේ ගැන කුමක් සිතහි ද? මෙම ක්‍රීඩාව පළමු ක්‍රීඩාවන්ට වඩා සොඳුරු වූයේ ත්, ප්‍රණීත වූයේ ත් නොවෙයි ද?” “එසේ ය, ස්වාමීනී”

“උපාලි, මෙහිලා තථාගත තෙමේ ලොවෙහි උපදින්නේ ය. ඒ තථාගතයෝ අරහත්යහ. සම්මා සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූයහ. අනුත්තරෝ පුරිසදම්ම සාරථීයහ. දෙව් මිනිස්නට ශාස්තෘහු ය. බුද්ධයහ. භගවත්යහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිත, බඹුන් සහිත, මරුන් සහිත, ශ්‍රමණ බමුණන් සහිත, දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි තම විශිෂ්ට ඥානයෙන් අත්දුටු ධර්මය පවසයි. ඒ තථාගත තෙමේ මුල මැද අග කලණ වූ, අර්ථ සහිත වූ, ව්‍යංජන සහිත වූ ධර්මය දේශනා කරයි. සියළු අයුරින් පිරිපුන් පිරිසිදු නිවන් මග පවසයි. එකල්හී ගෘහපතියෙක් හෝ ගෘහපතිපුත්‍රයෙක් හෝ අන්‍ය වූ කුලයක උපන්නෙක් හෝ ඒ ධර්මය අසන්නේ ය. හේ ඒ ධර්මය අසා තථාගතයන්ගේ සම්බුද්ධත්වය පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගනී. හේ ඒ ශ්‍රද්ධා ලාභයෙන් යුක්ත ව මෙසේ නුවණින් විමසයි. ‘ගෘහවාසය කරදර සහිත ය. ක්ලේශ මාර්ගයකි. එනමුදු පැවිද්ද වනාහී අහස් තලය වැනි ය. ගෘහවාසයෙහි රැඳුනහු විසින් මේ ඒකාන්ත පිරිපුන් පිරිසිදු සංඛයක් වැනි ඒකාන්ත පිරිසිදු නිවන් මගෙහි හැසිරීම පහසු නොවෙයි. මම ද කෙස් රැවුල් බහා කසාවත් පොරොවා ගෘහ වාසයෙන් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වන්නෙම් නම් මැනැවැ’යි. හේ පසුකලෙක අල්ප වූ හෝ භෝග සම්පත් අත්හැර, බොහෝ වූ හෝ භෝග සම්පත් අත්හැර අල්ප වූ හෝ ඥාති පිරිවර අත්හැර, බොහෝ වූ හෝ ඥාති පිරිවර අත්හැර කෙස් රැවුල් බහා කසාවත් පොරොවා ගෘහ වාසයෙන් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වෙයි.

හේ එසේ පැවිදි වූයේ භික්ෂූන් රකින ශික්ෂාපදයන් සමාදන් වූයේ වෙයි. ප්‍රාණඝාතය අත්හැර සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. දඬු මුගුරු බහා තැබුවේ වෙයි. අවිආයුධ බහා තැබුවේ වෙයි. ලැජ්ජා ඇත්තේ වෙයි. දයාවෙන් යුක්ත වූයේ වෙයි. සියළු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පී ව වාසය කරයි.

නුදුන් දේ ගැනීම අත්හැර සොරකමින් වැළකුණේ වෙයි. දුන් දේ පමණක් ගන්නේ වෙයි. දුන් දේ පමණක් ගැනීමට කැමති වෙයි. නොසොර සිතින් යුතු ව පිරිසිදු වූ ජීවිතයකින් වාසය කරයි.

අබ්‍රහ්මචාරී බව අත්හැර බ්‍රහ්මචාරී ව වාසය කරයි. ග්‍රාම්‍ය දෙයක් වන මෛථූනයෙන් වැළකී යහපත් ඇවතුම් පැවැතුම්වලින් වාසය කරයි.

බොරු කීම අත්හැර බොරු කීමෙන් වැළකුණේ වෙයි. සත්‍ය කියන්නේ වෙයි. ඇත්තෙන් ඇත්ත ගලපා කියන්නේ වෙයි. සත්‍ය වූ ධර්මයක් ම කියන්නේ වෙයි. විශ්වසනීය ලෙස වූ ලොව නොරවටන කථා කියන්නේ වෙයි.

