මහණෙනි, දස කරුණෙකින් සමන්විත වූ භික්ෂුව ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. ලොවෙහි අනුත්තර පින්කෙත වෙයි. ඒ කවර දස කරුණකින් ද යත්;
1. මහණෙනි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙයි. යහපත් ඇවතුම් පැවතුම් ඇති ව වසන්නේ වෙයි. අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකින සුළු වැ සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි.
2. භික්ෂුව ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ඒ ඇසූ දහම් දරන්නේ වෙයි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කරගන්නේ වෙයි. යම් ඒ ධර්මයෝ කල්‍යාණ වූ පටන් ගැනීමෙකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ මැදකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ අවසානයෙකින් යුක්ත වෙත් ද, අර්ථ සහිත වෙත් ද, පැහැදිලි වචනයෙන් යුක්ත වෙත් ද, හැම ලෙසින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසත් ද, එබඳු වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. ධාරණය කරගන්නා ලද්දාහු ය. වචනයෙන් පිරිවහන ලද්දාහු ය. මනසින් විමසන ලද්දාහු ය. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය.
3. භික්ෂුව කලණ මිතුරන් ඇත්තේ වෙයි. කල්‍යාණ සහායකයන් ඇත්තේ වෙයි. කලණ මිතුරන්ගේ ඇසුරට නැඹුරු වූයේ වෙයි.
4. සම්මා දිට්ඨියෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි දැක්මෙන් යුතු වූයේ වෙයි.
5. අනේක ප්‍රකාර වූ ඉර්ධි විශේෂයන් කළ හැකි වන්නේ ය. එනම් එක් කෙනෙක් ව සිට බොහෝ අය ලෙස පෙනී සිටියි. බොහෝ අය වී එක් අයෙක් ව පෙනී සිටියි. ප්‍රාකාරය හරහා යයි, බිත්ති හරහා යයි, පර්වත හරහා යයි, අහසින් යන සෙයින් ඒ කිසිවක නොගැටෙමින් යයි. පොළොවෙහි යටට කිමිදෙයි. උඩට මතුවෙයි. ජලයෙහි සේ ය. ජලයෙහි නොගිලෙමින් ඇවිදගෙන යයි. පොළොවෙහි යන සේ ය. පළඟක් බැඳ අහසින් යයි. පක්ෂි ලිහිණියෙකු සේ ය. මෙබඳු මහත් ඉර්ධි ඇති මහත් ආනුභාව ඇති මේ හිරු සඳු දෙක ද අතින් ස්පර්ශ කරයි. පිරිමදියි. බඹලොව සීමා කොට සිය කයින් වසඟයෙහි පවත්වයි.
6. මිනිස් හැකියාව ඉක්මවා ගිය විශුද්ධ වූ දිව්‍ය ශ්‍රවණයෙන් යුක්ත ව දිව්‍ය වූ ද, මනුෂ්‍ය වූ ද දුර හෝ ළඟ හෝ ඇති දෙආකාර ශබ්දයන් අසන්නේ වේ.
7. අන්‍ය සත්වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දන්නේ වෙයි. එනම් සරාගී සිත සරාගී සිත යැයි දන්නේ ය. වීතරාගී සිත වීතරාගී සිත යැයි දන්නේ ය. සදෝසී සිත ….(පෙ)…. වීතදෝසී සිත ….(පෙ)…. සමෝහී සිත ….(පෙ)…. වීතමෝහී සිත ….(පෙ)…. හැකිළුණු සිත ….(පෙ)…. විසිරුණු සිත ….(පෙ)…. අමහග්ගත සිත ….(පෙ)…. මහග්ගත සිත ….(පෙ)…. සඋත්තර සිත ….(පෙ)…. අනුත්තර සිත ….(පෙ)…. අසමාහිත සිත ….(පෙ)…. සමාහිත සිත ….(පෙ)…. නොමිදුණු සිත ….(පෙ)…. මිදුණු සිත මිදුණු සිත යැයි දැනගනී.
8. අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි. එනම් එක උපතක් වශයෙන් ද, උපත් දෙකක් වශයෙන් ද, උපත් තුනක් වශයෙන් ද, උපත් සතරක් වහයෙන් ද, උපත් පහක් වශයෙන් ද, උපත් දහයක් වශයෙන් ද, උපත් විස්සක් වශයෙන් ද, උපත් තිහක්, උපත් හතළිහක්, උපත් පණහක්, උපත් සියයක්, උපත් දහසක්, උපත් සිය දහසක් වශයෙන් ද අනේක වූ සංවට්ට කල්ප, අනේක වූ විවට්ට කල්ප, අනේක වූ සංවට්ට විවට්ට කල්ප වශයෙන් ද සිහි කරයි. එමෙන් ම ‘මම අසවල් තැන සිටියෙමි. මෙබඳු නමින් සිටියෙමි. මෙබඳු ගෝත්‍රයෙන් සිටියෙමි. මෙබඳු පැහැයෙන් සිටියෙමි. මෙබඳු ආහාර ගත්තෙමි. මෙබඳු අයුරින් සැප දුක් වින්දෙමි. මෙබඳු අයුරින් දිවිය අවසන් කළෙමි. එයින් චුත ව ඒ මම අසවල් තැන උපන්නෙමි. එහිදී ද මම් මෙබඳු නමින් සිටියෙමි. මෙබඳු ගෝත්‍ර නමින් සිටියෙමි. මෙබඳු පැහැයෙන් සිටියෙමි. මෙබඳු ආහාර ගත්තෙමි. මෙබඳු සැප දුක් වින්දෙමි. මෙබඳු අයුරින් දිවිය අවසන් කළෙමි. ඒ මම එයින් චුත ව මෙහි උපන්නෙමි’ ආදී වශයෙනි. මෙසේ කරුණු සහිත වූ, විස්තර සහිත වූ අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි.
9. මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ දිව්‍ය නේත්‍රයෙන් චුතවන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකියි. ඒ සත්වයන් කර්මානුරූප ව පහත් වූත්, උසස් වූත්, මනා පැහැ ඇත්තා වූත්, විරූපී වූත්, සුගතියේත් දුගතියේත් උපදින අයුරු දනියි. එනම් ‘ඒකාන්තයෙන් මේ භවත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ය. වචී දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්යයන් හට නින්දා අපහාස කළාහු ය. මිසදිටු ගත්තාහු ය. මිසදිටු ක්‍රියායෙහි යෙදුණාහු ය. ඔවුහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ යටට වැටෙන නිරයෙහි උපන්නාහු ය. එසේ ම මේ භවත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූවාහු ය. වචී සුචරිතයෙන් යුක්ත වූවාහු ය. මනෝ සුචරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්යයන් හට නින්දා අපහාස නොකළාහු ය. සම්දිටු ගත්තාහු ය. සම්දිටු ක්‍රියායෙහි යෙදුණාහු ය. ඔවුහු කය බිඳී මරණින් මතු සුගති නම් වූ ස්වර්ග ලෝකයෙහි උපන්නාහු ය. මෙසේ මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ දිව්‍ය නේත්‍රයෙන් චුතවන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකියි. ඒ සත්වයන් කර්මානුරූපව පහත් වූත්, උසස් වූත්, මනා පැහැ ඇත්තා වූත්, විරූපී වූත්, සුගතියේත් දුගතියේත් උපදින අයුරු දනියි.
10. ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය කරයි.
මහණෙනි, මෙම දස කරුණෙන් සමන්විත වූ භික්ෂුව ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. ලොවෙහි අනුත්තර පින්කෙත වෙයි.”
සාදු! සාදු!! සාදු!!!
ආහුනෙය්‍ය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M