කේලාම් කීම අත්හැර කේලාම් වචනයෙන් වළකින්නේ වෙයි. මොවුන් බිඳවීම පිණිස මෙතැනින් අසා ගොස් අසවල් තැන නොකියන්නේ වෙයි. අසවලුන් බිඳවීම පිණිස එතැනින් අසාගෙන විත් මෙතන නොකියන්නේ වෙයි. මෙසේ බිඳුණු අය සමගි කරවීම පිණිස ත්, සමගි වූවන්ට අනුබල දීම පිණිස ත් සමගියෙහි ඇළුණේ වෙයි. සමගියට කැමති වූයේ වෙයි. සමගියෙන් සතුටු වෙයි. සමගිය ඇතිවෙන කරුණු පවසන්නේ වෙයි.

දරුණු වචන අත්හැර, දරුණු වචනයෙන් වැළකුණේ වෙයි. යම් වචනයක් දොස් රහිත වෙයි ද, ශ්‍රවණයට සැප දෙයි ද, දයාව උපදවයි ද, හෘදයාංගම වෙයි ද, වැදගත් වචන වෙයි ද, බොහෝ ජනයාට කාන්ත වෙයි ද, බොහෝ ජනයාට මනාප වෙයි ද, එබඳු වූ බස් ම කියන්නේ වෙයි.

නිසරු බස් හැර දමා නිසරු කථාවෙන් වැළකෙන්නේ වෙයි. කාලානුරූප වූ දෙයක් කියන්නේ වෙයි. සත්‍යයක් කියන්නේ වෙයි. දෙලොවට හිත වූ දෙයක් කියන්නේ වෙයි. ධර්මය කියන්නේ වෙයි. හික්මෙන දෙයක් කියන්නේ වෙයි. මතකයෙහි දරා ගැනීමට වටිනා දෙයක් කියන්නේ වෙයි. මෙසේ සුදුසු කාලයට කරුණු සහිත ව එහි ද සීමාව දැන අර්ථ සහිත වූ දෙයක් කියන්නේ වෙයි.

හේ ගස් කොළන් සිඳලීමෙන් වැළකී සිටින්නේ වෙයි. රාත්‍රී බොජුනෙන් වැළකුණේ විකල් බොජුනෙන් වැළකුණේ උදේ වරුවෙහි වළඳන්නේ වෙයි. නැටුම්, ගැයුම්, වැයුම් ආදී විසූක දර්ශන නැරඹීමෙන් වැළකුණේ වෙයි. මල් සුවඳ විලවුන් දැරීම්, ඇඟ සැරසීම් ආදියෙන් වැළකුණේ වෙයි. වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණයෙන් වැළකුණේ වෙයි. රන් රිදී පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. අමු ධාන්‍ය පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. අමු මස් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ස්ත්‍රීන් හා කුමරියන්

පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. දැසි දස්සන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. එළු බැටළුවන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. කුකුලන් ඌරන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඇත් අස් ගව වෙළඹ ආදී සතුන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. කෙත් වත් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි.

ගිහියන්ගේ පණිවිඩ පණත් ගෙනයාමෙන් වැළකුණේ වෙයි. වෙළඳාමෙන් වැළකුණේ වෙයි. තරාදියෙන් කරන වංචා, කිරීමෙන් කරන වංචා, මැනීමෙන් කරන වංචා ආදියෙන් වැළකුණේ වෙයි. වංචාවෙන් වැරදි විනිශ්චය දීම ආදී කටයුතුවලින් වැළකුණේ වෙයි. අත් පා සිඳීම්, මැරීම්, බන්ධන, මං පැහැරීම්, ගම් පැහැරීම්, සැහැසි ක්‍රියා ආදියෙන් වැළකුණේ වෙයි.

හේ ලද දෙයින් සතුටු වන්නේ වෙයි. කයට යැපෙන සිවුරෙන් ද, කුසට යැපෙන ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් මැ දිශාවක යයි නම් ඒ පා සිවුරු පමණක් ම රැගෙන යයි. පක්ෂී ලිහිණියෙක් යම් ම දිශාවක ඉගිල යයි ද, පියාපත් බර ඇතිව පමණක් ඉගිල යන්නේ යම් සේ ද, එසෙයින් ම භික්ෂුව ද කයට යැපෙන සිවුරෙනුත්, කුසට යැපෙන පිණ්ඩපාතයෙනුත් සතුටු වෙයි. යම් ම දිශාවක යයි නම් ඒ පා සිවුරු පමණක් ම රැගෙන යයි. මෙසේ හේ මේ ආර්ය වූ සීලස්කන්ධයෙන් සමන්විත වූයේ ආධ්‍යාත්මයෙහි දොස් රහිත වූ සැපයක් විඳියි.

හේ ඇසින් රූපයක් දැක නිමිති නොගනියි. නිමිත්තකින් කොටසක් හෝ නොගනියි. යම් හෙයකින් ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවර ව වාසය කරන විට දැඩි ලෝභය දොම්නස ආදී පාපී අකුසල් දහම් තමා ව ලුහු බඳියි නම් එයින් සංවර වීමට පිළිපදියි. ඇස නම් වූ ඉන්ද්‍රිය රකියි. ඇස නම් වූ ඉන්ද්‍රියේ සංවරයට පැමිණෙයි. කනෙන් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳ දැන ….(පෙ)…. දිවෙන් රසයක් විඳ ….(පෙ)…. කයෙන් පහස ලබා ….(පෙ)…. මනසින් අරමුණක් දැන නිමිති නොගනියි. නිමිත්තකින් කොටසක් හෝ නොගනියි. යම් හෙයකින් මනස නම් වූ ඉන්ද්‍රිය අසංවර ව වාසය කරද්දී දැඩි ලෝභය දොම්නස ආදී පාපී අකුසල් දහම් තමා ව ලුහු බඳියි නම් එයින් සංවර වීමට පිළිපදියි. මනස නම් වූ ඉන්ද්‍රිය රකියි. මනස නම් වූ ඉන්ද්‍රියේ සංවරයට පැමිණෙයි. හේ මේ ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් සමන්විත වූයේ ආධ්‍යාත්මයෙහි කෙලෙස් නොවැගිරෙන සැපයක් විඳියි.

හේ නුවණ හසුරුවමින් ඉදිරියට යන්නේ ද වෙයි, නැවත හැරී එන්නේ ද වෙයි. නුවණ හසුරුවමින් ඉදිරිය බලන්නේ ද වෙයි, වටපිට බලන්නේ ද වෙයි. නුවණ හසුරුවමින් අත් පා දිගහරින්නේ ද වෙයි, හකුළුවන්නේ ද වෙයි. නුවණ හසුරුවමින් දෙපට සිවුර, පාත්‍ර, තනිපට සිවුරු ආදිය දරන්නේ වෙයි. නුවණ හසුරුවමින් අෂ්ටපානාදිය වළඳන්නේ වෙයි, පැන් පානය කරන්නේ වෙයි, ආහාර වළඳන්නේ වෙයි, කැවිලි ආදිය රස විඳින්නේ වෙයි. නුවණ හසුරුවමින් වැසිකිලි කැසිකිලි කරන්නේ වෙයි. යෑමෙහිදී ද, සිටීමෙහිදී ද, හිඳීමෙහිදී ද, සැතපීමෙහිදී ද, නිදිවරා සිටීමෙහිදී ද, යමක් පැවසීමෙහිදී ද, නිහඬ ව සිටීමෙහිදී ද නුවණ හසුරුවන්නේ වෙයි.

හේ මේ ආර්ය සීලස්කන්ධයෙන් ද සමන්විත ව, මේ ආර්ය ඉන්ද්‍රිය සංවරයෙන් ද සමන්විත ව, මේ ආර්ය සිහිනුවණින් ද සමන්විත ව, ජනයා රහිත සෙනසුන් ඇසුරු කරයි. එනම් අරණ්‍යය, රුක් සෙවණ, පර්වතය, දිය ඇලි, ගිරි ගුහා ය, සොහොන ය, වනපෙත ය, හිස් අවකාශය ය, පිදුරු කුටිය ය යනාදියයි. හේ වනයට ගියේ හෝ රුක් සෙවණට ගියේ හෝ ජනශූන්‍ය තැනකට ගියේ හෝ පළඟක් බැඳ කය ඍජු කොට සිහිය පෙරට ගෙන වාඩි වෙයි.

හේ තම ලොවෙහි ඇති ලෝභය අත්හැර ලෝභ රහිත වූ සිතින් වාසය කරයි. සිත ලෝභයෙන් පිරිසිදු කරයි. ද්වේෂයෙන් සිත දූෂිත වීම අත්හැර ද්වේෂ රහිත සිතින් සියළු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පී ව වාසය කරයි. ව්‍යාපාද දෝෂයෙන් සිත පිරිසිදු කරයි. ථීනමිද්ධය අත්හැර ථීනමිද්ධයෙන් තොර ව ආලෝක සංඥී ව සිහිනුවණින් යුතුව වාසය කරයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කරයි. සිතේ විසිරීම ත්, පසුතැවීම ත් අත්හැර නොවිසිරෙන තමා තුළ සංසිඳුණු සිතින් වාසය කරයි. උද්ධච්ච කුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි. සැකය අත්හැර සැකයෙන් එතෙර වූයේ කුසල් දහම් පිළිබඳ කෙසේද කෙසේද යන සැකයෙන් තොර ව වාසය කරයි. විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි.

හේ මේ සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් දුරු කොට කාමයන්ගෙන් වෙන් ව අකුසල් දහමින් වෙන් ව, විතර්ක සහිත, විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් යුතු පළමු ධ්‍යානය උපදවා එයට පැමිණ වාසය කරයි.

උපාලි, මේ ගැන කුමක් හඟින්නෙහි ද? මේ විහරණය කලින් විහරණයන්ට වඩා සොඳුරු වූයේ ත්, ප්‍රණීත වූයේ ත් නොවේ ද?” “එසේ ය, ස්වාමීනී.”

උපාලි, මාගේ ශ්‍රාවකයෝ මෙම ධර්මය ද තමා තුළ දකිමින් ආරණ්‍ය, වනපෙත්, ඈත ගැඹුරු වනයෙහි සෙනසුන් සේවනය කරත්. එතෙකුදු වුවත් තවම පිළිවෙලින් පැමිණි අරහත්වයෙන් යුතුව වාසය නොකරති.

තව ද උපාලි, භික්ෂුව විතර්ක විචාරයන් සංසිඳුවීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය උපදවා වාසය කරයි.

උපාලි, මේ ගැන කුමක් හඟින්නෙහි ද? මේ විහරණය කලින් විහරණයන්ට වඩා සොඳුරු වූයේ ත්, ප්‍රණීත වූයේ ත් නොවෙයි ද?” “එසේ ය, ස්වාමීනී.”

“උපාලි, මාගේ ශ්‍රාවකයෝ මෙම ධර්මය ද තමා තුළ දකිමින් ආරණ්‍ය, වනපෙත්, ඈත ගැඹුරු වනයෙහි සෙනසුන් සේවනය කරත්. එතෙකුදු වුවත් තවම පිළිවෙලින් පැමිණි අරහත්වයෙන් යුතුව වාසය නොකරති.

තව ද උපාලි, භික්ෂුව ප්‍රීතියට ද නොඇල්මෙන් ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය උපදවා වාසය කරයි.

උපාලි, මේ ගැන කුමක් හඟින්නෙහි ද? මේ විහරණය කලින් විහරණයන්ට වඩා සොඳුරු වූයේ ත්, ප්‍රණීත වූයේ ත් නොවෙයි ද?” “එසේ ය, ස්වාමීනී.”

“උපාලි, මාගේ ශ්‍රාවකයෝ මෙම ධර්මය ද තමා තුළ දකිමින් ආරණ්‍ය, වනපෙත්, ඈත ගැඹුරු වනයෙහි සෙනසුන් සේවනය කරත්. එතෙකුදු වුවත් තවම පිළිවෙලින් පැමිණි අරහත්වයෙන් යුතුව වාසය නොකරති.

තව ද උපාලි, භික්ෂුව සැපය ද ප්‍රහාණය කොට ….(පෙ)…. සිව්වෙනි ධ්‍යානය උපදවා වාසය කරයි.

උපාලි, මේ ගැන කුමක් හඟින්නෙහි ද? මේ විහරණය කලින් විහරණයන්ට වඩා සොඳුරු වූයේ ත්, ප්‍රණීත වූයේ ත් නොවෙයි ද?” “එසේ ය, ස්වාමීනී.”

“උපාලි, මාගේ ශ්‍රාවකයෝ මෙම ධර්මය ද තමා තුළ දකිමින් ආරණ්‍ය, වනපෙත්, ඈත ගැඹුරු වනයෙහි සෙනසුන් සේවනය කරත්. එතෙකුදු වුවත් තවම පිළිවෙලින් පැමිණි අරහත්වයෙන් යුතුව වාසය නොකරති.

තව ද උපාලි, භික්ෂුව සියළු අයුරින් රූප සංඥාවන් ඉක්ම යෑමෙන් ඕලාරික සංඥාවන් නැතිවීමෙන් නා නා සංඥාවන් නොමෙනෙහි කිරීමෙන් ‘අනන්ත ආකාසය’ යැයි ආකාසානඤ්චායතනය උපදවා වාසය කරයි.

උපාලි, මේ ගැන කුමක් හඟින්නෙහි ද? මේ විහරණය කලින් විහරණයන්ට වඩා සොඳුරු වූයේ ත්, ප්‍රණීත වූයේ ත් නොවෙයි ද?” “එසේ ය, ස්වාමීනී.”

“උපාලි, මාගේ ශ්‍රාවකයෝ මෙම ධර්මය ද තමා තුළ දකිමින් ආරණ්‍ය, වනපෙත්, ඈත ගැඹුරු වනයෙහි සෙනසුන් සේවනය කරත්. එතෙකුදු වුවත් තවම පිළිවෙලින් පැමිණි අරහත්වයෙන් යුතුව වාසය නොකරති.

තව ද උපාලි, භික්ෂුව සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්ම යෑමෙන් ‘අනන්ත විඤ්ඤාණය’ යැයි විඤ්ඤාණඤ්චායතනය උපදවා වාසය කරයි. ….(පෙ)…. සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම යෑමෙන් ‘කිසිවක් නැත’ යැයි ආකිඤ්චඤ්ඤායතනය උපදවා වාසය කරයි. ….(පෙ)…. තව ද උපාලි, භික්ෂුව සියළු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම යෑමෙන් ‘මෙය ශාන්ත ය, මෙය ප්‍රණීත ය’ යි නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා වාසය කරයි.

උපාලි, මේ ගැන කුමක් හඟින්නෙහි ද? මේ විහරණය කලින් විහරණයන්ට වඩා සොඳුරු වූයේ ත්, ප්‍රණීත වූයේ ත් නොවෙයි ද?” “එසේ ය, ස්වාමීනී.”

“උපාලි, මාගේ ශ්‍රාවකයෝ මෙම ධර්මය ද තමා තුළ දකිමින් ආරණ්‍ය, වනපෙත්, ඈත ගැඹුරු වනයෙහි සෙනසුන් සේවනය කරත්. එතෙකුදු වුවත් තවම පිළිවෙලින් පැමිණි අරහත්වයෙන් යුතුව වාසය නොකරති.

තව ද උපාලි, භික්ෂුව සියළු අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම යෑමෙන් සඤ්ඤා වේදයිත නිරෝධය උපදවා වාසය කරයි. ප්‍රඥාවෙන් දැක ඔහුගේ ආශ්‍රවයෝ ද ගෙවී ගියාහු වෙති.

උපාලි, මේ ගැන කුමක් හඟින්නෙහි ද? මේ විහරණය කලින් විහරණයන්ට වඩා සොඳුරු වූයේ ත්, ප්‍රණීත වූයේ ත් නොවෙයි ද?” “එසේ ය, ස්වාමීනී.”

“උපාලි, මාගේ ශ්‍රාවකයෝ මෙම ධර්මය ද තමා තුළ දකිමින් ආරණ්‍ය, වනපෙත්, ඈත ගැඹුරු වනයෙහි සෙනසුන් සේවනය කරත්. මෙපමණකින් පිළිවෙලින් පැමිණි අරහත්වයෙන් යුතුව වාසය කරති.

උපාලි, එහෙයින් ඔබ සංඝයා අතර වාසය කරව. සංඝයා අතර වාසය කරන ඔබට එය පහසු වන්නේ ය.”

සාදු! සාදු!! සාදු!!!

උපාලි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M